වෙලාව පාන්දර 3යි. මගෙ වෙඩින් එකට හරියටම මාසෙකට කලින්,
කවුද අයියෝ මේ වෙලාවට කෝල් කරන්නේ කියලා හිතලා ඇස් දෙකත් වහන් ආන්සර් කලා.
” හෙලෝ”
” සුදූ “
” මොකක් “
” මං ළමයෝ, ඇහැරෙන්නකෝ “
” මොකද අනේ මේ මහ පාන්දර, මට උදේ ඩියුටි, හෙට කතා කරමු හොදේ “
” එපා එපා තියන්න එපා, අපියි බෝඩිමේ ඇන්ටිලයි මේ සෑහෙන වෙලාවක ඉදන් කතා කරන්නේ ඔයාලා දෙන්නා හොදටම නිදි දොර අරින්නකෝ”
ඒත් එක්කම මගේ කාමරේ අනිත් එකාටත් ඇහැරුනා. එතකොටයි ඉස්සරහ දොරට තඩිබාන සද්දෙ ඇහෙන්න ගත්තේ. මට කලින් යාළුවා දඩි බිඩි ගාලා ගිහින් දොර ඇරියා. කාමරේට ආවේ වෙන්ඩ හබීගෙ අම්මා . රත්නපුරේ ඉඳන් මේ මහ පාන්දර කොළඹ ඇවිත්. මාව අන්දුන් කුන්දුන් උනා.
” පුතේ ලෑස්ති වෙන්නකෝ , අපි ඔයගෙ ගෙදර යමු “
ඒ වචන ටික ඇහෙද්දී මට අමුතු බයක් දැනුණා. නිකන් හැමදේම නැතිවෙලා ගිහින් වගේ. ඒත් මං මොනවත් හිතන්න කැමති උනේ නෑ.
” ඇයි අම්මේ “
” යන ගමන් කතා කරමුකෝ පුතේ “
” මං උදේ ඩියුටි අම්මේ, හේතුව කියන්නකෝ “
“ඔයා ගිහින් කෝල් කරන්නකෝ, මං හොස්පිට්ල් එකට ඉන්ෆෝර්ම් කරන්නම් ” ඒ මගෙ යාළුවා.
වාහනේට නැගපු ගමන් එයා කිව්වේ ,
” සුදූ ගෙදර ගිහින් කථා කරමු , දැන් නිදාගන්න” කියලා.
අපි ගෙදර යද්දි උදේ හයට විතර ඇති. අම්මයි, ගෙදර උදව්වට ඉන්න ඇන්ටියි ඉස්සරහ දොර ලඟට වෙලා බලන් ඉන්නවා. මං අම්මගෙ මූණ දිහා බලාගෙනම ඉස්සරහට ආවා. මං ලංවෙද්දිම අම්මා,
” චූටි දූ තාත්තා “
ඒ වචන ටික ඇහෙද්දී මං තාත්තාගේ කාමරේට දිව්වා නෙමෙයි පියෑඹුවා වෙන්න ඕනි.
අනේ තාත්තා නිදි හොඳටම, ඒත් ඇයි මෙහෙම නිදන් ඉන්නේ. මං ලඟට ගිහින් හිමීට තාත්තගෙ අතින් ඇල්ලුවා. දෙයියනේ හොදටම සීතල වෙලා. ඒ අත අල්ලන් ඉද්දි මට තේරෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් මට ඒක තේරුම් ගන්න ඕනි උනේ නෑ. ඒක පිළිගන්න බැරි උනා. කලින්දා උදේ නිවාඩු ඉවර වෙලා වැඩට යන්න කලින් අපි කොච්චර දේවල් කතා කලාද. තාත්තා කලින්දා උදේ එහෙම කිව්වේ තාත්තට මොනවා හරි දැනිලද, ඇයි එහෙනම් මාව නවත්තගත්තේ නැත්තේ. ඒ කියපු දේවල් මට හතර වටින් ඇහෙන්න ගත්තා.
