අත්වල හෝ පාදවල නිය මුල හට ගන්නා රෝගී අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ලිංග භේදයකින් තොරව කාටත් පොදුවේ මෙම රෝගය හටගැනීම පෙන්නුම් කරන අතර කාන්තාවන් හට රෝගය බහුලව පවතී.
එසේම සමාජයක් තුළ ඉදිරියට යන්නට නොහැකි අවස්ථාවක් ද මේ නිසා හටගනී. එය මානසික පීඩා ආදියට ද හේතු වේ.
විශේෂයෙන් පුද්ගලයන් සමඟ කතා බහ කිරීමේදී සුහදතාව පලකිරීමට අත ට අත දීමේදී මෙවන් රෝගීන් මහත් වූ අපහසුතාවකට පත් වනු පෙනේ.
ඔවුන් තමන්ගේ අත් වැඩිපුර සමාජය ඉදිරියේ පෙන්නුම් කරන්නට ලැජ්ජා වේ. මෙම නියබිරිත්තාව රෝගය අත් වල හෝ පාදවල එක් ඇඟිල්ලක හෝ ඇඟිලි කිහිපයක එක්වර හට ගැනීම ද පෙන්වයි.
විශේෂයෙන් අපගේ නොසැලකිලිමත්කමද මෙයට මූලික හේතුවක් වනු ඇත.
නියබිරිත්තාව නැතිනම් නිය මුල ප්‍රදාහයට බලපාන හේතු ලෙස
* අනවශ්‍ය ලෙස නිය අලංකරණය සඳහා නිය මල ආශ්රිත අධික ලෙස පිරිසිදු කිරීම.
* සබන් කුඩු වර්ග සබන් වර්ග වලින් අනවශ්‍ය ආකාරයට (අවශ්‍ය ප්‍රමාණයට වඩා) යොදා අත් සේදීම (නියබිරිත්තාව රෝගයට සබන් ඇල්ලීම රෝගය උත්සන්න කරනු ඇත.)
* නිය අලංකරණ ද්‍රව්‍ය ක්යුටෙක්ස්, ක්යුටෙක්ස් ඉවත් කරන පිරිසිදු කරන දියර) දිනපතා හෝ අධික ලෙස භාවිතා කිරීම.
* නිය පොතු කැපීමේදී නිය මල ආශ්රිත තුවාල වීම (මෙහිදී විෂබීජ ඇතුළු වීමෙන් නිය මල ප්‍රදාහයට පත් වේ.)
* එසේම අධික ලෙස ජලය ආශ්රිත කටයුතුවල නිරත වන අය (කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අත් ආවරණ නොදා අතින් කටයුතු කරන අය) පලතුරු යුෂ මිරිකන, එළවළු නිතර සේදීමේ ආදියේ නිරත අය.
* ශාරීරික උෂ්ණතාවය හෙවත් රක්ත දෝෂ පාරම්පරික රක්ත දෝෂය ද ප්‍රධාන හේතුවක් වේ.
ඉහත සඳහන් කළ හේතු නිසා හට ගන්නා නිය මුල ප්‍රදාහ රෝගයේ රෝග ලක්ෂණ ලෙස,
* නිය මුල අසල රත් පැහැ ගැනීම
* නිය මුල සම සිනිදු වී ඉවත් වී යාම
* ප්‍රදාහ වීම (ඉදිමීම) ඇඟිලි අග දැවිල්ල
* නිය මල අසල සැරව සහිත වීම
* නිය පොතු අවපැහැ ගැනීම
* ඇඟිලි අග නිය පොතු දෙපැත්ත කළු පැහැ වීම
* නිය පොතු කැඩී යාම
* අධික වේදනාවක් ඇති වීම ඇඟිලි තුඩු ඇල්ලීමට අපහසු ගතිය සහ ඇදුම්කන ස්වභාවය යනාදිය හැක්විය හැක.
