එ්ක තමයි මගෙ නම.නොන්ඩියා කිව්වාම මාව නොදන්න කෙනෙක් නෑ.උපතින්ම මගේ එක කකුලක් කොටයි.ඒ නිසා මං ඇවිදිද්දි පොඩි නොන්ඩියක් තිබුණා.
ඉස්කෝලේ යන කාලේ මට හිටියෙ එක යාලුවයි. ඒත් ටිකෙන් ටික එයත් මගෙන් ඈත් උනේ, නොන්ඩියාගේ යාලුවා කියන නාමය දරාගන්න බැරි නිසා වෙන්න ඇති.මං හරි ආසයි ක්රිකට් ගහන්න. යාලුවෝ ක්රිකට් සෙල්ලම් කරද්දි,
“නොන්ඩියා අපේ පැත්තට නම් එන්න එපා”
කියද්දි මම ආසාව පැත්තකින් තියලා කැමැත්තෙන්ම නරඹන්න ඉදිරිපත් වෙනවා.මම එච්චර ඉගෙන ගන්න දක්ෂ නෑ.ඒ නිසා ගුරුවරු උනත් මාව දැක්කෙ අපලයක් වගේ.ඉස්කෝලේ යනවා කියන දේ මට එපාමවෙලයි තිබුණේ.ඔව් මං ඒ කාලේ මතක් කරන්නවත් කැමති නෑ.ඒක ඇත්තටම පීඩිත කාලයක්.
මං ඒ දවස්වල තාත්තගෙන් අහනවා,
“තාත්තෙ මගේ මේ කකුල් දෙකම එක ගානට හදන්න බැරිද” කියලා.එතකොට තාත්තා කියන්නෙ,
“මේ මුලු ගමේම ඕනතරම් අය ඉන්නවා කකුල් දෙකම සමාන.ඒත් එක කකුලක් කොට කෙනෙක් මේ නගරයේවත් නෑ.ඒක කොච්චර වාසනාවක්ද” කියලා.
පුංචි කාලේ ඒ උත්තරෙන් මම සෑහීමකට පත් උනා. ලොකු උනාම ඒ ප්රශ්නය තාත්තගෙන් අහන එක මම නතර කළා.මං සාමාන්ය පෙළ යන්තම් පාස් වෙලා උසස් පෙළ කරන කාලේ තමයි මගේ ජීවිතේ අංශක එකසිය අසූවක්ම අනෙක් පැත්ත හැරවුණේ.
උසස් පෙළ කරද්දි මගෙ නම ටිකක් වෙනස් උනා.ඉස්සර නොන්ඩියා කියපු මට නොන්ඩි ධනු කියන කාඩ් එක වැටුණා.යාලුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් උනා.ඒත් ඒ හැමෝටම මම නොන්ඩි ධනූම තමයි.
නිසංසලා.මට හමුඋන හොදම යෙහෙළියක්.ඇය ඉගෙන ගන්න දක්ෂයි.මහලොකු ලස්සනක් තිබුණේ නැතත් අමුතු සුන්දරත්වයක් තිබුණා.මම මගේ ජීවිතේ හැමදෙයක්ම බෙදාගත්තෙ ඇයත් එක්ක.
“ඔයාගේ වොයිස් එක හරි ලස්සනයි ධනුක.ඉස්කෝලේ හොද ගායකයෙක් වෙන්න අැති නේද”
“ඔයාට පුලුවන් හොද ගායකයෙක් වෙන්න”
එයා ගොඩක් වෙලාවට කිව්වෙ එහෙම.ඉතිං මමත් ඒ දවස්වල ගෙදර ගිහින් සිංදු කියනවා.ඒ සිංදු රෙකෝඩ් කරලා මංම අහනවා.ඇත්තටම ඒවයේ හොද රිද්මයක් තියෙනවා කියලා මටත් හිතුණා.මගේ අඩුපාඩුව ගැන දුක් වෙවී හිටපු මම සංගීතයට යොමු උනේ එහෙම.
උසස් පෙළින් පස්සෙ මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා.නිසංසලා කැම්පස් තේරුණා.අපි දුරස් වෙද්දි මට දැනෙන්න පටන් ගත්තා ඇගෙන් දුරස් වීම වේදනාවක් බව.මං ආදරේ ගැන දැනන් හිටියෙ නෑ.ඒත් මට දැනුණා මං නිසංසලා ගැන වද වෙනවා කියලා.මං ඒ ගැන කෙලින්ම ඇයට කිව්වා.
“ධනූ මමත් ඔයාට කැමතියි.ඒත් ඔයා මං වෙනුවෙන් දෙයක් කරන්න ඕන”
නොන්ඩි ධනූට හොදම යාලුවෙක් වෙච්ච එකම කෙල්ල වෙනුවෙන් ඕන දෙයක් කරන්න මම ලෑස්ති වෙලයි හිටියෙ.
