හැමදාමත් මම ඔබට ලියනවා ඩෙන්මාකය ගැන.
අද මම ඔබට ලියන්නම් ලංකාවෙ දෙයක් ගැන.
ඔබ නොදන්න රෝහලක් ගැන.
එය තමයි දිගන පුනරුත්ථාපන රෝහල.
ඩෙන්මාකයට එන්න පෙර මම අවසන් වතාවට සේවය කලේ එහි.
මෙම රෝහලේ ප්රධාන නේවාසික රෝගීන් දෙකොටසක් ඉන්නවා.
වැඩිහිටි අංශයේ වැඩිපුරම ඉන්නෙ සුෂුම්නා ආබාධ වලට ලක්වුනු රෝගීන්. ඒ කියන්නෙ ගහකින් හෝ උසකින් වැටිල , එහෙම නැතිනම් හදිසි අනතුරකට ලක්වෙලා සුෂුනම්නාව බිදීමකට ලක්වුන රෝගීන්.
මුලින්ම මම ඔබට සුෂුම්නාව ගැන සරල විස්තරයක් කියන්නම්. එය තියෙන්නෙ අපේ බෙල්ලෙ ඉඳල පිට දිගේ පහලට තියෙන කොදු ඇට පේලිය ඇතුලත.
මොලයේ සිට අපේ අතපය සහ අනෙකුත් මස්පිඩු වලට ක්රියාකාරී සහ සංවේදී ස්නායු ගමන් කරන්නෙ සුෂුම්නාව හරහා.
අපේ ශරීරයේ අනෙක් බොහෝ තැන් වගේ නොවෙයි සුෂුම්නාවට නැවත ස්වභාවිකව වැඩීමට සහ හාවීමට බැහැ. ශල්යකර්මයකිනුත් දැනට බැහැ. ඒ කියන්නෙ මෙය සදාකාලික අනතුරක්.
සුෂුම්නාව බිදෙන ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස්. බෙල්ල ආශ්රිතව නම් අතපය හතරම සදාකාලිකව පන නැති වීමත් ,කොන්ද ආශ්රිත බිදීමකදි ඉඟටියෙන් පහල සදාකාලිකව පන නැතිවීමත් සිදුවෙනවා.
ඇත්තටම මේ සුෂුම්නා බිදීමට ලක්වෙන බොහෝමයක් මා අත් දැකපු විදියට වලක්වා ගත හැකි අවාසනාවන්ත අවස්ථා. සැබැවින්ම බොහෝවිට අනතුරින් බිඳෙන්නෙ සුෂුම්නාව ආවරණය කරගෙන සහ රැකගෙන ඉන්න අස්ථි කූඩුව. එනම් කශේරුකාව හෙවත් කොඳුඇට එකක් හෝ කිහිපයක්. නමුත් අනතුරින් රෝගියා බේරාගන්නා උදවියගෙ වැරදි මුදවාගැනීම් සහ ඔසවා ගැනීම් , උදාහරණයකට දෙකට නමල වඩාගෙන ඔසවා ගැනීම නිසා කැඩුණු ඉලඇට වැදිල හෝ ආරක්ෂිත ආවරණය නොමැති කමින් සුෂුම්නාව බිදෙනවා.
ඒ කියන්නෙ ඉල ඇට ස්වභාවිකව හෝ ශල්යකර්මයකින් යථා තත්වයට පත්වෙලා සම්පූර්ණයෙන්ම දෙපයින් නැගිටින්නට හැකිව තිබූ රෝගියා , වැරදි මුදවා ගැනීම් නිසා සදාකාලික දෙපා හෝ අත්පා දෙකම පණ නැති පුද්ගලයෙකු බවට පත්වෙනවා.
හිතට දැනෙනවද කෙතරම් අපරාධයක්ද කියල.
පුනරුත්ථාපන රෝහලින් කරන්නෙ මෙසේ සදාකාලික දෙපය අප්රානික රෝගීන්ට රෝද පුටුවක ජීවත්වන අතර තනිවම ජීවත්වීමට උපකාර කිරීම.
මුලින්ම ඒ සඳහා ඔවුන්ගෙ දෙඅතෙහි බාහුවල මස්පිඩු ශක්තිමත් කල යුතුයි ශරීරයේ මුළු බර දරාගන්න. ඒ කියන්නෙ රෝද පුටුවෙන් එසවිලා ඇඳට ගොඩවෙන්න. වැසිකිලි පෝච්චියට ගොඩවෙන්න. හරියට ව්යායාම මධ්යස්ථානයක මස්පිඩු ශක්තිමත් කරනවා වගේමයි. එතරම් නවීන උපකරණ නොමැතිවත් එහි භෞත චිකිත්සකවේදීන් ඉතාම වෙහෙසක් ගන්නවා දෙපය පණනැති ඔවුන්ගෙ දෙඅතට පණ දෙන්න.
