“මචං කාඩ් එක. දහ අට වෙඩිම. ඒත් උඹ එන්ඩ නං එපා. “
ඉමේෂාන් එහෙම කියල බයික් එක ස්ටාර්ට් කරගත්තා. උත්පලා ගස්සගන ගෙට ගියා. ගෑනු නොදන්න කොච්චර දේවල් කොල්ලන්ගෙ යාලුකං වල තියෙනවද. මං චාමරට කෝල් කළා. චාමරටත් මට වගේම .කාඩ් එක විතරයි .මඟුල් ගෙවල් නෑ. ඒ වුනාට චාමරට මට වගේ දුක හිතිලා නෑ.
“මචං අපි දෙන්න එකතු වෙලා වැඩක් කරමු, උගෙ වෙඩිමට තෑග්ගක් ඈ.අපිට තෑගි දීලා පුරුද්දකුත් නෑනෙ බං.අපි දෙන එක ඌට වැඩක් වෙන්ඩ ඕන .”
“හතර වරං ගහන්නැතුව කියපංකො “
“උන්ගෙ කුඹුර බේරලා දෙමුද අපි දෙන්නා?”
“අඩේ .ඒක කීයකටද තියලා තියෙන්නෙ ?”
“එක හමාරකට. මං ගාව එකක් තියෙනවා .උඹට පනහක් දාන්ඩ පුළුවන් ද?”
“උත්පලාවියට හොරා ගන්න එකනෙ ගේම.”
“මගෙ එකී නං එකෙම්ම හා කිව්ව බං. මට දුකත් හිතුනා. ජනෙල් දාගන්ඩ ඒකි සල්ලි එක්කහු කෙරුවෙ. “
“උඹට හම්බුනෙ ගෑනියෙක්නෙ බං.මට හම්බුනෙ යකින්නක්. මේකි මේ මල්ලිට කුඹුර හාලා දුන්න කියලත් එල්ලගන ඉන්නෙ. “
“එහෙනං වැඩේ කෙරෙන්නෑ”
“හිටපංකො. අර සාගර අයියලගෙ ඉඩම විකුණපු එක මං තාම අපෙ ගෑනිට කිව්වෙ නෑ. ඒක උඹ කරපු එකක් කියලා කියන්නං ඈ. නැත්තං මේකිට සල්ලි පෙන්නන්ඩ වෙනව. ඒකෙන් හැටක් එනව. මං ඒ හැට දාන්නං. “
“ඔච්චර බය මොකද බං ගෑනිට.?”
“මේකට කියන්නෙ බය කියල නෙවේ මචං. මේකට කියන්නෙ පරිස්සම කියලා. කනක් ඇහිලා ඉන්ඩ නැතිවෙනව බං. මේක ගස්සගන ගෙදර ගියා කියපං ,මං කොහොමද ළමයා හදාගන්නෙ. ඔන්න ඕකයි තත්වෙ. හරි මචං උඹ පොල් සරා එක්ක කතා කරපං.”.
” කොහොම හරි මචං, ඉමේෂානයගෙ මගුල් පාටියේ අපි නෑ ඈ.”
එදා ඒ පාටිය නොදැම්මනම් මෙදා පාටියේ ඉන්න තිබ්බා කියලා නොකියම මං ඒ ඇමතුම විසන්ධි කළා.
ඒ පාටිය තිබ්බෙ මීට අවුරුදු කීපෙකට ඉස්සර. වැව් තාවුල්ලෙ. අවුරුදු උත්සවේට ඉස්සර තිබ්බ ක්රිකටි තරඟාවලියෙ දිනුවෙ අපි. තරඟයේ වීරයා ඉමේෂාන් .ඉමේෂාන් ජොබ් එකට ගිහින් මාස හයක් ඇති. පාටියට වියදං කළෙත් ඉමේෂාන්.
බොන්න පටන් ගත්තම බෝතල් මදි වෙන එක සොබාවය. හවස හතරට විතර ඇති, මදි පාඩු ගේන්න ටවුමට ගියෙ මායි චාමරයි.
අපි ආපහු ආවේ බෝතල් තුනකුත් අරන්. හන්දියේ ඉඳන් වැව ගාවට යනකං පාර පටුයි. අපිට ඉස්සරහින් යනවා ඇම්බියුලන්ස් එකක්. සුව සැරිය ආව කාලෙම
අපිට හදිස්සියි තාවුල්ලට යන්න. අපිට ඕන වුනා ඇම්බියුලන්ස් එක පහු කරලා යන්න. චාමර අමාරුවෙන් ඉස්සර කළා. මං ඒ සතුටට පොඩ්ඩක් කෑ ගැහුවා. ලැජ්ජා වුනත් කියන්නම එපැයි. වෙරි කියන්නෙ ඒකට. එක පාරටම ස්කූටරේ එහාමෙහා පැද්දිලා පාර මැදට පෙරලුණා. ඇම්බියුලන්ස් එක බ්රේක් කළා.
එයාලා බැහැලා ඇවිත් අපි දෙන්නව බලලා ඉස්පිරිතාලෙ අරන් යන්න හැදුවත් අපි කැමති වුනේ නෑ. අපිට එහෙම අමාරුවක් තිබ්බෙ නෑ. පස්සෙ අපි තාවුල්ලට ගියා . පාටියේ හොඳම හරියෙ ජෝතිපාලගෙ එකම සිංදුව තුන් හතර පාර කියවෙනකොට ඉමේෂාන්ලගෙ මාමයි තව දෙතුන් දෙනෙකුයි ආවා. රෑ හතට විතර.
“අඩේ ගොං තඩියා.මහ එකා අරෙහෙ මැරිලා. මේ බල්ලා මෙතන චූන් වෙනව.”
ආයෙ මොකටද දිග කතා. ඉමේෂාන්ලගෙ තාත්තා ගෙනියන්න ඇම්බියුලන්ස් එක ඇවිත් තියෙන්නෙ. පපුවෙ අමාරුවක් හැදිලා. ඉස්පිරිතාලෙන් කිව්වලු තව විනාඩි දහයක් ඉස්සර වුණා නම් බේගරන්න තිබ්බා කියලා.
චාමරයි මායි ඇම්බියුලන්ස් එක ඉස්සරහා වැඩ දාන්න ගිහින් තමයි එයාල පරක්කු වුනේ කියලා ගමම දැනගත්තා.
ඉමේෂාන්ලගෙ අම්මා අපිට මලගෙදරට වත් එන්න දුන්නෑ.
සාධාරණයි. ඊට පස්සෙ ඉමේෂානයාට සෑහෙන්න කරදර වුනා. අපි ඔක්කොම බැඳලා ළමයි ඉද්දි ඉමේෂාන් නංගිලා දෙන්නවම බන්දලා දීලා දැන් තමයි බඳින්නෙ.
චාමරටයි මටයි මගුල් කියන්න ඉමේෂාන් ට බෑ. අම්මා කැමති නෑ. ඒකට කමක්නෑ. අපි ඉමේෂාන්ට තෑග්ගක් දෙනවා.
මං මැරෙන තුරාවට , කවදාකවත් ,ගිලන් රථයකට පාර හරස් කරන්නෑ. තප්පරේක ප්රමාදය ජීවිතයක් නැති කරන්න පුළුවන් නිසා. මහ පාරෙ විතරක් නෙවෙයි ගම ඇතුලෙ අඩි පාරක් වගේ එකක හරි යන්නෙ ඇම්බියුලන්ස් එක නම් ඒ පාර ඒ වෙලාවට වැඩියෙන් අයිති ඒකට..
ඉමේෂාන් දහ අට බඳිනවා. අපි විස්ස කුඹුර බේරලා දෙනවා.
කොහොම වුණත් ,
එදා අපි ඇම්බියුලන්ස් එකට ඉඩ දුන්න නං දහ අට මඟුල් ගෙදර ඉමේෂාන්ලගෙ තාත්තත් ඉන්නවා. චාමරයි මායි දෙන්නත් ඉන්නවා..
උපුටා ගැනීම: සුජාතා මැණිකේ ඉහළගෙදර