විශේෂයෙන් මෙම රෝගී අවස්ථාවේදී දිලීර බැක්ටීරියා ආසාදන තත්ත්ව මතු වීම ද පෙන්වයි. එසේම රක්ත දූෂිත තත්ත්වයට පත් වීම සිදු වීමෙන් නිය ආශ්රිත ප්‍රදේශ ඉක්මනින් රත්පැහැ වී ඉදිමී සැරව සහිත තත්ත්වයට පත් වේ. මෙවන් තත්ත්වයට පත් වූ රෝගීන් බොහෝ අපහසුතාවයට පත් වනවා අප දැක ඇත.
විශේෂයෙන්ම ඔවුන් ප්‍රකාශ කරන්නේ නිය වල පාට හැඩය නිසා අන් අය ඉදිරියේ අත් දිගු කරන්නට ලැජ්ජා බවය. එසේම ප්‍රතිකාර කිරීමේදී අප දැක ඇති එවන් නිය පොතු අවලක්ෂණය. කැඩී කළු පැහැ වී යටට ගිලී, රළු වී, නියපොතු වල ගොඩැලි ගැසී ඇති බවය. එබැවින් මෙවන් රෝගී තත්ත්වය ඇති අයගේ මානසිකත්වය කෙසේ ද යන්න ඔබට වටහා ගත හැකි වේ.
අප අපගේ නියපොතු ආරක්ෂා කර ගන්නට සැමවිට උත්සාහ ගත යුතුය. තවද අනවශ්‍ය ආකාරයට නිය මුල ආශ්රිත ක්‍රියා නිසා පසුකාලීනව නිය මල මෙන්ම නියපොතු අභ්‍යන්තර ඇඟිලි අග පිළිකා තත්ත්ව මතුවීම ද, සුව නොවන දරුණු රෝග ඇතිවීම වැලැක්විය නොහැකි වේ.
මෙම රෝගය නිට්ටාවට සුව කර නොගත හොත් එවන් රෝගීන් නිතර නිතර රෝගයට ගොදුරු වීම පෙන්වයි.
උෂ්ණ ආහාර ගැනීමෙන්, සබන් ඇල්ලීමෙන් රසායනික ද්‍රව්‍ය අතේ තැවරීමෙන්, මඩ දූවිලි ආදිය අතේ තැවරීමෙන් රෝගය පැතිරීම වර්ධනය කිරීමට හේතු සාධක වේ.
ඇඟිලි කිහිපයකට හෝ සියල්ලටම ආ විට කාන්තාවන්ට එදිනෙදා නිවසේ වැඩකටයුතු කර ගන්නට බාධාවක් වේ.
“ඇඟිලි අග නිය මුල ඉදිමී ඇති නිසා රෙදි සෝදන්නට බැහැ. වෑංජනයකට මිරිස් තුන පහ ටිකක් දාල අතගාන්න බැහැ, බත් ටික අනාගෙන කන්න බැහැ ඇඟිලි දැවිල්ලයි රිදෙනවා, හැන්දෙන් කෑම කන්නෙ. මේක හරිම කරදර ලෙඩක්, අත් කකුල් කාටවත් පෙන්නන්න බැහැ කැතයි ලැජ්ජයි” මේ පොදුවේ මෙවන් රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ආ විට ප්‍රකාශ කරන ප්‍රධාන කාරනා වේ.
අප දිනපතා නා පිරිසිදුව සිටියද දෑත් දෙපා පිරිසිදුව තබා ගැනීමට පුරුදු විය යුතුමය. එසේම ඇතැම් අය දෑත් වල නිය පොතුවලට දෙන සැලකිල්ල දෙපා නියපොතුවලට නොදෙයි. ඒ ගැන එතරම් සැලකිල්ලක් ද නොදක්වයි. එවිට සිදුවනුයේ පාදවල නිය ආශ්රිත රෝග මතුවීමයි. බොහෝ අයගේ පාදවල මාපටැඟිලි ආශ්රිත මේ තත්ත්වය වඩාත් දැකගත හැකි වේ.
ඉහත සඳහන් කළ රෝග හේතු වලින් වැලකී සිටීමෙන් මෙම රෝගය අපට වලක්වා ගත හැකිය. එවිට ලැජ්ජාවකින් තොරව සමාජයට යන්නට හැකි වේ.