“දවසක ඔයාව ප්රතික්ෂේප කරපු, ඔයාව විහිලුවට ගත්ත හැමෝම ඔයාට ආදරේ කරන තත්වයකට එන්න ඕන.මිනිස්සුන්ගේ හිතේ හයිය තමයි හැමදේටම වඩා වැදගත් කියන එක ඔයා ලෝකයට පෙන්වන්න ඕන.ඒකට තමයි දෙවියො ඔයාට ලස්සන වොයිස් එකක් දීලා තියෙන්නෙ”.
කවදාවත් කිසිම කෙනෙක් මාව අගය කරලා නෑ.ඇය මුණ ගැසුණු දිනයේ ඉදන්ම ඇය මාව දිරිමත් කළා.ඇයගේ ඉල්ලීමෙන් මට මහ අමුතු ජවයක් ලැබුණා කිව්වොත් හරි.
“මම අනිවාරෙන්ම එහෙම කරනවා”
එදා මගේ පොරොන්දුවත් එක්ක ඇය මගේ ළඟින්ම හිටියා.මම ජොබ් එක කරන ගමන් වොයිස් ප්රැක්ටිස් වලට ගියා.හොදම ගුරුවරයෙක් යටතේ සංගීතය හැදෑරුවා.
“නොන්ඩියා දැන් මියුසික් ඉගෙන ගන්නවා කියලා ආරංචියි.ඕවා හරියන වැඩද බං”
මේ වගේ කතා ඕන තරම් ඇහුවා.ඒත් මං ඒ හැම කතාවක්ම දකුණු කනින් අහලා වම් කණින් පිට කලා.නිසංසලාගේ වචනය මතම විශ්වාසය තියාගත්තා.අවසානයේදී ඒ හීනය හැබෑ උනා.අවුරුදු පහකට පස්සෙ මම ලංකාවම දන්න ගායකයෙක් උනා.
“ඔයා ඒක කළා ධනුක.දැන් ඔයාගේ සාර්ථකත්වයට බාධා කරන්න කාටවත්ම බෑ.දැන් බලමුකො නොන්ඩියාගේ චණ්ඩි වැඩ”
එදා තමයි ඇයගේ කටින් නොන්ඩියා කියන වචනය මං වෙනුවෙන් පිට උනේ.පළවෙනි වතාවට මට හිතුණා ඒ වචනේ හරි ආදරණීයයි කියලා.
ගමටම නොන්ඩියා උන මම ඊට පස්සෙ ගමේම වාසනාව උනා.නොන්ඩියා කියන නම වෙනුවට අපේ ධනුක කියලා මිනිස්සු මට කතා කරද්දි නිසංසලාගේ වචන කොච්චර ඇත්තද කියලා මට හිතුණා.අපේ පන්තිවල ඉදලා මාව සෙල්ලමකටවත් ගන්න අකමැති උන උන්, අපේ එකෙක් කිය කිය මගේ වීඩියෝ ශෙයා කරන්න පටන් ගත්තා.ජීවිතේටවත් මගෙ මූණවත් නොබලපු අපේ පන්තිවල හිටපුකෙල්ලො හෝ ගාලා මාව ෆේස්බුක් එකේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකට දා ගත්තා.ඒ විතරක් නෙමෙයි, මහා සත්ව කරුණාවෙන් මට මැසේජ් කරන්න පටන් ගත්තා.මට ආදරේ ප්රකාශ කරන්න පටන් ගත්තා.ඒ අතර පුංචි කාලේ ඉඳලම මට ආදරේ කරලා කියාගන්න බැරිව හිටපු කෙල්ලොත් හිටියා.කාත් කවුරුවත් නැතුව ඉස්කෝලේ ඔහේ ඉද්දි ඒ හංගන් හිටපු ආදරේ අන්ධ වෙලා තිබුණද කියලා මං අහද්දි කියාගන්න දෙයක් නැතුව ඔවුන් නිහඬ උනා.කොටින්ම අවසානයේදි හැමෝටම මගේ නොන්ඩි කකුල අමතකම උනා.
නොන්ඩි ධනූ ගායකයෙක් කරපු ඒ අපූරු ගැහැණිය සමඟ මම විවහා උනා.ජීවිතේ ගැන කලකිරීමකින් හිටපු මම ජීවිතේට ආදරේ කරන්න පටන් ගත්තා.මිනිස්සු මං වෙනුවෙන් අත්පොලොසන් දෙද්දී මම ඇය සමඟ ජීවිත කවිය ගායනා කළා.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna