මේ කතාව මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර සිදුවූවක්.
අපි දඹදිව වන්දනාවේ යද්දී අපේ
වන්දනා නඩය භාරව හිටි ඒ
මහතා කියූ ඒ මහතා ගේ
කතාවයි.
. අපි දඹදිව වන්දනා චාරිකාවකට එකතු වුනා. අපේ
කණ්ඩායම ට පහළොස් දෙනෙක්
හිටියා. අපේ කණ්ඩායම භාරව හිටියේ අවුරුදු පනහක් විතර වගේ මහත්තයෙක්. මට නම හරියට ම මතක නැහැ, මම
රණසිංහ කියලා කියන්නම්කො.
ඇත්තට ම ඒ මහත්තයා හරිම කරුණාවෙන්, ආදරයෙන් අපිව බලා ගත්තා. අපිට අවශ්‍ය හැම පහසුකමක්ම ලබා දුන්නා.
අපේ වන්දනා නඩයේ හිටියා
වයස අවුරුදු හැටපහක් විතර වයසැති තාත්තා කෙනෙකු යි, ඒ තාත්තා ගේ උදව්වට ආපු පුත යි.
ඒ තාත්තා ඒ වෙනකොටත්යම් යම් අසනීප වලට බෙහෙත් පාවිච්චි කරන කෙනෙක්. පුතා
ළඟ නිතරමපුංචි පොතකුයි, පෑනකු යි තිබුනා එයාගේ ඇඳුමේ සාක්කුවේ. ඒ එයාගේ තාත්තා ට බෙහෙත් බොන්න දෙන වෙලාවල් සටහන් කරපු පොඩි පොත් පිංච. කරේ එල්ලගෙන හිටි සැහැල්ලු බෑගයේ තමා
බෙහෙත්, උණු වතුර දමන පුංචි ප්ලාස්කුවක් එහෙම තිබුනේ.
ඇවිදගෙන යන වෙලාවල් වලදී
පියවර මනින පුංචි දරුවෙක්
බලාගන්න අම්මා කෙනෙක් වගේ තාත්තා ළඟින්ම යි, අත
අල්ලා ගෙන. හරීම ආදරයෙන්, සෙනෙහසින් තමා තාත්තා ව රැක බලා ගත්තේ.
ඒ දරුවගේ ඒ ආදර සෙනෙහස අපේ නෙතටත් කඳුළක් ගෙන දුන්නා. ඒ සතුටට නැගුනු කඳුළු
බින්දු. මේ වගේ ආදරණීය පුතෙක් දැකපු සතුටට.
මං අර කිව්ව අපේ නඩය භාරව හිටි රණසිංහ මහත්තයා බස්
එකේ අපි ගමන් කරන වෙලාවට
වන්දනා ගමනේ විස්තර අපිට පහදලා දෙනවා.
එදා අපේ ගමනේ අන්තිම දවස.
රණසිංහ මහත්තයා එදා අපිට
වන්දනා ගමන ගැන විස්තර කරලා ඉවර වෙලා
” දැන් මං කියන්නේ මම ඔයාලා
හැමදෙනාටම නොකියූ කතාවක්” කියලා ඒ මහත්තයා ගේ කතාව කිව්වා.
අපේ ගෙවල් තියෙන්නේ කැළණි විහාරයට කිට්ටුව. අපිට හිටියේ එක පුත යි. මටත් වඩා අපේ පුතා නෝනත් එක්ක තමයි එකතු. මම සමහර වෙලාවට එයාලා දෙන්නට විහිලු කරනවා ඉදිකට්ට යි, නූල යි කියලා.
අම්මට පුතා නැතුව බෑ.
පුතාට අම්මා නැතුව බෑ.
අපේ පුතා හොඳින්
ඉගෙනීමේ කටයුතු අවසන් කරා. වැඩිදුර ඉගෙනීමට පිටරටකට යන්න ඕනේ කියලා
පුතාගේ හිතට දමලා තිබුනේ
එයාගේ හොඳම යාළුවා.
ඒත් මගේ නෝනා කැමති වුනේ නැහැ. ඇස් දෙක වගේ ඉන්න එකම පුතා කොහොමද. ඇස් නොපෙනෙන මානෙකට යවන්නේ කියලා.
පුතා ගේ යාලුවත් යන හින්දා එයාට මේ ගමන යන්නම ඕනේ කියලා නිතරම අම්මත් එක්ක වාද කලා.
“අම්මා මට ආදරෙයි කියලා
මාව ඔඩොක්කුවේ ම ගහගෙන
ඉන්න මං පුංචි ළමයෙක් ද?”
පුතා එහෙම කිව්වම නෝනට
දුක හිතෙන්න ඇති. නෝනා
මං දිහා බැලුවේ හරිම දුකෙන්.
“අවුරුදු දෙකකට නේ යන්නේ
දන්නෙම නැතුව කාලේ ඉක්මනින් ගෙවිලා යයි”
. මම නෝන ගේ හිත හැදෙන්න කිව්වා.
කොහොමින් හරි අන්තිමට
බොහොම අමාරුවෙන් හිත
හදාගෙන නෝනා කැමති වුනා.
පුතා ගියාට පස්සේ දවස් දෙකකට සැරයක් අපිට කතා කරා.
කාලය ගෙවි ගෙවී යනකොට
පුතා අපිට කතා කරන දවසුත්
ටික ටික අඩු වුනා.