” පුතේ , දැන් ඔයා ලොකු ළමයෙක් නේහ්, මං හැමදාම කියනවා වගේ ඔයා අපේ දුව විතරක් නෙමෙයි , ඔයා තමයි අපේ දුවයි, පුතයි දෙන්නම. පවුලට මොනවා හරි කරදරයක් උනාම හැමෝම ඉස්සරහ මහ හයියෙන් අඬලා වැලපෙන එක නෙමෙයි කරන්න ඕනි. ඒවට මූණ දෙන්න ඕනි. පවුලේ අනිත් අයට හයියක් වෙන්න ඕනි. ඔයා දන්නවනේ ඔයාගෙ අම්මා කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියලා. ඒත් එයා වැටෙන වෙලාවකදී ඔයා ඉන්න ඕනි එයාගෙ හයියට තේරුනා නේද පුතේ. අනිත් එක පුතේ එක දෙයක් නැති උනා කියලා සතුටු වෙන්න තියෙන අනිත් දේවල් නැති කරගන්න එක තනිකරම මෝඩ වැඩක්. මං කිව්ව දේවල් හැමදාම මතක තියාගන්න.”
මං දන්නවා මගෙ තාත්තා අකමැතිම දේ මගෙ කදුළු. මං ඇඩුවේ නෑ. තාත්තගෙ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ගොඩක් දෙනෙක් ආවා. ඒ අය එක්ක කතා කරද්දිවත් මගෙ ඇහෙන් එක කඳුලක් වැටුන් නෑ. තාත්තගෙ මිනිය ගෙදර තියෙද්දී මං ඒ දිහා දෙපාරක් බලන්න ඇති. ඒ මල් ශාලාවෙන් ගෙදරට ගෙනාපු ගමනුයි, ආපහු ගෙදරින් ආදාහනයට ගෙනියන්න හදපු වෙලාවෙයි විතරයි.
අසල්වාසීන් කීප දෙනෙක්,
“තාත්තයි දුවයි හිටපු විදියට අපි හිතුවේ ඒ ළමයා අඬලා අඬලාම කලන්තෙත් දායි කියලා. කොහෙද ඔය හිනා වෙලා ආපු අය එක්ක කතා කර කර හිටියේ ” ඔන්න ඔහොමත් කියලා තිබ්බා.
තාත්තාගෙ ආදාහන වැඩ ඉවර වෙලා ආපහු ගෙදර එද්දී කලින් හිටිය සෙනඟ නෑ. අපේ පවුල් දෙක තුනක අය විතරයි. මට මතකයි මං ගෙදර ආපු ගමන් ගියේ තාත්තගෙ කාමරේට. ගිහින් දොර වහගත්තා. තාත්තගේ ෂර්ට් එකක් බදාගෙන සෑහෙන වෙලාවක් හිටියා. ඒත් මට මොනාත් හිතෙන්නේ නෑ, ඇඬෙන්නෙවත් නෑ, එකපාරට මගෙ හිතට දැනෙන්න ගත්තා දැන් ඔය ඇති වගේ දෙයක්. හරියට මට දැනුනේ “දැන් ඔය ඇති පුතේ ” වගේ.එහෙම දැනුනා විතරයි , මං ඇඬුවා ඇඬුවා හිතාගන්න බැරි තරම් ඇඬුවා.
ඒ වගේම තාත්තා කියපු විදියටම , තාත්තා ආසා උනා වගේම ඉදිරි හැමදේම ඒ විදියට සිද්ධ උනා.
ජීවිතේදී අපේ ආදරණීයන් අපි ලඟ නැති උනත් අපිට පුළුවන්නම් එයාලගේ ආදරණීය මතක එක්ක ජීවත් වෙන්න ජීවිතේ සුන්දර වෙයි හැමදාම, එයාලා අපි ලඟින්ම ඉන්නවා වගේ දැනේවි.
උපුටා ගැනීම: Buddhi Jayaweera