නොකියන්න සිතූ කතාවක්…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔව් හොල්මන් ගැන.. අකමැතිනම්, බයනම් බලන්න එපා… මම කතා කරන්නවත් අකමැති මාතෘකාවක්… දිග වැඩි උනේ හැමදේම සම්පූර්ණයෙන්ම කියන්න ඕන නිසා… කෑල්ලක්වත් අතනෑර කියවන්න…
මෙච්චර දවසක් මම ලිව්වෙ හාස්යට බර මගේ අත්දැකීම්… ඒත් කවදාවත් නොකිය ඉන්න හිතපු එක කතාවක්… ඔව් ගොඩක් අය මේවගේ මාතෘකාවලට ආස කරන නිසා ලියන්න හිතුවා… මේ වෙද්දි සත්ය හෙලිවෙන්න සොබාදහම තීරණය කරල නම් ඒක එහෙම්ම වෙච්චිදෙන්….
මාත් වයිෆුත් බැන්ද අළුත මං එ්ගොල්ලන්ගෙ ගෙදරම බින්න බැහැලා හිටියා.. පස්සෙ මාමන්ඩියාගෙ චොර සීන් නිසා අපි එහෙන් ඇවිත් ගෙවල් කීපයකම කුලියට හිටියා… දෙන්නම රස්සාවකට ගිහින් හම්බුකලේ අපේම ගෙයක් දොරක් ගැන හීනෙකට… ලක්ෂ හයක් හතක් අතට ආවම ඒ ගානට ගැලපෙන ඉඩමක් අපි හැමතැනම හෙව්වා.. දන්නවනෙ ඒ ගානට ඉඩම් හෙවිල්ල ලේසි නෑ… ගෙයක් එක්ක ඉඩමක් බැලුවෙ එතකොට පදිංචි උනාම ගෙවල් කුලී වියදමත් ඉතුරු නිසා.. එහෙම සිය ගනනක් අපි ගිහින් බැලුවා…
දවසක් මම දන්න අදුනන බ්රොකර් කෙනෙක්ගෙ මාර්ගෙන් දොම්පෙ කිට්ටුව ගෙයක් ගැන ආරංචියක් ආවා… දොම්පෙ ටව්මෙන් ටිකක් එහා.. ප්රධාන පාරෙ ඉදන් මීටර් 700ක් විතර ඇතුලට වෙන්න.. මට නිවාඩු දවසක අපි දෙන්න ඒ ගේ බලන්න ගියා… පර්චස් 40ක් වත්ත මැද තට්ටු දෙකේ ගරා වැටුන පරණ ගෙයක්… ගානෙ හැටියටනම් අත උඩින්…
වම් පැත්තෙ නවීන පන්නෙ ගෙයක්..දකුනු පැත්තෙ අර අපි ගන්න ගිය ගේ වගේම පැරණි ගෙයක්.. ගෙවල් දෙකම එකම වගේ.. අපි ගන්න බලපු ගේ ඉස්සරහ ටිකක් පැරණි පෙනුමක් තියන යෝධ උගුරුස්ස ගහක්.. මුළු මිදුලම ඒ ගහේ හෙවනට වැහිලා අදුරු වෙලා තිබ්බෙ.. වාහනේ නවත්තන්න තැනක් තිබ්බ ඉස්සරහම.. පියන් දෙකේ දොරත් ඇරන් අපි ගේ ඇතුලට ගියා.. කාලෙකින් කව්රුත් පදින්චි වෙලා ඉදල නැති නිසා පුස් ගඳයි… සමර කලවම් හුනු ගාල බිමට රතු සිමෙන්ති දාල මැදලා.පරණ තාලෙ රටඋලු සෙවිලි කරපු හොද ශක්තිමත් ලී බාල්ක දාපු වහලයක්….. ලීවලින් හදපු සොල්දරයක් තිබුනෙ, අත්වැටක් එක්ක ලී පඩිපෙලක්… ජනේල් සේරම පරණ තාලෙ කැටයම් ලෑලි දික් අතට කිතුල් පොලු ගහලා… ගේ පිටිපස්සෙ චුට්ටක් එහායින් ගලින් බැදපු ළිදක් තිබුන.. ලයිට් වතුර දෙකත් හරි..
බ්රෝකර් අයිය මට ගෙදර කාමරයක් කාමරයක් ගානෙ ඇවිද ඇවිද පෙන්නුව.. උඩ තට්ටුවෙ එක කාමරයක් හැර.. පහලට අාවම පහලත් එහෙමයි.. මට පෙනුන එකම කෙලින් උඩ යට කාමර දෙක තමා ලොක්…
“ඇයි අයියෙ මේ කාමර දෙක වහලා..?
“මල්ලි මේ සොල්දරේ තනිකරම රැංගුන් තේක්ක.. ගේ හදද්දි ලී මදිවෙලා ඔය කාමරේට ගහල තියෙන්නෙ මහෝගනී.. දැන් ඔය කාමරේ උඩ තට්ටුව දිරලා.. පරණ ගෙවල්නෙ බං කඩා වැටුනොත් එහෙම.. වරෙන් පෙන්නන්න ලොකු අව්ලක් නෑ..” කියල මට ඒ කාමරත් ඇරල පෙන්නුව.. කතාව ඇත්ත ඒ යට කාමරේ ගුල්ලො කාල දාපු ලීකුඩු පිරිලා…
මටනම් ගේ සැටිස්.. ඉරිද නිවාඩුවට වයිෆ් එක්ක ගේ බලන්න ගියා.. ගේ ගාවට ගියා විතරයි..”අම්බෝ ඕයි මේක නිකන් හොල්මන් බංගලාවක් වගේනෙ. ” වයිෆ් කියද්දියි මට ඒක කල්පනා උනේ…
“හොල්මන් හරි මොන මගුල හරි අතේ තියන ගානට කොළඹ හතේ බංගලා ගන්නද අනේ, පිස්සු නොකිය ගේ බලමු..” කියල අපි හැම තැනම ඇවිදල බැලුවා… හොදටම වල්බිහිඋන වත්ත.. ගෙයි බැල්කනි එකට අර වම් පැත්තෙ අළුත් ගේ නියමෙට පේනවා.. අපිට ඉතිං එහෙම ගෙයක් හීන තමා… කොහොම හරි වදෙන් පොරෙන් වයිෆ්වත් කැමති කරන් ඊලඟ සතියෙ ගේ ගත්තෙ තව පනස්දහක් අඩු කරවගෙනම….
ගෙයි පදිංචියට යන්න කලින් අස්පස් කරන්න හිතන් අපි ඉරිද නිවාඩුවක් දාගෙන වැඩපලේ කොල්ලො ටිකත් කතා කරන් අළුත් ගෙදරට ගියා… “අර උගුරැස්ස ගහ කපල දානවා..” වයිෆ්ගෙ ඕඩරේ පිට පොරවත් අරන් ගියා… වත්ත ටිකක් අස්පස් කරල ගෙට සමර කලවම් හුණු ගාල මුළුගේම අතුපතුගාල හෝදල එයාර්ෆ්රෙෂ්නර් ස්ප්රේ කරල හවස පහ විතර වෙද්දි වාසයට සුදුසු විදිහට ගොඩ දාගන්න අපිට පුළුවන් උනා.. වහලෙ කැඩිච්ච උළුකැට අයින් කරල ඒවටත් උළු ටිකක් දාල.. අළුතෙන් පනිට්ටුවක් දාල එහෙම ලිදත් හදාගත්තා…
“ගහ වෙන දවසක කපමු නේද බංලා…?” මං ඇහුවෙ ළිද ගාව ඉදන් ආයුධ ටික හෝදන ගමන්..
“පිස්සුද බං උබල ඔය ටික හෝදපන් මං ඕක විනාඩි 10න් බිම දාන්නම්..” කියපු අපේ එකෙක් පොරවක් කරේ තියන් කඹ රෝලත් කරේ දාන් ඉස්සරහට ගියා..” පොරෝ පාරවල් හත අටක් ගහන සද්දෙ ඇහුනා….
“අම්මා……….හ්……….. මට බ්බෑ…….හ්…..” ගාල මරහඬ තලන සද්දෙට සේරම එතන දාල අපි දුවන් ගියා ඉස්සරහට. ඒ යද්දි එක ලේ විලයි….. “පොරව ලිස්සල ඇවිත් වැදුන බං… අම්බෝහ්…” ගාල කකුලත් අල්ලගෙන ගහ කපන්න ආපු යාළුවා..බලද්දි දනිස් පොල්කට්ට ගාව සුදු පාටට අැටකටුව පේන්න වැදුන එක වැදිල තියනවා…… “එපා එපා…. මං කපන්නෑ…” කියල විකාරෙන් වගේ කියෝන උෟවත් අරන් ඉස්පිරිතාලෙ ගියා.. මැහුම් 18ක්…. පහුවදා ගිහින් බඩු ටිකත් අර වහල තියන කාමරේටම දැම්මා..
⁣ඒසිද්දිය නිසා අපි ගෙට පදිංචියට ගියේ තවත් සුමානෙකට පස්සෙ… යට තට්ටුවෙ මිදුල ගාව කාමරේ අපි දෙන්න නිදන කාමරේට තෝර ගත්තා.. ඊට අල්ලපු කාමරේ තමා වහල දාල තිබ්බෙ, දිරපු සොල්දරේ නිසා..ගහ කපනෙකත් නැවතුනා..පදිංචියට ආපු අළුත නිසා තාමත් ගේ පුස්ගඳයි.. කාලයක් යද්දි හරියන් නැතෑ…අපි ගෙදරට ගිහින් දවස් තුන හතරක් නිවීහැනහිල්ලෙ හිටියා… අපි දෙන්නටම පුදුමාකාර සතුටක් සැහැල්ලුවක්.. අපේම වහලක් යට.. අපි දෙන්න දැකපු හීනෙ.. ඒත්………………………….. ඒ සේරම සැනසීම අපායක් වෙන කාලෙ වැඩි ඈතක නෑ කියලා අපි දෙන්නම දැනන් හිටියෙ නෑ…..
දෙන්නම උදේට වැඩටයනවා ගෙදර එනවා… සෙනසුරාදා හවස 7ට විතර මං දත්වහල්ලත් මැද මැද ලිද ගාවට ගියා.. අඩඅඳුරෙ මං දැක්ක වයිෆ් ඉන්නව ළිද ගාව.. තුවාය දාල ඇවිත් නිසා මං ආයි හැරිල ⁣කාමරේට ආව මෙන්න බොලේ අපේ උන්දෑ කන්නාඩි මේසෙ ගාව ඉදන් කොන්ඩෙ පීරනවා.. “දැන් ළිදගාව හිටිය නේද..?” “ඔව් ඉතිං නාල ගෙට ආව ළිද ගාවම නතර වෙන්ඩයෑ…” අපේ එක්කෙනා කිව්වෙ හිනා වෙවී…
මටකලින් කොහොමද උන්දැ ගෙට ආවෙ..? මාවත් පහුකරන්..? හිත හිත මාත් ගිහින් නාල ආවා… නාද්දිත් මට තේරුනා කව්රුහරි මා දිහා බලන් ඉන්නව වගේ… වට පිට බැලුවට කව්රුත් හිටියෙත් නෑ…
“ඒයි මේ බලන්නකො…” වයිෆ් කුස්සියෙ ඉදන් කතා කරනව ඇහිල මාත් ඒ පැත්තට ගියා.. “උයල පැය දෙකක් නෑ බත් මුට්ටිය පිළුනු වෙලානෙ..”
“අයියෝ අර ලාබෙට ගත්ත ජරා හාල නේද..? අපරාදෙ හොදි මාළුපිනි.. යමු කඩෙන් කාල එමු අද මාගානෙ.” කියල අපි දෙන්නත් එක්ක ගිහින් ටව්මෙන් කොත්තුවක් කෑවා.. ඒ කරල ගෙදර එද්දි රෑ 11ටත් කිට්ටුයි… දුර තියාම දැක්ක ගෙයි ඉස්සරහ දොර ඇරල දාල හායි ගාලා….
“ඔයා දොර වැහුවෙ නැද්ද..?” මං වයිෆ්ගෙන් ඇහුව..
“වහල ගියා වගේනෙ මතක..”
“ඔය වහල තියෙන්නෙ හායි ගාලා.. මොකෙක්වත් ආවනම් වටින කියන දේත් අතපත ගාන් යන්නෙ” කියන් මං කාමරේට ගියා.. වයිෆුත් ඇදුම් මාරු කරන් කුස්සියට ගියේ වළං හෝදල දාන්න…
“දෙයියනේ…මේ…… මේබලන්න….” වයිෆ් කෑගහන හඬ ඇහිල මාත් දිව්ව කුස්සියට… එතන නිකන් යකාගෙ කම්මල වගේ.. පිළුනු බත් මුට්ටිය බිම හැමතැනම විසිරිලා.. මාළු ඇතිලිය කනපිට හැරිල.. හොදි බිම පුරාම.. පපඩම් බැදල ගැටගහල තිබුනු උරේ ඉරල කුඩු වෙච්චි පපඩම් හැමතැනම……..එක පිස්සන් කොටුවයි… “දොර ඇරලනෙ ගියේ.. බල්ලො ඇදගෙන කාල වෙන්ඩෑ…” මං වයිෆ්ගෙ හිත හැදුවත් මගෙ හිත ටිකක් ගැස්සුනා….. වළන් හේදිල්ල පැත්තක දාල හෙට උදේ අස් කරන්න හිතන් අපි ආව නිදා ගන්න….
සාමාන්යයෙන් සෙනසුරාද රෑට අපි ටිකක් ඇහැරිලා කතා කරකර ඉන්නව ඉරිදට නිවාඩු නිසා… එදත් වෙනද වගේම කතා කරකර ඉද්දි 12 පහුවෙලා විනාඩි 10ක් යන්න ඇති……..
දඩඃ…ගාල දොරක් ඇරෙන සද්දෙ ආව උඩ තට්ටුවෙන්… ටිකකින් ඩොඃ ඩොඃ ඩොඃ…. ගාල පඩිපෙල කව්රුහරිබහිනව වගේ ලෑලි පඩිවල අඩිය තියන සද්දයක්.. අපි දෙන්න කන් දීගන හිටියා…. ඉවස ගන්න බැරි තරම් ජරා මළමිනී කුනුවෙන ගඳක් මට දැනෙද්දි මම වයිෆ්දිහා බැලුවා… එයාගෙ මූන සුදුමැලි වෙලා… බයටම..
