නම්බරේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(නම්බරේ ඩයල් කරන්නද එපාද කියලා දෙගිඩියාවෙන් ඉන්න ගමන්)
මං ඔයාට ආදරෙයි….
ඉස්සර දවසක මං එහෙම කිවුවේ හරි සීරියස් විදියට. මොකක්දෝ මන්දා හැඟීමක් බැඳීමක් තිබ්බා ඒ දවස්වල. ඒක පපුව කීතු ගහන එකක්. ඇස් වලින් බලන් හිටියට ඔයා දකිනකම් ඒ ඇස් වල මුල් තියෙන්න ඇත්තේ ඔළුවේ. මොකද ඒ තරම් නොඉවසිල්ලක් එක්ක පුංචි කැක්කුමක් ඔළුවේ තිබුනේ.
මගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ
එදා මට දැනුන විදියට මම ඔයාට කිව්වා. ඒකත් නිකන් චයිනීස් බඩුවක් වගේ. හිටි ගමන් අඩුවෙනවා හිටි ගමන් වැඩි වෙනවා. ඒකීය රේඛාවක් දිගේ ගලාගෙන ගිය ආදරයක් මගේ පපුවේ නම් තිබ්බේ නෑ. ඔයා කරපු සමහර වැඩ නිසා මට ඔයා එපා වෙච්ච වෙලාවල් ඕන තරම්. ඒ වෙලාවට කල්පනා උනේ මේ මොන කරුමයක්ද කියලා. හිටි ගමන් ආදරේට මේනියා හැදුනු වෙලාවලුත් තිබ්බා. ඒ අපි එහෙ මෙහෙ ගියපු දවස්.
මං තාම කල්පනා කරන්නේ ආදරේ මූලික පදනම වැටෙන්නේ හදවතෙන්ද
එහෙම නැත්නම් මේකත් මොළෙන් ගහන සූක්ෂම ගේම් එකක්ද කියලා….
“බබා ඔයා තමයි මගේ මුලු ලෝකෙම”
මට මතකයි ඔයා ඔහොම කොඳුරපු වෙලාවල් ඕනතරම්. මාත් හිතුවේ ඒ දේමයි ඒ දවස්වල. ඔයා තමයි මගේ මුළු ලෝකෙම. ඒක හෘදය මූලික හැඟීමක් ප්රේමයක් එක්ක පැන නඟින. ඒත් මට බැරි උනා මොලේ උපාගමයන් පරද්දන්න. කොල්ලෝ එක්ක සෙට් වෙන එක, හොරාට කොටුවක් පනින එක ඔය වගේ අනම් මනම් ඕන තරම් මට තිබුනා. ඔයාට මාව ලෝකයක් උනාට පහුකාලීනව මට ඔයා ලෝකයක් උනේ නැහැ. ඔයත් නිකන් එක දූපතක්. ඒ මං ඔය ලෝකේ අගක් කොනක් නැතුව සැරිසරපු නිසාද කියලා මට දැන් සැක හිතෙනවා. ඒ ප්රේමයේ නාමයෙන් ඔයා මට බබා කියන එක වෙනස් කරලා බා බා කියන්න ගත්තා. ඔව් හරියට මෙල්ල කරපු කුකුල් නාම්බෙක්ව වගේ. අන්න එතන තමයි අපේ ගැටුමේ ආරම්භය…
අරෙහේ යන්නෙපා
අරූ එක්ක යන්නෙපා
අරක එපා මේක එපා
මොන්ටිසෝරියෙදිවත් මෙච්චර තහංචි තිබ්බේ නෑ. ඔව් මං එදා කිව්වා ඔයාට තියෙන්නේ මොන්ටිසෝරි ආදරයක් කියලා.
ඒත් මට පස්සේ හිතුනේ කෙල්ලෙක්ට ආදරේ කියන්නේ ඔක්කෝම කියලා. ඒත් ඒකත් තාම සාධිත මට්ටමේ තියෙන එකක් නෙමෙයි. උපකල්පනයක්….
“ඔයා මහ බොරුකාරයෙක්”
මං කොහොමත් විත්තිය වෙනුවෙන් පෙනී හිටියේ. පැමිණිල්ල ඔයාගෙන් වෙච්චි මේක සිවිල් නඩුවක් වෙන තැන මං කලේ ඉඳහිටක නඩුවාරෙකදී උත්තර දීපු එක.
ආදරේ කියන්නේ බොරුවක්ද
මං අනන්තවත් කල්පනා කරා කම්මැලි රාත්රීන් වල. වෙන මොකුත්ම හිතන්න නොතිබුන දවස් වල දවල්ටත් ඒ ගැන හිතුවා. ප්රේමයක් හට ගන්න මූලිකම උත්ප්රේරණය මොකක්ද කියලා…මං තාම ඒ ගැන හිතනවා.