අත් සහ දෙපය පන නැති රෝගීන්ට නම් තනිවම බාහිර චලනයක් කිරීම අපහසුයි හිස හැර. නමුත් ඔවුන්ගෙ මාංශ පේශි වැහැරීයාම ඇහිරීමට රැකබලා ගන්නන්ට ව්යායාම දැනුම දෙනවා. වෘත්තීය චිකිත්සකවේදීන් ඔවුන්ගේ ඇඟිලි ආශ්රිත ක්රියාකාරකමක් හෝ ලබාගැනීමට වෙහෙසෙනවා. උදාහරණයට පරිගණකය භාවිතාවට වැනි.
මෙහි සිටින රෝගීන් බොහොමයක් ඉතාම අසරණ රෝගීන්. තරුණ හෝ මැදිවිය පිරිමින්. බොහෝවිට මුළු පවුලටම බත සැපයුව පිරිමින්. ඒකට හේතුව මෙවැනි අනතුරකට ලක්වෙන්නෙ ක්රියාශීලී පුද්ගලයෙකු නිසා. ඒ වගේම බොහොමයක් , එදිනෙදා වේල පිරිමහගත් ශ්රමිකයන්.
ඔවුන් මානසිකව ඉතාම අසරණ උන අය. මට මතකයි වෛද්ය විද්යාලයේදී අපි පස් දෙනෙකු කල සමීක්ෂණයකින් අනාවරණය උනේ මෙවැනි සුෂුම්නා ආබාධිතයන්ගෙන් 90%කට වැඩි ප්රමානයක් සියදිවි හානිකර ගැනීමට කැමැත්තෙන් නමුත් ඊට හැකියාවක් නොමැති කමින් පසුවෙන බව.
මේ රෝගීන්ගෙ ආදායම් තත්වය අනුව අඩු ආදායම් ලාභී සියල්ලන්ගේම නිවාස පරීක්ෂණයට රෝහල් වෘත්තීය චිකිත්සක මහත්මයෙකු සහ රෝහල් කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙක් සහභාගි වෙනව ඔවුන් නේවාසිකව ඉන්න කාලය අතරතුර . සරලව කිව්වොත් ගෙදර බලල එන්න. ගෙදර ඔවුනට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙනවද බලන්න.
ඊලඟට රෝහල් කාර්ය මණ්ඩලයට තියෙන බරපැන ඔබට දැනෙනවද? පුරුදු කලාට කෝ ඔවුන්ට ගෙදර ගෙනියන්න රෝදපුටු ? ඇතැම්විට හරියට කාමරයක්වත් නැති නිවසක කෝ කොමඩ් සහිත වැසිකිලි ? පුහුණු කලාට කොහොම ගෙදර යවන්නද?
ප්රාදේශීය ලේකම් කාර්යල හරහා හැකි උදවු ගන්න රෝහල් ලිපිකාර මණ්ඩලය වෙහෙසුනත් ඔබ දන්නවා ඒ යාන්ත්රයේ තරම.
ඉස්සර කාර්යමණ්ඩලයෙ අපි හැමෝම වෛද්ය ප්රදර්ශන තියමින් , දන්න කියන හැම සල්ලිකාරයෙකුටම කරදර කරමින් වෙහෙසුනා. ඔවුන්ට උපකාර කරන්න. ඔවුන්ට ගෙවල්, වැසිකිලි හදල දෙන්න. අද කාර්ය මණ්ඩලයත් එතරම්ම වෙහෙසෙනවා ඇති.
ඒ වගේම රැකියා නොකරන ඔවුන්ගෙ ඇඹෙනියන්ට ස්වයං රැකියා සඳහා රෝහල හරහා පුහුණු ආයතනවලට යවනවා. ඒත් ඒවා ඉටිපන්දම් සැකසීම , කුළුබඩු සැකසීම, අලංකරණ භාන්ඩ වගේ සුළු ව්යාපාර. ඔවුන් දිරිගන්වන්න , වෙලඳපොල හොයල දෙන්න කාර්යමණ්ඩලය සල්පිල් සංවිධානය කරනව. ඒත් ඒවා හුඟක් සාර්ථක නැහැ. අපේ වපසරිය රෝගී උවටැන මිස ව්යාපාර සංවර්ධනය නොවුන නිසාවෙන්.
ඔවුන් බොහොමයක්, දිගුකල් රැදෙන නේවාසික රෝගීන්. සිංහල අවුරුද්දට අපි කැමැත්තන්ට ගමේ යන්න නිවාඩු දෙනව. ගමෙන් අමාරුවෙන් හොයාගෙන එන ටිපර් එකක , ත්රී වීලරයක හරි වෙනත් කසිකබල් වාහනයක අවුරුද්දට හිස් අතින් කකුල් දෙක පණ නැතිව දරු මල්ලො බලන්න ගෙදර යන තාත්තගෙ මානසිකත්වය ඔබට හැඟෙනවද ?