කතාබහ කිරීමේදී අත් සඟවා ගෙන මිට මොලවා ගෙන ඇඟිලි සඟවාගෙන කතා කරන්නට එවිට අවශ්‍ය නොවේ. දෑත් එකට එකතු කර සිතේ සතුට ප්‍රීතිය ඇතිව කෙනකු හා ආයුබෝවන් කීමට සුහදතාවය පලකිරීමට ඔබට හැකිවනු ඇත. මුවින් කතා කරනවාට වඩා දෑතින් කතා කරන්නට එවිට ඔබට අවකාශය සැලසෙනු ඇත. එය සුහදශීලී බව මිත්‍රශීලී බව වඩාත් තීව්ර කරන්නට සමත් වනවා නොඅනුමානය.
මෙවන් රෝගීන්ට ප්‍රථමයෙන් රක්ත ශෝධනය කළ යුතු අතර ඒ සඳහා සුදුසු කෂාය වෛද්‍යවරයකු හමුවී ලබා ගත යුතුමය.
බටහිර වෛද්‍ය ක්‍රමයේදී නියපොතු ගලවා ඉවත් කිරීම කරනු ලබයි. එබැවින් මෙවන් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නම් නියපොතු ගලවා වේදනා විදින්නට සිදු නොවනු ඇත.
නිය ආශ්රිත පෝෂණීය ප්‍රතිකාර තුළින් ක්‍රමිකව අපට එහි ඇතිවන්නා වූ විකෘති හා රෝග තත්ත්ව වලක්වා ගත හැකි වේ.
නිය මුල ප්‍රදාහ රෝගීන්ට සෝදන ද්‍රව්‍ය ලෙස
* වෙනිවැල්ගැට තැම්බූ වතුර
* අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුර
යොදා ගත හැක.
විශේෂයෙන් මෙම රෝගීන් මතක තබාගත යුතු කරුණක් වනුයේ “අතේ ඇඟිලි තුඩු නිය මුල සේදීමේදී ඇඟිලි අධික ලෙස අතුල්ලා සේදීම නොකළ යුතුය.
එසේ කිරීමේදී නිය මල ආශ්රිත සම තවත් ප්‍රදාහ තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ.
රෝගීන් කළ යුත්තේ එම ඖෂධීය ද්‍රව්‍ය තැම්බූ ජලය නිවුනාට පසු භාජනයකට දමා ප්‍රදාහ වී ඇති අත ඇඟිලි හෝ පාද එම වතුරට දමා විනාඩි කිහිපයක් තබාගෙන සිටීමය. පසුව ඉවතට ගෙන හොඳින් වේලීමට සිටිය යුතුය.
කිසිදු විටක තුවා රෙදි කැබලි ආදියෙන් අතුල්ලා පිස දැමීම හොඳ නැත. එසේ කිරීමේදී (පිස දැමීම) සම තවත් තුවාල විය හැකිය.
නියබිරිත්තාව රෝගයේදී ඖෂධීය ද්‍රව්‍ය වලින් සේදීමට ප්‍රථම නියපොත්ත මුල සම ආශ්රිත ඇති විෂ සැරව ඉවත් කිරීම ශෝධනය කිරීම සඳහා මුලින් ප්‍රතිකාර කළ යුතු වේ. ඒ සඳහා නිය මල ආශ්රිත බෙහෙත් බැඳීම කරනු ලබයි.
ඇතුළත සැරව ඉවත් වීමෙන් අනතුරුව ඖෂධීය ද්‍රව්‍ය වලින් සෝදා තෙත වියැලුනු පසුව සර්වවිෂාදිය ආදී තුවාල වේලීමට තෛලයක් ආලේප කිරීම යෝග්‍ය වේ.
නිය මුල ප්‍රදාහය නිට්ටාවට සුව වූ පසු ලැජ්ජා බයකින් තොරව සිතේ සතුටින් සමාජයට ගොස් කාත් සමගත් එකට එකතු වී මිත්රශීලීව කාලය ගත කරන්නට ඔබට හැකි වනවා නොඅනුමානය
උපුටා ගැනීම : Suwa arana