ඒ අස්සේ තමයි ඔයා කිවුවේ
“තමුසේ මහ බොරුකාරයෙක්…තමුසේ මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කලා”
ඒක සහගහන කතාවක්. මං ඒකට ආස කලේ නැහැ කොහොමවත්. සමහරවිට මං ආදරේ නොකලාද ඒක නොදැනුනාද මං දන්නේ නැහැ. හැබැයි මට දැනුණ වෙලාවල්වලට මං කෙලින්ම කිව්වා ‘මං ඔයාට ආදරෙයි’ කියලා. ඔව් ආදරේ කියන්නේ බොරුවක්. ඒත් මං ඒ බොරුව අවංකව කලා. අඩුගානේ ඒක ඇත්තද බොරුද කියලා හිතාගන්නවත් බැරි වෙන විදියට. හැබැයි මට එක වචනෙකට කේන්ති ගියා. ඒ සෙල්ලම් කරා කියන එකට. ඒක මහ සහගහන කතාවක්. හෘදය දිගින් දිගටම කිවුවේ තුරුම්පුවක් ගහපබ් කියලා…
ඔව් මං තුරුම්පු ආසියාවම ගැහුවා.
‘ඔයා මගේ එක්ක හැමතැනකම ගියා. මං ඔයාව කිසි දිහාක බලෙන් එක්කගෙන ගියේ නැහැ. අනික ඔයාම කියද්දී ඔයාව මගේම කරගන්න කියලා මං ඉස්සර උනේ නැහැ. මං කල් දුන්නේ ඔයාට මාව අතෑරලා යන්න නෙමෙයි. හදිසියේ හරි මාව නොගැලපුනොත් ඒ යන ගැලපෙන කෙනා එක්ක යන්න දෙන්න, මගේ ලඟට ආව විදියටම. බබා…මං සෙල්ලම් කරානම් ඉස්සෙල්ලම සෙල්ලම් කරන්නේ ඔයාගේ පිරිසිඩ්ගුකම එක්ක”
ඒක මනෝමුලික ප්රහාරයක්. තක්කෙටම ඒක වැඩකලා…ඔයා තක්බීර් උනා. ඒක තමයි ටර්නින් පොයින්ට් එක.
ඔයා තාම හිතනවා ඇති මං ඔයාට කොච්චර ආදරේ කරන්න ඇද්ද කියලා?
බම්බුව
මං මට අවංක වෙන තැනක මං පිලිගන්නවා මං මහා බොරුකාරයෙක් බව.මං ඒ ගැහුවේ ගේම් එකක්.බර අවියකින් ගැහුවේ සාංසාරිකවම ඔයාට හිතාගන්න බැරිවෙන්න. ඒක තනිකරම මොලෙන් ගහපු ගේම් එකක්. හැබැයි ඒ බොරුව පට්ට අවංකයි. මොකද ඔයාට තාමත් ඒ ගැන හිතාගන්න බැරි නිසාවට…
“මට පස්සේ තේරුනේ ඔයාගේ ආදරේ ගැන”
කලක් ඇවෑමෙන් එහෙම අහන කොට හදට දැනෙන ප්රීතිය. ඒක මහ තුච්ච තිරිසන් රහක්. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔයා තාම මං ගැන හිත හිත ඉන්න එක. එයා එක්ක මාව කම්පෙයාර් කරන එක. ඒක මහ කුණු රහක් ඕයි හදට…මහ තිර්සන් රහක් ..ඒත් මං ආස ඒකට….
“තව එකම එක දවසක් ඉස්සර වගේ ඔයා ගාව ඉන්න තියෙනවා නම්”
ඒක බුද්ධි මූලික ප්රත්යාගෝචර අදහසක් නෙමෙයි. තනිකරම ඔයා ඔයාගෙන් පලිගන්න කරපු අහිංසක සැලැස්මක්. විඳවීම වෙනුවට එක දවසකට විඳීමක් දීලා ඔයා සදාකාලිකව විඳවන එක ගැන හිතුනම මහ තුච්ච හැඟීමක් ආවේ හිතට.
“ඔව් මං හෙට සෙල්ලම් කරනවා ඔයාගේ ජීවිතේ එක්ක”
මොකද ඔය හිතේ හැංගුනු ටික දන්නේ මං විතරක් නිසා. ආසාවල් ටික දන්නේ මං විතරක් නිසා. රසයන් ටික දන්නේ මං විතරක් නිසා..
පුරුද්දට එබුවේ පරණ නම්බරේ. අම්මට සිරි ඒක වැඩ. අපි දෙන්නා ගාව තිබ්බ කපල් සිම් එක…
‘හෙලෝ….’
“ඔයා කවදහරි කතා කරනකම් හැමදාම හැමවෙලේම මේ ෆෝන් එක ඔන් එකේ තිබුනේ. ඇයි ඔයා මෙච්චර පරක්කු”
මං ආයේම ෆෝන් එක කට් කලා. එයා එදා ඉඳලම මං වෙනුවෙන් බලන් ඉඳලා.අවුරුදු ගාණක් තිස්සෙම විඳවලා.
ඉතින් එකම එක දවසකට එයා එන්න කියන්නේ හිතේ තියෙන ආසාවන් ටික ඉෂ්ට කරගන්න. කොටින්ම ඇරියස් කවර් කරගන්න.
මිත්රවරුණි….
මං ආයෙම නම්බරේ ඩයල් කරන්නද?
උපුටා ගැනීම:අමිල අදිකාරම්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!