පොඩි දෙයක් ලියන්න හිතුනා. ඒත් මම දන්නේ නැහැ මගේ අදහස ඔබ කොයි විදියට පිළිගනීද කියලා.
විවාහවෙන්න කලින් මම හිතාගෙන හිටියේ හොඳ උගත්කමක්, සමාජයේ පිළිගත් හොඳ රැකියාවක්, ඇති තරම් මිල මුදල්, සාර්ථක විවාහයක්, සුපිරි නිවසක් සහ සුