නොගැළපීම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කැම්පස් එකේ අවුරුදු හතරෙම මගේ රූමා තමයි සුදේශ්. ඌ අවුට් වුණ ගමන් සවුදි ගියා ජොබ් එකකට. අවුරුද්දකට සැරයක් ඌ ලංකාවට ආව වෙලාවලට අපි සෙට් වුණා. ඌ හොද ගාණක් හම්බ කරගෙන ඇවිත් බැන්දා. ඌ යාලු වෙලා හිටපු කෙල්ල ඒ වෙද්දි සයන්ස් ෆැකල්ටියේ ලෙක්චරර් කෙනෙක්.
උන් බදිනකොට සුදේශයා ගේකුත් හදලා ආව ගමන් හොද වාහනේකුත් අරන් වැඩ ඔක්කොම ඉවරයි. ඌ කොහොමත් ලක් කාරයා. හිත හොද නිසා ඌට වැරදුණෙත් නෑ.
මම ඉස්කෝලෙ කාලෙ පටන් ගත්ත ලව් එක අතෑරියෙ නෑ. එයාලගෙ ගෙදර හරියට අගහිග. ඒ නිසාම අපේ අම්මලත් සෑහෙන ඥරු ඥරු ගෑවා. ඇයි ඉතින් පරම්පරාවේ පළවෙනි ඉංජිනේරු පුතානේ. රස්සාවක්, දේපළක් නැති කෙල්ලෙක් බදිනකොට අම්මලාටත් ඉවසන්න බෑනේ.
කුමාරි ඒ ලෙවල් වලින් පස්සේ මුකුත් කළේ නෑ. අපි බැන්දාට පස්සේ එයා ගෙදර හිටියා. අපි කඩුවෙල පොඩි ඇනෙක්ස් එකක් ගත්තා. මගේ පඩියෙන් ෂේප් එකේ වියදම් ටික බැලන්ස් කරගෙන ගියා.
අපිට බැදලා ටික දවසක් ඇවිදින්න කාර් එක දුන්නෙත් සුදේශ්. හැබැයි ඌ වැඩ කළේ මාතර නිසා වැඩිය අපි හම්බ වුණේ නෑ. දවසක් බැචෙක්ගේ වෙඩිං එකදී හම්බෙලා උගෙන් බේරෙන්න බෑ ගෙදර එන්න කියලා.
මම එන ගමන් ගිහින් ආවා.
ඌ සවුදි හිටපු ආර්කිටෙක් කෙනෙක්ට කියලා තමයි ප්ලෑන අන්දගෙන තියෙන්නේ. ඒ හින්දා ගෙදර මාර ලස්සනයි. පොඩි වුණාට නියමෙට ඉඩ තියෙන්න හදලා.
පින්තූරෙ වගේ පිළිවෙළට තියෙනවා. සුමුදු, සුදේශ්ගේ වයිෆ් කොහොමත් වැඩි කතාවක් නෑ. අපිට කේක් එක්ක කූල් ඩ්රින්ක් දීලා එයා උඩට ගියා. අපිට නිදහසේ කතා කරන්න දෙන්නනේ.
හැබැයි පැයකට විතර පස්සේ මම එහෙනම් මේලකව බස්සලා එන්නම් කියලා සුදේශයා වාහනේ යතුර අතට ගද්දි නම් ගෑනිගෙ මූණ වෙනස් වුණා.
“අද නංගිලාගෙ ගෙදර යන්න නේද හිටියේ.“ කියලා ඇහුවෙත් තරහෙන් වගේ.
“හෙට එනවා කියලා නංගිට කෝල් කරන්නකෝ“ කියාගෙන සුදේශයා හැරුණා.
අපේ ගෙදර යනවා කියා හිතුවාම මගේ ඇගත් එක්ක හිරි වැටුණා. මගදි සුදේශ් එක්ක එනවා කියලා කුමාරිට කෝල් කළා. ඒත් ගේ අස් කරලා තියන්න කියලා කියන්න බෑනේ ඌටත් ඇහෙන්න.
යන්තම් ටිකක් එහෙ මෙහෙ කරලා තිබුණා.
ඒ වුණාට අර ගෙදර තිබුණ පිළිවෙළත් එකක් බලද්දි අහසයි පොළවයි වගේ. අපේ ඇනෙක්ස් එක කූඩුවක් වගේ. තියෙන්නේ පුටු දෙකයි ඇදයි කුස්සියේ මේසෙයි විතරයි.