පුතා අන්තිමටම අපිට කතා කරේ මීට මාස දහයකට විතර
උඩ දී.
” මට හොඳ ගෑණු ළමයෙක්
මුණගැහුනා. අපි ලබන සතියේ
බඳිනවා. මං පස්සෙ කතා
කරන්නම්.”
එච්චරයි කිව්වේ. අපිට වැඩිදුර
විස්තර මොකුත් කිව්වේ නැහැ.
පස්සේ මම හොයලා බැලුවම
ඒ රටේම සුදු ජාතික ගෑණු ළමයෙක් තමා බැඳලා තියෙන්නේ. ඒ රටේම පුතාට
ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්
හින්දා. එයාගේ තව යාලුවෙකුත්
ඒ විදිහටම කරලා.
පුතාට අඩුම ගානේ මටවත්
කියන්න තිබුනා විස්තරේ. සමහරවිට එයා හිතන්න ඇති පවුලේ එකම පුතා නිසා අපි
විරුද්ධ වෙයි කියලා.
අපි බලා හිටියා පුතා ආයෙම
කතා කරනකන්. අපි එයාට කතා
කරන්න උත්සාහ කළා. ඒත්
බැරිවුනා.
හිතන්නවත් බැරි විදිහට පුතා
වෙනස් වෙලා. මගේ නෝනට
මේක දරා ගන්න බැරි වුණා. එයා
අසනීප වුනා. කොච්චර හරි
නෝනා මාත් එක්කවත් වචන දෙක තුනකට වැඩිය කතා කරේ නැහැ. ඇස් දෙකේ කඳුළු පුරවගෙන හුඟක් වෙලාවට පුතාගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නවා. මම පිරිමියෙක් හින්දා
තාත්තා කෙනෙක් විදිහට ඒ දුක
දරා ගත්තා.
දුක දරාගත්තයි කිව්ව ට එහෙම
කියපු රණසිංහ මහත්තයා මඳක් නිහඬ වුනා. සාක්කුවට අත දමලා ගත්ත ලේන්සුව ක්
ඇස් කණ්ණාඩි ය ඔසවලා
දෑස් මුලට තියලා තද කරා.
සමහරවිට ඒ නෝනා ගේ කඳුළු
මතක් වෙලා ඇහැට උනපු කඳුළක් වෙන්නැති.
මට දැනුත් ඒ මතක රූප පෙළ
හිතේ මැවිලා පේනවා.
රණසිංහ මහත්තයා ආයෙමත්
කතාව පටන් ගත්තා.
මම නෝනා ව පන්සලට එක්ක ගෙන ගියා. පන්සලේ අපිව හොඳින් දන්නා හඳුනන ස්වාමීන්
වහන්සේ නමක් හිටියා. මම
උන්වහන්සේ ට විස්තර කිව්වම ස්වාමීන් වහන්සේ දෙසූ දහම් අපිට අපේ හිත් සනසාලන්නට
උදව් වුනා.
නෝනගේ අවිවාහක සහෝදරියක් අපේ ගෙදර නවත්ත ගත්තා. අක්ක ත් එක්ක
නෝනා නිතර නිතර පන්සල්
යන්න පටන් ගත්තා. මම
මේ වන්දනා චාරිකා සංවිධානයට බැඳිලා මගේ දුක
තුනී කර ගන්න උත්සාහ කරනවා.
මම මගේ නෝනවත් දඹදිව වන්දනා චාරිකාවට තුන් හතර වතාවක් එකතු කර ගත්තා.
ඒත් එයා වඩා කැමති පන්සල් ගිහින් බෝධි මලුවේ ඉඳගෙන
භාවනාවට හිත යොදවන්නලු.
අද මම මේ කතාව ඔයගොල්ලන්ට කියන්න හිතුවේ රංජිත් පුතා හින්දා. ( වන්දනා
නඩයේ හිටපු මං අර කලින්
කිව්ව පුතා)
රංජිත් පුතා එයාගේ තාත්තා
වෙනුවෙන් ඇප කැප වෙලා
ආදරයෙන් බලා කියා ගන්න හැටි
දැක්කම මට අපේ පුතා ව මතක්
වුනා. රංජිත් පුතා ගේ තාත්තා මොන තරම් වාසනාවන්ත ද කියලා මට හිතුනා.
අපිට ඉන්නෙ එකම පුතෙක්
වුනත් අපි පින් කරලා නැතුව
ඇති.
රණසිංහ මහත්තයා ඒ රංජිත් පුතා වාඩිවෙලා හිටපු තැනට
ගියා.
” ඔබතුමාට ලැබිලා තියෙන්නේ
රත්තරන් පුතෙක්.
එහෙම කියලා රංජිත් පුතා ගේ
ඔලුව අතගෑවා.
මං හිතන්නේ බස් රියේ හිටිය
හැම දෙනාගෙම ඇස්වල කඳුළු
පිරිලා තිබුනා කියලා.
ඒ රණසිංහ මහත්තයා වෙනුවෙන් නැගුනු කඳුළු.
” මේ මගේ අන්තිම වන්දනා
චාරිකාව.මම දැනට විසි වතාවක් චාරිකා කරලා තියෙනවා. මගේ නෝනා තනි
කරන්න බැරි නිසා තමයි මම
නවතින්න හිතුවේ.”
“. අපි ආයෙමත් කවදාහරි කොහේදි හරි මුණගැහේවි.”