නොකියවූ පොත (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සදීෂා සත්සරණි. ඒ නමේ රටාවට ඔහු කැමති ය.
වෙලාව රාත්රී එකොළහයී. ඇඟ සෝදා රාත්රී ආහාරය ගෙන ඔහු ඇදේ හාන්සි වී ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සැරිසරන්නට විය.
දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මෙය ඔහුගේ පුරුද්දකී.
ඇයගේ මිතුරු ලැයිස්තුවෙහි පන්දාහ ද සම්පූර්ණ වී ඇත.
ඇය සමඟ කතා කර ඇත්තේ ද එකම එක දවසක් පමණි.
එදත් කතා කළේ ඔහු පමණි.
ඔහු කියාගෙන ආ දෙය සම්පූර්ණ කිරීමටත් කලියෙන් ඇය පැන දිව්වා ය.
එදයින් පසු නැවත ඇය හමුවූයේ නැත.
ඇය එනතුරු බලා සිටියද ඇය නැවත පැමිණියේ නැත.
ඇය ආපහු ඔහුගේ ජීවිතයට ඇතුළු වන්නේ ෆේස්බුක් හරහා ය.
ඇයට ඔහුව අමතක වී ඇතැයි සිතුණද එසේ වී නැති බව පෙනෙන්නේ ඇයගේ ගිණුමෙහි වූ එක් සටහනක් නිසා ය.
ඇය සඳහන් කළ ඇති ආකාරයට ඔහු නන්නාඳුනන පුද්ගලයකි.
ඒ නන්නාඳුනන පුද්ගලයා ඔහු යැයි කීමට ඔහුට අවශය වුවත් ඔහු එසේ නොකළේ ය.
ඔහු දිනපතා ඇයගේ ගිණුමෙහි අස්සක් මුල්ලක් නෑර ඇය විවාහකදැයි එසේ නැත්නම් ඇයට පෙම්වතෙක් හෝ සිටීදැයි විපරම් කරයී. නමුත් එවැනි දෙයක්ද දැකගත නොහැකිය.
ඇය වෘත්තියෙන් ගුරුතුමියක්ය. ලේඛිකාවක් ය.
දුෂ්කර පාසල් වලට, ළමා නිවාස වලට පුස්තකාල ලබාදීමත්, ළමා පරපුර කියවීමට යොමු කිරීමත් ඇයගේ අරමුණයී.
ඔහුද කීප වතාවක්ම ඇයගේ මෙම සේවාවන් සඳහා ඇයගේ ගිණුමට මුදල් පරිත්යාග කරන ලදි.
ඔහු ඇයගේ පෝස්ට් එකකට ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් දමා නැත.
ඔහු ඇයව හඳුනාගත්තා සේ ඇය ඔහුවද හඳුනාගනීවී යැ යි ඔහුට බිය ය.
ඇය ඔහුව දැනගත යුතුය. නමුත් ඒ මෙහෙම නොව. එයට සුදුසු වෙලාවක් එනතෙක් ඔහු ඉවසුවේය.
_____________________________________
නිර්මාල් ට පොත්හළෙහි සුපුරුදු ඇයගේ දර්ශනය දැකගත හැකි විය.
සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි හවස තුනට පමණ ඇය පැමිණෙයී.
නැවත පිටවන්නේ හතරයි හතළිස් පහට පමණ ය.
ඇය යා යුතු බසය පිටත් වන්නේ පහට විය යුතුයැයි නිර්මාල් අනුමාන කළේ ය.
එතෙක් ඈ පොත් රාක්ක අතර සැරිසරයී. නමුත් කවමදාකවත් පොත් මිළදී ගන්නේ නැති බව ඔහු දනියි. කියවනවා පමණි.
නිර්මාල් ට වඩා අවුරුදු දෙකක් තුනක් පමණ බාලයැයි සිතිය හැකි ඇය ඉතාම කෙට්ටු ය. තළෙළු ය. දෙපාරක් බැලීමට තරම් ලස්සනක් නැති නමුත් ඇය පිළිවෙළ ය. නිර්මාල් පොත් කියවීමට වැඩි රුචිකත්වයක් නැත. ඇය පොත් කියවන දෙස බලා සිටීම ඔහුට ප්රිය ය.