“මම එළවළු රොටි හදනවා, සුදේශ් අයියත් එක්ක මෙහෙටම එන්න“
කුමාරි කුස්සියෙ ඉදන් කියද්දි මට යකා නැග්ගා. මේ ගෑනිට පිස්සුද මන්දා. අපේ ගෙදර ටොයිලට් එක තියෙන්නෙත් කුස්සියට අල්ලලාම වගේ.
“මම මෙහෙ ඉමු“ කියද්දිත් සුදේශයා පුටුව උස්සගෙන යනවා.
මොනව කරන්නද?
කුමාරිට නම් වගේ වගක් නෑ. පොල් මිරිකපුවා එහෙමම. පලා ටිකක් බාගෙට කපලා. ළුනු මිරිස් දාලා හදපු රොටියි ප්ලේන්ටියි අපට දීලා හිරමණේ උඩ ඉදගෙන එයා කතාව.
සුදේශයත් කතා කරන්න බැරි මිනිහනේ. ඌ උපන් දා ඉදලා කතා කියලා හිනා වෙලා හිනා වෙලා පැය ගාණකට පස්සේ තමයි ගියේ. ටිකක් වෙලා යද්දි මටත් තිබුණ තරහ නැති වුණා කුමාරි එක්ක. එයා ඉතින් ඔය ලොකු ගෙවල් වල පිළිවෙළ දැකලාවත් නෑනෙ.
තව පොඩ්ඩෙන් කුමාරි සුමුදුටත් රොටී ඔතලා යවන්න හදනවා සුදේශ් අතේ. දවසක හොදට මොනවා හරි හදාගෙන යමු කියලා මම යන්තම් ඒක නවත්තගත්තා.
ඒ වුණාට මට එදායින් පස්සේ නිකම් හිතේ කහට පැල්ලමක් ඇදුණා වගේ දෙයක් වුණා. ඉස්කෝලෙ කාලෙ පස්සෙන් ගිහින් ගිහින් කුමාරිව යාලු කරගත්තට මට පස්සේ හිතුණේ කුමාරි මගේ ඇගේ එල්ලුනා කියලයි. මම තනියම ගෙදර ගියොත් ඉතින් අපේ අම්මලගෙ පුංචිලගෙ කටේ තිබ්බෙත් ඕකම තමයි.
“අපූරුවට හොද තැනකින් මගුලක් කරගන්න තියෙද්දී කරගහගත්තනේ මේකට. මොනවා කරන්නද ඉතින් පවට පින දෙන්න බෑනෙ“
ටික ටික අපේ යාලුවෝ හොද රස්සා කරන ගෑනු බදිද්දී මටත් කුමාරි ගැන තරහක්මයි හිතුනේ. උන් බැන්ද ගමන් දෙන්නත් එක්ක එකතු වෙලා කාර් අරන් ගෙවල් හදාගත්තා, මට විතරක් ඒ මුකුත් නැතුව මේ නිකම්ම නිකම් ගෑනියෙකුට කන්ඩ අදින්ඩ දෙන්න වුණා කියලා තමයි මට හිතුනේ.
කොහොමත් කුමාරිව තැනකට එක්ක ගියාම එයා ඉන්න විදිහෙන් කතා කරන විදිහෙන් අපේ බැච්වල කෙල්ලන්ට, ජොබ් කරන තැන්වල අයට වඩා ලොකු වෙනසක් පෙනුණා. ඇදුම් එහෙම කොච්චර හොදට අරන් දීලා එක්ක ගියත් මගෙ හිතද මන්දා මට පෙනුණේම කුමාරි ඒ කෙල්ලන්ට වඩා හරි වෙනස් විදිහට.
එයාට කොච්චර කිව්වත් “වීල් එක, රයිස් එක, බාටා දෙක“ වගේ වචන හරිගස්සගන්නත් බැරි වුණා.
අන්තිමට වුනේ මම යාලුවෙක්ගේ වෙඩිං එකකටවත් කුමාරිව එක්ක නොයා තනියම ගියපු එක. බැන්ද අලුතම වගේ ලෝන් එකක් දාලා ඉඩම් කෑල්ලක් ගත්ත නිසා මම සල්ලි අතිනුත් ටිකක් හිරවෙලා හිටියේ. පස්සේ පස්සේ මාසේ ගෙනිච්චෙත් අමාරුවෙන්. ඒ ස්ට්රෙස් එකටද මන්දා මට කුමාරිව නුරුස්සන ගතිය තවත් වැඩි වුණා.
කුමාරිගෙ ඇද පේන්න පේන්න මට මතක් වුණේ සුමුදු. හොද පවුලක, හොදට ඉගෙනගත්තු, හොද වැදගත් පෙනුමක් තියෙන, ඕන තැනක කැත නැතුව එක්ක යන්න පුලුවන් ඒ වගේ ගෑනියෙක් ඉන්න එකට වඩා වෙන පිණක් මිනිහෙකුට ඕන නෑ කියලමයි මට හිතුණේ.
මම දැකලා තියෙනවනේ අපේ බැචාලගෙ මගුල් වලට එහෙම සුදේශයා ඒකි එක්ක එනවා. මොනවා ඇදලා ආවත් ආයෙ නෑ කැපිලා පේනවා මනමාලිටත් වඩා. හිනාව කතාවත් අපේ ගෑනු වගේ චාරයක් නැති විදිහට නෑ. ගානට හිනාවෙලා වැඩි කතාවක් නැතුව ඉන්නවා මොනරි වගේ.
මට කුමාරිගෙන් එක පාරට අයින් වෙන්න බැරිවුණා. මට යාලුවෙක් මාර්ගෙන් මැලේෂියාවෙ ජොබ් එකක් සෙට් වුණේ ඔය කාලේ. මම ඒ පිට දාලා ගියා. කුමාරිව ගෙන්න ගන්න කතාවක්වත් මම කිව්වේ නෑ. මට හිතෙන්නේ ඒ වෙද්දි කුමාරිටත් තේරිලා තිබුණේ අපි ගැළපෙන්නේ නෑ කියලා. ඇත්තටම මට රට ගියාම ලොකු සහනයක් දැනුනේ.
මම අවුරුදු දෙකක් ඉදලා තමයි නිවාඩුවට ලංකාවට ආවේ. සල්ලිත් ටිකක් හම්බ කරගෙන ආවා. කුමාරිත් පොඩි ජොබ් එකකට යනවා කියලා අක්කා කතා කරපු වෙලාවක කිව්වා. මම හිතුවේ ගිහින් එයාවත් හම්බවෙලා කියක් හරි සාධාරණ ගානක් දීලා හොද හිතින් අයින් වෙන්න කතා කරගෙනම ආයෙ මැලේෂියාවෙ එනවා කියලා.
දැන් ඉතින් මාත් ටිකක් කල් රට එහෙම ඉදලා අලු ගසා දාලානේ ආවේ. හොද පිළිවෙළ එකක් මේ පාර බලමු කියලා තමයි අම්මලත් හැම වෙලේම කිවේවේ.
අපේ බැච් එකේ ගෙට් ටුගෙදර් එකක් තිබුණා මම ඇවිත් දවස් දෙක තුනකින්. කාලෙකින් කට්ටිය දැක්කෙත් නැති නිසා මාත් ගියා. සුදේශයා ඇවිත් හිටියේ තනියම. කලින් පාරවල නම් උන් දෙන්නාම ඇවිත් ඉන්නවා මම ෆේස් බුක් එකේ එහෙම දැකලා තිබුණා.
“ඇයි මචං සුමුදු නැත්තේ, මුකුත් වෙනසක්වත්ද?”
ටිකක් කතාකරන්න ඉදගත්තම මම උගෙන් ඇහුවේ වෙලාවට කලාවට ඔක්කොම කරගත්තු එකා නිසා දැන් සුමුදුට බබෙක් වත් හම්බෙන්න ඇති කියලයි.
ඌ හිනා වුණේ ටිකක් අමුතු විදිහට.
“උඹ ලංකාවට ආවම මම කියන්න හිටියේ මචං. අනිත් එවුන් නම් ඔක්කොම වගේ දන්නවා. මායි සුමුදුයි දැන් මාස හයකට වගේ කළින් සෙපරේට් වුණා.“
උගේ කතාවෙන් මාව නිකම් කරකවලා අතෑරියා වගේ වුණා. ඒක මගේ මූණෙන්ම පේන්න ඇති සුදේශයාට හිනත් ගියා.