කිර්ර්ර්…..ර්……ර්….. ගාල පරණ අගුලක් ඇරෙන සද්දයක්.. රූ…..රූ……ස්…..ගාල..ටිකකින් බිමදිගේ පුටුවක් ඇදන් යනවා…. සේරම ඇහෙන්නෙ අර උඩ සොල්දරේ දිරල නිසා වහල කියන කාමරේ පැත්තෙන්…. ඊට පස්සෙ දිග නිහැඩියාවක්………. අායි විනාඩි 10කින් ඇහෙනව කව්දෝ හෙන සද්දෙන් සද්දෙන් බනින ගෑනු කටහඩක්…. අපි දෙන්නගෙම ඇගේ මයිල් කෙලින් උනා… ඒ බනින සද්දෙ ටික ටික වැඩි වෙන්න ගත්තා… “තොගෙ අවලන් කම් හින්දා තමා සේරම.. වනචර බල්ලා… මකබෑවිලා පල.. තොපි දෙන්නවම මං කම්බස් කරලයි නවතින්නෙ…” රළු ගෑනු හඬකින් බනිනව හොදට ඇහෙනවා…. එච්චරයි… අපි දෙන්න පැය භාගයක් විතර බයේ ගැහි ගැහි කිටි කිටියෙ බදාගෙන සද්ද නැතුව කන් දීගන හිටියා… සද්දයක්නෑ…
පහුවදා උදේම අපි නැගිටල උඩට ගිහින් බැලුවා.. ලී පඩිපෙලේ යනකොට ඩොඃ ඩොඃ ගාල සද්දෙත් ඇහෙනව කලින් රෑ සිදුවීම නිසා බයෙන් බයෙන් ගිහින් බලද්දි උඩ කාමරේ දොරත් ඇරල ඉස්සරහ මිදුල පැත්තට තිබ්බ ජනේලෙත් ඇරල දාලා… ඒවත් වහල පහලට ආපු දෙන්න එක්ක ටව්මට ගිහින් උදේටත් කඩේකින්ම කෑවා… “දැන් තවත් කොහොමද ඔය ගෙදර ඉන්නෙ..? අනේ මටනම් බෑ…” වයිෆ් කන්කෙදිරි ගාන්න ගත්තා… “අපි අර එහාපැත්තෙ අළුත් ගෙවල් පැත්තට ගිහින් මේ ගැන අහල බලමුද..?” මං කල යෝජනාවට උන්දැ එක පයින් නිසා බිස්කට් පැකට් එකකුත් අරන් අපි ඒ ගෙවල් දිහාවට ගියා…
මිදුලටම ගිහින් කතා කලාම සරමක් ඇදල උඩුකය නිරුවත් ටිකක් බඩ මහත අව්රුදු 45ක විතර මනුස්සයෙක් ආව… “ඔව් කාවද හොයන්නෙ..? ” බොහොම සුහදශීලිව ඇහුවෙ.. “අයියෙ අපි අර ගෙදරට අළුතෙන් පදින්චියට ආවෙ” කියලා මං ඇඟිල්ල දික් කරල අපේ ගේ පෙන්නුවා…
“අර ගෙදරට..? ” ඒ මනුස්සයෑ මූනත් ඇඹුල් වෙලා ගියා…
“එන්න ඉදගන්න…” ඇරයුමත් එක්ක අපිත් ගොඩ වෙලා ඉදගත්තා… ටික වෙලාවකින් ගෑනු කෙනෙකුත් ඉස්සරහට ආව… “මේ මගෙ වයිෆ්..” කියල එයාවත් අපිට අදුන්නල දීල සුහදශීලී කතාවකට මුල පිරුවා.. ඒ මනුස්සය වරායෙ වැඩ නිතරම ගෙදර ඉන්නවා.. අපි ඉතිං තේත් බීලා එන්න එනකොට… “මල්ලි ඕනම හදිස්සියක් උනොත් කතා කරන්න…” කියල මිනිහෑ නම්බර් 1ත් දුන්නා. අපි ගෙදරට යනකම්ම මිනිහ ඉස්තෝප්පුවෙ ඉදන් අපි දිහා බලන් හිටිය අපි දැක්ක…
එදා රෑත් අර සද්ද ඒ විදිහටම ඇහුනා… මේ වෙද්දි අපි දෙන්නම දැනගෙන හිටියා අපි දොරවල් කොච්චර හොදට වහල තිබ්බත් ඒව ඉබේම විවෘත වෙන බව.. පහුවදා රෑත් උයපු බත් මුට්ටිය කලින් දවසෙ වගෙම පිළුනු වෙලා පැය භාගයක් නෑ උයලා… ඔහොම කඩෙන් කන්න සල්ලිත් නැති නිසා දෙන්න බඩගින්නෙම කාමරේට ආව විතරයි කාමරේ ඇතුලෙ ඉදන් කව්ද ගියා වගේ චායාවක් පෙනී නොපෙනී ගියා… කුස්සියෙ වලන් හට්ටි පෙරලන සද්දෙ හොදටම ඇහුන.. බත් මුට්ටිය පොලොවෙ ගහනව හොදි ඇතිලි බිම වැටෙනවා.. එතකොටම ඉවසන්න බැරි තරම් කුනුගඳක් මුළු ගේ පුරාම එන්න ගත්තා.. වමනෙ යන්න ආවත් අපි දෙන්නම අත් වලින් කට වහගෙන නහයත් වහගෙන ඉවසගෙන හිටියා…
කලින් දවසෙවගේම ක්රිර්….ර්…ර්…… හඩින් දොරක් ඇරෙනවා ජනේලයක් ඇරෙනවා….. බිමදිගේ පුටුවක් ඇදගෙන යනවා… ටිකකින් අර කෑගගහ බනින ගෑනු කටහඬ උච්ච ස්වරෙන් ඇහෙනව අපි ලග ලගම වගේ…. අද ඊට අමතරව ලී සොල්දරේ පුරාම බර අඩි තියල ඇවිදින සද්දයක්… ටිකකින් ඒ ඇවිදපු සද්දෙ ලී තරප්පුව බැහැගෙන ඈතට ඈතට ගියා….. ඊට පස්සෙ අර බනින සද්දෙත් නැතුව ගියා…… දැන් අපි දෙන්නටම විශ්වාසයි මේ ගේ ඇතුලෙ යමක් වෙන බව…..
ඔය සිදුවීම හැම රැයකම වෙද්දි අපිත් බයේ ගැහි ගැහි කාමරේ ඇතුලටම වෙලා හිටියා.. වෙන යන්න තැනකුත් නෑ අපිට.. තිබ්බ සේසතත් මේකටම යටකලානෙ.. අපි දවස් හතර පහක්ම ඉව්වත් කන්න උනේ නෑ හැමදාම බත් මුට්ටිය පිළුනු වෙලා අර වගේම බිම වැටෙන සද්ද කුනුගඳ…. පහුවදාට මුළු කුස්සියම යකා නටල වගේ….. ඒ හින්ද අපි දෙන්න හවස එද්දි කඩෙන් කාල ඇවිත් වේලාසන නිදාගත්තා… සිකුරාදා රෑ……….
වයිෆ්ට දැනිල මහරෑ කව්රු හරි පෙරවන් හිටපු රෙද්ද අදිනව වගේ… ආයි අරන් නිදිමරගාතෙම පෙරව ගද්දි එයාව කව්රු හරි ඇදල අරන් දැම්ම වගේ බිමට වැටිලා….. කෑගහන සද්දෙට මාත් ඇහැරුනේ… අපි දෙන්නම වෙව්ල වෙව්ල රැය පහන් කලා….. පහුවදා උදේ පාන්දරම වැඩටත් නොගිහින් දෙන්න ගියා අර එහාපැත්තෙ ගෙදරට… අපේ ගෙදර සිද්ධ වෙන දේවල් සේරම හොදට අහන් ඉදපු මිනිහ… ” නංගිට ඉන්න කියලා උබ වරෙන්කො මල්ලි ටව්මට යන්න… නංගි අක්කත් එක්ක කතා කරකර ඉන්න අද ලන්ච් මෙහෙන් ගම්මු..” කියල අපි දෙන්නත් එක්ක ආව ටව්මට.. බාර් එකෙන් බෝතලේකුත් අරන් අපි ගෙදර එද්දි අර ගොල්ලො උයනව… අපි බෝතලෙත් කඩන් ගේ ඉස්සරහ රව්ම් කොන්ක්රීට් ටේබල් එකේ ඉදගත්තා…
“මල්ලි… මේ හිතවත්කමට කියන්නෙ… ඔහෙ තවත් ඉන්න එපා… එහෙම උනොත් කලින් ජෝඩුවට වෙච්චි දේම උබලටත් වෙනවට මං කැමති නෑ… ශොට් දෙක තුන යද්දි අයිය කියන්න ගත්තා…
“ඇ…ඇයි අයියෙ මොකද උනේ..?”
“ඒ පංඩිතකම් වැඩක් නෑ මල්ලි උබල ඔය ගෙදරින් පිට වෙයල්ලකො..” කිය කිය බෝතලෙන් භාගයක් ඉවර වෙද්දි අයියට ටිකක් ගානකට වැදිලා…..
“මල්ලී…. ඔය ගෙදර මිනී හතරක් ඉස්සෙනව දැකපු මිනිහෙක් මම.. එකක් දෙකක් නෙමෙයි හරිදදදදද හතරක්…”
“මොකද්ද අයියෙ ඒ ගෙදර අව්ල…?” අයිය වෙරිමරගාතෙම සිද්දිය වමාරන්න ගද්දි මගෙ වෙරි බැස්සා…. “මල්ලි… මං ගම්කාරයා.. මේ රස්සාවට යන්න කලින් අපි හිටියෙ මීට ගෙවල් 3ක් එහායින් අර පොඩි මැටි ගෙදර…ඒ කාලෙ ඔය ගෙදර හිටියෙ ජයසුන්දර කියල පෙරකදෝරුවෙක්… මිනිහ කසාද බැන්දෙ කොළඹ පැත්තෙ මුඩක්කු ගෑනියෙක්.. කතාව ගියේ මිනිහ ඉස්සර කොළඹ ඉගෙන ගන්න කාලෙ මුඩුක්කු අස්සෙ රිංගන්න ගිහින් හදාගත්තු පලහිලව්වක් කියලා… මහ ජරා කටක් තිබ්බෙ… කුනු ලෝභයි බං…මිනිහට තිත්ත කුනුහරපෙන් බනින සද්දෙ ඇහෙනව පාරට.. ඔය පේන අනිත් ගෙදර හිටියෙ ජයසුන්දරලෑ අයියා.. මිනිහ වැඩි උගතෙක් නෙමෙයි ජයසුන්දරලෑ තාත්ත ඔය දෙන්නටම එකම වගේ ගෙවල් දෙකක් හදල දීල ඉඩමත් බෙදල දුන්නා.. ඒත් තාත්තව දවසක් ඔය ගෑනි එලියට ඇදල දාලා ඔය අයියකාරය තමා මිනිහව බලාගත්තෙ..
අයියට පර්චස් 2ක් වැඩිපුර ලිව්ව කියල ඔය ගෑනි රන්ඩු කලා නිතරම… ජයසුන්දරලට ළමයි හිටියෙ නෑ.. හොදට සල්ලි භාගෙ තිබ්බට අර ගෑනි හඩු පෙරාගෙන හිටියෙ එකම ගව්ම ඇන්දෙ……නෑවෙත් නැද්ද මන්දා..
කියද්දි මට මතක් උනා එදා ලිද ගාවදි මම දැක්කෙත් ගව්මක් අැදන් හිටපු ගෑනියෙක් කියලා…..
කොට ගෑනියෙක් බං මල්ලි උබේ වයිෆ්ගෙ උස මහත.. හිඟන්නෙක්ට රුපියලක් දුන්නෑ බැනල කෑගහල එලවගන්නවා… තනිකරම මනුස්ස උනාට මළම පෙ⁣රේති… ජයසුන්දර කාරය හරි නිව්න මිනිහ.. ඌ උගෙ පාඩුවෙ ඕව ඉවසන් හිටියා… ගෙදර වැඩකාරකම් කරපු දෙමළ කෙල්ලෙකුත් හිටියා එහෙ දවසක් මොනාද හොරා කෑව කියල රත්කරපු හැන්දක් තියල අල්ල මැදින්….දවසක් මුළු ගමම ඒ පැත්තට දුවනව දැකල මාත් ගියා… විස්වාස කරපන් මල්ලි ජයසුන්දරය බෙල්ලෙ වැල දාන් හිටියෙ ඔය ගේ ඉස්සරහ උගුරැස්ස ගහේ”….. කියද්දි මට නැගිට්ටුනා….. “ඉදගනින් ඉදගනින්…… තව ඉවර නෑ… මට අදවගේ මතකයි මිනිය පැද්දි පැද්දි තිබ්බ හැටි.. ඒ කාලෙ ම⁣ගෙත් තරුණ කාලෙ බං… මමයි ගහට නැගල ලනුව කපල මිනිය බිමට බෑවෙ…
මරණපරීක්ෂණයට පොලිසිය අැවිත් සෝදිසි කරද්දි අර දෙමළ කෙල්ල ගෙදර හිටියෙ නෑ…. දවස් ගානකට පස්සෙ වත්ත පල්ලෙහා බල්ලො හාරපු පොඩි වලක යාන්තමින් වහල දාල තිබිල ඒ කෙල්ලගෙ මිනියත් හම්බුනා… ඒ කෙල්ල බඩින් ඉදල බං මල්ලි……… දරුගැබත් එක්කම මරල වලල තියෙන්නෙ…. කතාව ගියේ ජයසුන්දරකාරය අතින් වැඩේ වෙලා උෟ ඕක කරල ඌත් බෙල්ලෙ වැල දාගෙන කියලා… හැබැයි මං පොරව අදුරනවා.. ඌට එච්චර දෙයක් කරන්න හයියක් නෑ බං…. අරකිනම් මිනියක් උනත් මරන්න පුළුවන් තරමෙ දුෂ්ඨ ගෑනී…. ඉදාන් මං පම්ප් එකක් දාල එන්නම්… කියල නැගිටල ගියා…
මගෙ ඇගේ හිරිගඬු පිපිලා.. ආයි අර ගෙදරටම අපි යන්නත් එපෑ කියල මතක් උනාම… “රායීට් මල්ලි… තව ඉවර නෑ බං… කියල අර අයිය ඇවිත් ඉදගන්න ගමන් තව ශොට් එකක් වක්කර ගත්තා……..ඊට මාස තුනකට පස්සෙ ඔය ගේ පැත්තෙන් කුණුගඳක් ආව නිසා ගමේ මිනිස්සු ගිහින් බලද්දි අර ගෑනි……. ගෙයි යට කාමරේක මුල්ලක මැරිල ඉදිමිලා පනුවො ගහපු බොඩි එක හම්බුනේ… මල්ලි.. ඔළුවෙ පැත්තක් කඹරයි කාල තිබ්බ බං..මස් කුනුවෙලා වැක්කෙරිලා…අර ජරා හඩු ගව්මෙන් අදුන ගත්තෙ ඒකි කියලා…..