නිර්මාල්ගේ පළමු රැකියාව මෙය ය. වැඩි වෙලා පොත් කියවන්නට එපා කීමට ඔහුට ශක්තියක් නැත. ඇයට පමණක් නොව ඔහු කාටවත් එසේ කියන්නේ නැත.
ඇයගේ ඇස් වේගයෙන් පොත් තුළ අකුරු මතින් එහෙ මෙහෙ දුවයී.
විටෙක ඔළුව ඔසවා ඔරලෝසුව දෙස බලයී. පොත්හළෙහි එක් බිත්තියක විශාල ඔරලෝසුවක් සවි කර ඇත.
එහි හතරයි හතළිස් පහ සටහන් වන විට ඇය පොත ගත් තැනින් තබා පිටත් වෙයී.
“අර ළමයා දැන් ගොඩක් වෙලා පොත කියවනවා මම බලාගෙන”
ඒ වෙළඳ සැලෙහි හිමිකරු පැමිණි දිනයකදී නිර්මාල්ට කීවේ ය. ඇය බොහෝ විට පොත් කියවන්නේ නිර්මාල් භාරව තිබෙන දෙවන තට්ටුවේ සිටය.
“ආ සර් එයා අපේ හොඳ කස්ටමර් කෙනෙක්. නිතරම වගේ පොත් ගන්නවා”
නිර්මාල් බොරුවක් කීවේය.
එක් ඉරිදා දිනයක ඇය වෙනදාට වඩා කලබලයෙන් පොතක් කියවන්නට වූවාය.
ඔරලෝසුව දෙස බැලුවේවත් නැත.
වෙලාව පහට පහයී. ඇය තාමත් පොත කියවයී. ඇයට වෙලාව මතක් කරදීමට ඔහු සිතුවේ ය. ඒ පහට පිටත්වන බසයක් වේ නම් ඇයට එය මඟහැරේවී යැයි සිතුණ නිසා ය.
“එක්ස්කියුස් මී.. වෙලාව නම් පහට…”
ඔහුට එය කියා නිමකිරීමටත් පෙර
ඇය ඔරලෝසුව දෙස බැලුවාය.
පොත තබා දිව්වාය.
ඇය තබා ගිය පොත ඔහු අතට ගෙන බැලුවේය. එහි වෙනත් පිටපත් තිබුණේද නැත. එතරම් ආසාවෙන් ඇය කියවූ පොත ලබන සතිය වන විට නැතිවීමට හැකිය. ඔහු නැවත එය එම රාක්කයේ තැම්පත් කරේ නැත.
එදා ඔහුට පඩි දවසය. ඔහු පොත මිළදි ගත්තෙ ඇයට දීමට ය.
ඉන්පසු ඇයට පොත දීමට ඔහු මඟ බලා සිටියේ ය. නමුත් කවමදාකවත් ඇය පැමිණියේ නැත.
පොත් හළෙහි සේවයෙන් අස්වී කොරියාවට පැමිණ දැන් අවුරුදු අටකටත් වැඩිය.
තව මාසයකින් පමණ නැවතත් ලංකාවට පිටත් විය යුතුය.
_______________________________
“””……. මගේ කුඩා අත්කම් විකුණලා තමයි උසස් පෙළ අමතර පන්ති වලට සල්ලි හොයාගත්තේ. ඉස්කෝලේ අපිට හරියට ගුරුවරු හිටියෙත් නෑ. මම කියවන්න ගොඩක් කැමති කෙනෙක්.මට පොත් ගන්න සල්ලි තිබ්බෙත් නෑ. අපේ ඉස්කෝලේ පුස්තකාලෙ තිබුණෙත් එකම එක පොත් කබඩ් එකක් විතරයී. ඒකෙ පොත් ඔක්කොම වගේ මම කියවපුව. ළමා නිවාසෙ තිබුණෙත් පොත් කීපයක් විතරයී. සෙනසුරාදා ඉරිදා හවස මට පන්ති ඉවර වෙන්නෙ තුනට. ටවුන් එකෙන් බස් එක තිබුණෙ පහට. ඒ පැය දෙක බස් නැවතුම ඉස්සරහ තිබුණ අරලිය පොත්හළේ පොත් කියෙව්වා.