ඊලඟට මේ රෝහලේ ප්රතිකාර ලබන අනිත් කොටස. ඒ දරුවන්.
ඉපදීමට පෙර ,පසු හෝ ප්රසූතියේදී සිදුවන මොලයට හානිවීම හේතුවෙන් මොලයේ යම් කොටසක් අකර්මන්යවීම (cerebral palsy ) තත්වයට පත්වුන දරුවන්. ඔවුන් බොහෝවිට හිස එසවීම ඇතුළුව ශරීරයේ කායික ක්රියාකාරී අවධි නිසි ලෙස සිදු නොවන්නන්. නමුත් නොයෙකුත් දිනපතා කරන ව්යායාම මගින් යම් හෝ ඉතා ඉහල ක්රියාකාරී ප්රගතියක් ලබාදෙන්න පුළුවන්.
කාටත් තේරෙන භාෂාවෙන් සරලව කිව්වොත් උදාහරණයකට හිස ඉහලට ඔසවන්න ක්රමයෙන් පුහුණු කරන්න පුළුවන් සමහරුන්ට. එතකොට දරුවා බිම වැතිරිලා ඉන්න ඕනි නැහැ. හේත්තු විය හැකි පුටුවක ඉන්දවන්න පුළුවන්. යන්තමින් ඇවිදින්න පුහුණු කරන්න පුළුවන් .
නමුත් මේ කාලාන්තරයක් තිස්සෙ කල යුතු ව්යායාම. එවැනි දරුවන් සංඛ්යාවත් ඉතා විශාලයි. එනිසා ඔවුන් මව සමඟ වරින් වර සති 2ක කාලයකට රෝහලේ නතර කරවාගෙන මවටත් පියාටත් ගෙදරදී ව්යායාම කරන්න පුහුණු කරනවා ඒ දෙසතියෙදි.
වචන ශබ්ද කිරීමට අපහසු දරුවන්ට කථන චිකිත්සක අංශයක් තිබෙනවා.
මෙවැනි දරුවන් සිටින බොහෝ පවුල් ඉතාම අසරණයි.
දරුවා නිසා මවට රැකියාවකට යන්න බැහැ. ඇතැම්විට පියා ඔවුන් අත්ඇරල ගිහින්. ඒ වගේම බොහෝ මෙවැනි දරුවන්ට අපස්මාරය(fits) හැදෙනව. ඒ සායන වලට දරුවො ගෙනියන්න ඕනි. නිතරම පෙනහළු ආශ්රිත රෝග , මූත්රා ආසාදන හැදෙනව.
මට මතකයි ඉස්සර අපි මේ අම්මලට දරුවා එක්ක ආපහු සති දෙකකට නවතින්න එනවද අහද්දි , හුඟක් මව්වරු කියන දෙයක් “අනේ නෝනා දරුවට අඳින්න ඇඳුම් කෑලි දෙක තුනක් හොයාගත්තම එන්නද? “
මේ දරුවො ලොකු උනත් මූත්රා මලපහ කරගන්න කියන්න තේරෙන්නෙ නැහැ. ඉතින් ඒ දුප්පත් දෙමව්පියො දරුවො තියන්නෙ නිර්වස්ත්රව. වේල සරි කරගන්න බැරි ඔවුන්ට ඩයපර්ස් කොයින්ද?
මට මතකයි හෙදි කාර්ය මණ්ඩලය ඔවුන් වෙනුවෙන් පරණ ලමා ඇඳුම් බැංකුවක් හැදුවා. කඩමාලු පවා ඔවුනට වටිනව. ඒත් ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න අපිට ඒ කාලෙ බැරිවුනා.
ඊලඟට මේ අසරණම දරුවො වෙනුවෙන් අපි අවම මාසික තැන්පතු කැපකරු මාපිය ක්රමයක් හැදුවා. එය තවම ක්රියාත්මකයි.
ඉතින් මේ පිටුවෙ නීතිරීති අනුව මෙතනින් එහා ඉල්ලීමක් කරන්න මට අයිතියක් නැහැ. නමුත් මෙවැනි විශේෂ රෝහලක් ලංකාවෙ තියෙන බව හෝ ඔබ දන්නවා.
වෙන කිසිවක් නැතත් අනතුරකට ලක්වූවෙකු නියමිත ක්රමයට හැසිරවීමට ඔබ නොදන්නේ නම් ප්රථමාධාර සේවා එන තෙක් බලාගෙන සිටීම වඩා සුදුසු බව ඔබේ දැනුමට කාවැදෙන්න ඇති කියල හිතනවා.
උපුටා ගැනීම: Nandani Wijayabandara