ඊට පස්සෙ ඔය ගේ පාළුවට ගියා… ගමේ එකෙක්වත් ඔය පැත්ත පලාතෙ ගියේ නෑ… වත්තට අඩිය තියන්නෑ දර කෝට්ටක් කඩන්න පොල් ගෙඩියක් ඇහිදින්නවත්..
කීප දෙනෙක්ම දැකල තිබ්බා හවස් ජාමෙ ගව්මක් ඇදගත්තු කොට ගෑනියෙක් වත්ත පුරා ඇවිදිනවා… බොරු මොකටද බං මං මෙතන ඉදන් ශොට් එකක් දාන රෑටත් ඔය ගෙයි බැල්කනියෙ කව්රුහරි ඉන්නව වගේ දැකල තියනව..
මීට අව්රුදු පහකට කලින් උබල වගේම ජෝඩුවක් ඔය ගෙයි පදිංචියට ආව කුලියට.. එතකොට ඕක අයිති ජයසුන්දරලෑ අයියට… මල්ලි ඒ ආපු උන් උබල වගේ අ⁣පිත් එක්ක කතාවට ආවෙ නෑ.. මාසයයි ගියේ… මාසයයි…….”
ඉතුරුටික අයිය කිව්වෙ මට විතරක් ඇහෙන්න සද්දෙ අඩුකරල රහසින් වගේ…. ” ඒ ආපු ජෝඩුවෙන් කොල්ලා ඔය උගුරැස්ස ගහේම එල්ලිලා හිටියා බං…”.. කෙල්ල පිස්සෙක් උනා.. දුවල ගිහින් නතර උනේ කනත්තෙ ජයසුන්දරයෑ වල ගාව… හූ තිය තිය අඬන්න ගත්තා… ඒකි තාම අංගොඩ කියල කතාවක් යනවා…..
ඔන්න මං මගෙ යුතුකම කලා…. ඉන්න නොයින්න එක උබල තීරණය කරපන්… රායිට්…. උබත් මගෙ මල්ලි කෙනෙක්වගේ නිසා මං කිව්වෙ.. මෙව නංගිට කියල ඒකිව බයකරන්න එපා තවත්.. පුළුවන් ඉක්මනට පිට වෙයන්.. සල්ලි හම්බු කරගත්තෑකි මල්ලි ජීවිතෙයි වටින්නෙ… මිනිහ බොහොම බැරෑරුම් හඩකින් කියල ලොකු හුස්මක් අරන් පිට කරල හිත සැහැල්ලු කරගත්තෙ හිර කරන් හිටපු බරක් සැහැල්ලු උනා වගේ…
අපි දෙන්න ගෙදර ආවෙ මරන්න ගෙනියන හරක් දෙන්නෙක් වගේ බයෙන් ගැහි ගැහි… අර මනුස්සයගෙ බැදපු කෙනා අපේ වයිෆ්ටත් මොනමොනවා හරි කියල වෙන්නැති.. මොකක් හරි තීරණයක් ගන්න හිතන් දෙන්නම ඇවිත් නිදාගන්න ගියා.. අපි අත්දැකීමෙන් දන්නව සදුද බදාද සෙනසුරාද තමයි මේ සිදුවීම් හොදටම වැඩි උනේ කියලා…අද සෙනසුරාදා… ඇගපත සෝදන්න ළිද ගාවට දෙන්නම යද්දි ළිද ගාව කව්රුහරි කොටට කොටේ ඉදන් ඉන්නව.. ලගට ගිහින් බැලුවම කව්රුවත් නෑ… අපිත් ටක්ගාල අැග සෝදන් ආව.. එතකොටත් මට දැනුනෙ අපි දිහා කව්දෝ බලන් ඉන්න සිතුවිල්ලක්…ඊයෙ රෑත් නින්දක් නැති නිසා අපි දෙන්නටම නින්ද ගියා… කොහොමහරි මොකද්ද වෙනසක් දැනිල මට ඇහැරුනේ ඉබේම…. මුළු කාමරේම අමුතු ගුප්ත සීතලක්….
