ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හරිම පුදුමයක්. උඹ කොහොම දැනගත්තද කියලා මටම පුදුම හිතෙන්න ගත්තා. ඈත තියාම සුඳු බ්ලව්ස් එකට කාටත් වැඩියෙන් හැඩටම පේන්න ගත්තේ හැමදාම වගේම.
“ගේ හොයා ගත්තේ කොහොමද? කවුද මළ ගෙදර කිව්වේ” කියලා අහන්න හිතුනත් එ් තරහ මෙතන දකින්න මට ඕන කමක් තිබ්බේ නෑ. වෙනද වගේම තොල් දෙක තද කරන් උඹ මං දිහා බලාගෙන මොනවද කියන්න අර අදින බවක් මට ම තේරැම් යන්න වුනා.
එන එන සෙනඟ උඹ දිහා බලලා උඹේ ඇස් වල පට්ටම දුකක් තියෙන බව තේරැම් ගන්න මහා වෙලාවක් නම් යන්නේ නැතුව ඇති. මට අහන්න හිතුනත් ඇයි මේ කියලා මම පැත්තකට වෙලා බලන් හිටියේ පළවෙනිම දවස මතක් කරන ගමන්මයි. කොච්චර කාලයක්ද? එදත් මේ විදිහටම වැවේ දඟලන මාළු දිහා බලන් උඹ මා දිහාම බලන් හිටිය බව තාම මතකයි. ඒක හරිම ලස්සන දවසක්
නෙස්කැෆේ බන්දේසියකුත් අරන් නංගිගේ දුව ඇවිත් අල්ලද්දි මට පොඩි එකීට කියන්න ම හිතුනා ” මේ ආන්ටි බොන්නේ අයිස් කොෆී” කියලා.
කිසිම දෙයක් කතා නොකර උඹ ඒකී දිහා විනාඩි දෙකක් විතර බලලා ⁣පේපර් කප් එක අත්ල මත තියාගෙන සාලේ කොනක තියන පුටුවක බර දුන්නේ මහා හුස්මක් පිට කරන ගමන්මයි. මාත් හෙමින් සීරැවේ මුකුත් නොකියාම එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා උඹ කරන හැමදේම බලන් හිටියා. අාපහු ආපහු මේ හැමදේම එකිනෙකට පෙළ ගස්සන ගමන්ම.
අත්ල උඩ තියාගෙන උණුම උණු නෙස්කැෆේ එකේ දුම හිමීට වාතලයට මුහු වෙන්න ගන්නකොට මට කියන්න හිතුනා “අත පිච්චෙයි “ඉබ්බි” කියලා. කාටවත් ඇහෙන නොඇසෙන ගානටම. ඒත් තාමත් උඹ කල්පනා ලෝකෙක. කප් එකේ කට රවු⁣ම දිගේ දකුණු අතේ මහපට ඇගිල්ලයි දඹර ඇගිල්ලයි කැරකෙද්දි මගේ හිතත් හැමදාම උඹ වටේම කැරකුණු දවස් මතකයට එන්න ගත්තා.
මගේ බිරිඳයි , දුවයි නංගිගේ උරහිස්සට වාරැ වෙලා තාමත් ඉකි ගහන ගමන්. මං දැක්කා ඒ දිහා බලන් ඉදලා පහතට හරවාගත්⁣ත ඇස් දෙක් කඳුළු එකින් එක සුදු සාය උඩට වැටෙනවා.
“රෑ වෙලා යන්නේ නැද්ද. නිමල් එනවද එක්කන් යන්න. උඹ වැඩිය රෑ ගමන් වලට ආස නෑනේ.”
එහෙම කියන්න කට කොච්චර හදා ගන්න හැදුවත් උඹ මෙහෙම හරි ඉන්න තත්පරේට මම ආස කළා.
මතකද අර සිංදුව. ⁣යකෝ මළ ගෙදරක් අස්සක අහන්න ඕන දේවල්ද හිතට එන්නේ. නෑ ඒත් මොන දේ උනත් උඹ ආපු එක මට සතුටක්.
“ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න”
වෙලාව රෑ පාන්දර දෙකටත් ලගයි. රෑ අටට විතර ආපු උඹ තාම එතන එහෙමම. මං දැක්කා දොර ගාව නිමල් බලන් ඉන්නවා උඹ දිහා. යමුද කියන්න වගේ.
මං දැක්කා මෙච්චර වෙලා හංගන් හිටපු රතු පාට අරලියා මල් දෙකක් දෝතට අරන් උඹ නැගිටිනවා.
මට හිනා යන්න ආවා. කට කොනකින් කාටවත් නොපෙනෙන්න හිනාවුණා.
“දාහක් හිටියත් මට වැඩක් නැ බන්. මට ඕන දේ මම කරනවා”. තාමත් ඒ උඹ උඹමයි. මම මටම එහෙම කියා⁣ගත්තේ එදා වගේම පුදුම ආදරයකින්.
මටත් හරිම මහන්සියක් දැනෙන්න ගත්තා. මතකද මං දවසක් කිව්වා “මං උඹට කලින් යනවා”. ඒ වචනේ හිමීට උඹේ හිත අස්සටම කියන ගමන් පහන් කණු දෙක මැද්දේ මටම වෙන්කරලා තිබ්බ ඉඩේ සුදු මේස් දාපු අත් දෙක පපුව මැද්දට වෙන්න එකතු කරලා ඇස් පියාගත්තා.
මා නොවන මම
උපුටා ගැනීම:  ම‍ා නොවන මම

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!