නුවරට පොද වැස්සත් එකතු උනාම බිහි වෙන්නේ මනුස්සයෙක් මතක වලින් මරන්න පුලුවන් ත්රස්තවාදීයෙක්
වැස්සත් එක්ක බොහෝ අයට හරි රොමෑන්ටික් අදහස් එනවනෙ. ඒ අතරේ ලංකාවේ ඇතුලේ එක එක අහසවල් තියනවා උදාහරණ විදියට කොළඹ අහස යට, නුවර අහස යට , කුරුණෑගල අහස යට වගේ අපේ අයම දාගත්තු එක එක සුකුරුත්තන් ඔය එක එක අහසවල් යටින් වහින වැහි එක එක විදියලු මන්දා .මම මේ ලියන්න යන්නේ නුවර අහස යට වැස්ස ගැන.
නුවරට වහින වැස්ස කියන්නේ හරි අපූරු ඒත් දුක්බර මතකයන් ගොන්නක් හිත පසාරු කරන හැඟීමක් එක්ක ගේන අමුතුම දෙයක් .ඒක මෙහෙමයි කියලා කියන්න මම දන්නෑ. ඒක අනිත් අයට කොහොමද කියලා මම දන්නෑ. කාට කොහොම උනත් මට වැදගත් නෑ .මට වැදගත් මට දැනෙන විදිය විතරයි. සමහරු නුවරට බනිනවා, නුවර නිළමෙලට මැණිකෙලට බනිනවා, මට නුවර වත් , නුවර නිළමෙලා මැණිකෙලා වත් වැඩක් නෑ . මට වටින්නේ මට දැනෙන්නේ නුවර පරිසරය විතරයි. නුවරත් එක්ක මගෙ තියෙන්නේ හරි අපුරු බැඳීමක් .මම මේ ලෝකෙට බිහිවුන මුල්ම තත්පරේ ගෙවුනෙ නුවර ඉදන් අන්න එතන ඉදන් නුවර එක්ක බැඳීම ඇති වෙනවා. මම ජීවත් වෙන්නේ නුවර නෙවෙයි උනාට නුවර එක්ක ගෙවුණු මතක බොහෝමයි. ඒක මට විතරක් නෙවෙයි ගොඩක් අයට එහෙමයි කියලා මම අහලා දැකලා තියනවා.
නුවර එක්ක තිබුණු සුන්දර මතක දැන් අසුන්දර උනාට ජීවීතේ සුන්දරම දවස් ගෙවුනෙ නුවර අහස යට . මාළිගාව ,ගැටඹේ , වැව රවුම යන තුන්පොළ අදටත් බර්මියුඩා ත්රිකෝණේ වගෙ අතීතයේ සුන්දර බොහෝ රහස් සඟවන් ඉන්න තැන් තුනක්. වැව රවුම කිව්වම සමහර අය හිතන්නේ මාලිගාව ළග ඉදන් ජෝයි මෝටර් බෝට්ටු තියන තැනට පයින් අාවම වාව් අපි වැව රවුමේ ගියා කියලා . නෑ වැව රවුම කියන්නේ මාළිගාව ළගින් පටන් අරන් මුලු වැව වටේම පැය දෙක තුනක් රවුමෙන් ගිහින් ආයේ මාළිගාව ළගට එන එක. ඔය පැය දෙක තුනේ එව්වා වැව වටේ කොච්චරක් ජීවීතේ ගිහින් ඇද්ද. තනියමද. ? නෑ .. අද තනියම වැව වටේ යද්දී ගෙවෙන පැය ගාණ හරි ලොකුවට දැනුනත් ඉස්සර ගියෙ තනියම නොවන හින්දා ඒ පැය ගාණ දැනුනේ හරි කෙටි වෙලාවක් විදියට.
කාලේ කන්න , කාලේ ගෙවන්න නුවර හරි අපූරු තැනක් කියන්න උදාහරණ ඕන තරම් තියනවා.
නුවර එක්ක තියන මතක සටහන් ගාණ මෙන්න මෙච්චරයි කියලා කියන්න මට බෑ. ඒවා ලියනවා නම් ලියන්න පුලුවන් පිටු ගණන් , රාක්ක ගණන් පුරවන්න පුලුවන් පොත් ලියලා.
නුවර එක්ක තියන මතක වලට වෙලාවක් අවේලාවක් නෑ .සමහර මිනිස්සුන්ට නුවර එක්ක පුදුම තරහක් තියෙන්නේ .සමහර මිනිස්සුන්ට නුවර එක්ක පුදුම බැදීමක් තියෙන්නේ , සමහර මිනිස්සු නුවරට හරි ආදරෙයි . ඉතින් ඔය කවුරු මොනව කිව්වම මම නුවරටත් වඩා නුවර එක්ක ගෙවුනු මතකයන් වලට ආදරෙයි. ඒ මතක ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ට තිබුණ ආදරේ සෙරෙප්පු දෙකක් ගෙවෙනව වගේ ටික ටික ගෙවීගෙන ගියත් දවසක නැතිම වෙලා ගියත් ඒ මතකයන් වලට විතරක් ආදරේ කරාම හොඳටම ඇති කියලයි මම හිතන්නේ.
නුවරට මේ පොද වැස්සත් එකතු උනාම බිහි වෙන්නේ මනුස්සයෙක් මතක වලින් මරන්න පුලුවන් ත්රස්තවාදීයෙක්. ඒ ත්රස්තවාදීයා එක්ක සටන් කරලා දිනන්න හරි අමාරු උනත් කොහොමහරි සටන් විරාම ගිවිසුමකට එන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක්. ඔය සේරම අස්සේ ඉන්නවා අපි හින්දා අපි වෙනුවෙන් නුවරට ආපූ අය. සමහරවිට ඒ අය නුවරට ජීවීතේටම ආපූ නුවර වටේ ජීවීතේටම ඇවිදපු වාර ගාණ සීමිත උනත් අපි හින්දා ඒ අයට නුවර තමන්ගේ ගෙදර වගේ උන අවස්ථා කාලවකවානු නැතුවාම නෙවෙයි. ඊටපස්සේ කාලෙකදී ඒ අය අපිට හොරෙන් නුවරට ඇවිත් යන්න පුරුදු වෙනවා. මම මේ ලියන්නේ මගෙ අත්දැකීම් ඇතුලුව බොහෝමයක්ගේ නුවර එක්ක බැදුණු මතක සමුදායෙන් අල්පයක් විතරයි.
කියවන අය මූට පිස්සු කියලා හිතුවට මනුස්සයෙක් අකුරු කරන කතාවක තියෙන්නේ ඒ මනුස්සයගෙ කතාවම විතරක් නෙවෙයි කියවන බොහෝ පිරිසකගෙ කතාවත් ඒකම වෙන්න පුලුවන් .
වැස්සයි + නුවරයි + මතකයි එකතුවුන හින්දා ඔහේ ලියවුනා දැනට මේ ඇති පස්සේ වෙලාවක ආයේ ලියන්නම්.
උපුටා ගැනීම: Shashin Dilnaka