මම නැගිටල වතුර ටිකක් බොනකොට මට තේරෙනව කව්රුහරි මංදිහා බලන් ඉන්නව වගේ… මං අැද දිහා බලනකොට වයිෆ් නිදි.. එකපාරම…………….. එකපාරම එයා ඇදේ ඉදගත්තා… බෙල්ල ඇද කරල ඇස් උඩ ඉන්දෝගන මා දිහා බලපු විදිහ කියන්න මට වචන නෑ… ඉවසන්න බැරි තරම් කුනු ගඳක් කාමරේන් ආවෙ… මීදුමක් වගේ ටික ටික පෙනීම බොඳවේගන යද්දි මගෙ වයිෆ් මුළු කෙස් වැටියම මූන පුරා විසිරෙන්න බෙල්ල කරකවන්න ගත්තෙ යකෙක් ආරූඨ වෙලා වගේ…. මට දැනුන දනිස් පනනැති වේගන යනව වගේ ඒත් ඇදගෙන වැටුනෙ නෑ හිටපු තැනම ගල් ගැහිල ගිහින් උගුරකට වේලිලා… “ඔ..ඔයා..ට.. මක්වෙලාද..? ” මම ගොත ගගහ අහනකොටම
එයා නැගිටල මා දිහාට පැන්න…. අහසින් ආව වගේ මාගාවට අැවිත් මගෙ බෙල්ල හිර කරල අල්ලගෙන දඩඃ දඩඃ ගාල ඔළුව බිත්තියෙ දෙපාරක් ඇනලා වියරුවෙන් වගේ හිනා උනා…. මට තේරුනා මේ මගෙ ගෑනි නෙමෙයි වග… “තෝ සේරම දැනගත්ත නේද බොල……” තියුණු කටහඬකින් ගේ දෙවනත් වෙන සද්දෙකින් අහනකොට මගෙ කන් අගුල් වැටුනා…
“තෝ සේරම දැන ගත්ත නේද…? තොට මෙහෙන් යහතින් යන්න වෙන්නෑ……. හා……හ්..හහ්හහ් හා………” ගාල වියරු හිනාවක් දාගෙනම. මගෙ බෙල්ල මිරිකගෙන බිත්තියට තද කරගෙනම බෙල්ල කරකවන්න ගත්තා… ටිකකින් බෙල්ල වටේ තිබ්බ දරඳඩු හස්තයේ ග්රහණය බුරුල් වේගන යද්දි මම බිම වැටුනා…
අවසිහියෙන් වගේ කාමරෙන් එලියට ඇවිත් අර වහල තිබ්බ කාමරේ දොර ඇරපු මම කඹ රෝලත් අරගෙන එලියට දිව්වා… කටු ඇනි ඇනීම උගුරැස්ස ගහට නැගුපු මම කඹෙන් තොන්ඩුවක් හදල බෙල්ලට දාගෙන අනිත් කොන ගහේ බැදල බිමට පැන්නා… මට තේරුනා මගෙ උගුරු දන්ඩ කැඩෙන්න තරම් හිරවෙලා හුස්ම නැවතෙනවා…. ඇස්දෙක නිලංකාර වේගන හැම දෙයක්ම නොපෙනී යද්දි මම “එපා එපා..”කියන්න කට අරින්න හැදුවත් වදන පිට උනේ නෑ…. ඒත් එක්කම….. ඒත් එක්කම……
“නැගිටිනව ඕයි මේ ගිනිමද්දහනෙ මළපෙරේතය වගේ බුදියගන්නව මදිවට බෙරිහන් දෙන්නෙ…..”
ම්… හොදට හුරු පුරුදු හඬක්… ඇස් ඇරල බලද්දි මෙන්න බොලේ ප්රිය බිරිද කොල්ලවත් වඩාගෙන ඉනේ තියාගෙන අනිත් අතේ කොල්ලගෙ කෑම පිගාන…
“අර කෙල්ල කක්ක දාල ලැට් එකේ…. නැගිටල ගිහින් හෝදවන් එනව මං මේ කොල්ලට කවනව… නැගිටිනව නැගිටිනව මේ මහ දවල් ඔය මදෑ නිදාගත්තා……” මම නැගිටල ටොයිලට් එක පැත්තට යද්දි කෙල්ල කෑගහනව.. “තාත්තෙ ඉවරෝ…..” කියල
ඔන්න ඔහොමයි උනේ… මේක සත්යම කතාවක්… එකකට රුපියල් 500 ගානෙ ගෙවනව නම් මේ වගේ කතා 100ක් මං මාසෙකට ලියල දෙන්නම් එකකට එකක් වෙනස් කතා… පරණ නිවසක් හෝ කටකතා ඛේදවාචකයකුයි විතරමයි ඕන…
මේ කතාවෙන් පුංචි ඔබට ගතහැකි ආදර්ශය :- නිකන් මීහරක් වගේ මෙහෙම පච වලට රැවටෙන්ඩ එපාලා බං…
ආ… අර වගේ ගෙවල් ඇත්තටම දන්න තැනක තියනව නම් කියහල්ලා මං ගන්නව අඩුවට දෙනවනම්….
අපිත් එක්ක උබ ආවොත් හිනා වෙනව හැමදාමත් මේ කියන්නෙ ඇත්තයි මල්ලී…නංඟී……… එකකට එකක් නොදෙවෙනි කතා…
සර්ප්රායී….ස්….. චිකන් රසට පරිප්පු කරියක් වගේ නේද..?
අනිත් කතා වගේම කොහොමද මේ කතාවත්…..?
දෙන්ඩ බලන්ඩ කමෙන්ටෙකක්….
අග ඉදන් මුලට ආව මිතුරනි… ඔබ අහිමි කරගන්නේ වටිනා රසවින්දනයක්… පිලිවෙලට කියවන්න……..
උපුටා ගැනීම : Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!