දැන් නම් එහෙම කියවන්න පුළුවන්. ඒ දවස්වල ඒ ආයතනයෙ එහෙම කියවනවට කැමති නෑ.
ඒත් මම පොත් කියවපු අංශය භාරව සිටි කෙනෙක් මා වෙනුවෙන් ඉවසුවා.
අවුරුද්දක් පමණ ඔහු මා වෙනුවෙන් ඉවසුවා. ඇත්තටම මා පොත් කියවන්නෙත් ඔහු පෙනෙන්න සිටියොත් පමණි.
ගොඩක් අය අනාථ මඩමෙ කෙල්ලො කියල අපිව ගණන් ගත්තෙ නෑ. අප්පිරියාවෙන් බැලුවෙ. ඒත් ඔහු එහෙම නෑ.
මගේ විභාග කටයුතු නිම වී නැවත එම පොත් හළට ගියත් ඒ වෙද්දි ඔහු එතැන සේවයෙන් අස්වෙලා
මට පොත් කියවන්න නොදෙන්නැයි වෙන අය කියන විටද ඔහු මා වෙනුවෙන් ඉවසුවා.
ඉතින් මා වෙනුවෙන් පෙනීසිටි නන්නාඳුනන අයෙක්ට පොතක පිදුමක් වෙන්කිරීම සුදුසු නොවීමට හේතුවක් නෑ.
ඔහු එය දැනගත්තද නොදැනගත්තද මා යුතුකමක් ඉටු කළා.”””
ඇයගේ නවතම සම්මානනීය පොතෙහි පිදුම ගැන පාඨකයන් අසා තිබූ පැනයකට පිළිතුරක් ලෙස ඇය එසේ කියා තිබුණා ය.
නිර්මාල් ඒ ඇයම බව තහවුරු කරගන්නේ ඒ සටහනින් ය.
____________________________
නිර්මාල් ලංකාවට පැමිණ දෙවන දිනයේ උදෑසනම පොත් ප්රදර්ශනයේ ඇයට හිමි කුටිය සොයා ගත්තේ ය. ඇය ගාව බොහෝ සෙනඟ වට වී ඇත. ඒ ඇයගේ පාඨකයින් ය.
සෙනඟ අඩු වූ විට නිර්මාල්, සදීෂා හමුවට ගියේ ඔහුව හඳුන්වා දෙන ආකාරය ගැන ද සිතමින් ය. ඒ දවස්වලට වඩා ඔහුගේ පෙනුමද වෙනස් වී ඇති බව ඔහු සිතුවේ ය.
නමුත් ඇය ඔහුව අඳුරගත් බව ඔහුට සිතුණේ ඔහු දුටු විගසම සදීෂා වාඩී වී සිටි පුටුවෙන් නැඟී සිටි නිසාය.
අවුරුදු අටක් පමණ සුරැකිව තිබූ පොත නිර්මාල් ඇය අතට දුන්නේ ය.
“සමහරවිට මේ පොතේ ඉතුරු ටික ඔයා කියවන්න ඇති. හැබැයි ඒ වෙන පොතකින්. මේ එදා ඔයා බාගෙට කියවලා දාලා ආපු පොත. “
ගෙදරින් එනවිට කටපාඩම් කරගත් කතාවක් මෙන් ඔහු එක හුස්මට කියා දැම්මේ ය.
“නෑ. ඒ කතාවෙ ඉතුරු ටික මට කියවන්න බැරි වුණා”
සදීෂා මිමිණුවා ය.
නිමි_________
උපුටා ගැනීම:   Subhashini Rathnayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!