“අනේ ඇයි මචං. මට එහෙදිත් කල්පනා වුණා උඹලා කොච්චර ලකීද කියලා. ලස්සනට හිටියනේ මචං.“
“අනේ බං පිටට පේන්න නම් හිටියා තමයි. ඒ වුණාට සුමුදුගෙ පුදුම මාන්නයක්නේ ඒ කාලේ ඉදන් තිබුණේ. මම හිතුවේ ඔන්න කැම්පස් කාලේ නම් කොල්ලෝ එකා යනකොට එකා අහලා, උන්ට ඇණ දීලා ගැට්ටෙන් හිටපු නිසා කියලා. බැදලා මචං අපේ ගෙදර මිනිස්සුන්ටත් එහෙමයි. මම රට ඉන්නකම් ආසාවට එක දවසක් අපේ ගෙදරට නිකම් ගොඩ වෙන්න ගියේ නෑ. බැදලත් මචං එයාගේ අම්මලයි නංගිලයි එයාගේ අර සමයං යාලුවෝ ටිකයි තමයි. දැක්කනේ එදා උඹ ආව දවසෙවත් හරියට මූණ දීලා කතා කළේ නෑනේ. කුමාරිහාමි ලයින් එක දෙන්න යනවා හැම එකාටම. මම මචං දන්න විදිහට කිව්වා. එන්න එන්න මටත් පාර්ට් එක වැඩි වුණා.“
“ඒවා නම් මචං පොඩි ජාතිනේ. උඹ හිතනවද ඔය ලස්සනයි රස්සාවයි ඩිග්රියයි සල්ලියි තියෙනවනම් අනිත් කෙල්ලොත් ටිකක් හරි ආඩම්බර නොවී ඉදී කියලා“
“ඒවා පොඩි නෑ බං. අපේ අම්මලා මං හදපු ගෙදර ඇවිත් එක දවසයි හිටියේ. ඒකත් නිකම් පිට ගෙදරක ඇවිත් වගේ බයෙන් බයෙන්. මේ ගෑනි නිකම් වැඩකාරයෝ ටිකක් ආවා වගේ මූණ නාලු කරන් ඉන්නවා. මට හොක්කට දෙකක් දීගන්න බැරුව හිටියේ.බලපංකෝ එදා කුමාරි නංගි මං හදිස්සියේ ගිය වෙලේත් කොච්චර හොදට කතා කරලා සළකලා එව්වද? එහෙමනේ මචං ගෑනු ඉන්න ඕන. කන්ඩ බොන්ඩ දුන්නේ නැතත් කතා කළාම හිත පිරෙනවනේ මනුස්සයෙක්ගේ“
ඌ කියපු කතාවට මට නිකම් පාරක් වැදුණා වගේ උනා. මට කුමාරිව එපා වුණෙත් උගේ නෝනා නිසා. දැන් මූ කියන්නේ වෙනමම දෙයක්නේ. මට තුන් හිතකින්වත් හිතුනේ නෑ කුමාරි ගැන ඒ වගේ දෙයක් කිසිම කෙනෙක් හිතනවා ඇති කියලා. මගෙයි අපේ ගෙදර අයගෙයි හැමෝගෙම ඔලුවේ තිබුණේ කුමාරි ඔහේ කියවන, වැඩි බරක් පතලක් නැති කෙනෙක් කියන එකයි.
මම කුමාරි ගැන ආය වචනයක්වත් එදා ඌ එක්ක කතා කළේ නෑ. ගෙට් එක ඉවර වෙනකම් ඉන්නෙත් නැතුව අපි ආවා.
සුදේශ් එනකනුත් වෙච්ච ප්රශ්න අරවා මේවා ගැන කිය කියා ඇවිත් මාවත් ගෙදරින් බස්සලා ගියේ.
මට එදා රෑ නින්දකුත් නෑ. මම තව දවස් ගානක් කල්පනා කළා. කුමාරිලගේ ගෙවල් ළග ඉන්න අපේ යාලුවෙකුට කෝල් එකක් අරන් විස්තර ටිකක් අහගත්තා.
ඊළග දවසේ උදේම ඇහැරිලා ලෑස්ති වුණා.
“කොහෙද උදේම“ තේ එක හදාගෙන ආව ලොකු නංගි ඇහුවා.
“ගම්පළ ගිහින් එන්න ඕන“ කුමාරිලගේ මහ ගෙවල් තිබුණේ ගම්පළ.
“ආ. කීයක් විතර දෙන්නද දැන් කතා කරගන්න යන්නේ.“
“කීයක්වත් දෙන්න නෙවෙයි ඕයි. මේ පාර මං යනකොට කුමාරිත් එක්ක යන්න පාස්පෝර්ට් එහෙම ලෑස්ති කරගන්න ඕන“
“හෑ“
මම නංගි මොනවද කියන්නේ, ඒකි ගිහින් ඒක කණේ තිබ්බම අම්මා මොකද කියන්නේ බලන්න හිටියේ නෑ. කුමාරි මොනව වුණත් අපේ පවුල් දෙකටම වෙනසක් නැතුව සැළකුවා. මට සැළකුවා. වැදලා හරි මා එක්ක යන්න කතා කරගන්න හිතාගෙන මම ගෙයින් එළියට බැස්සා
උපුටා ගැනීම : පවිත්රා අභයවර්ධන 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!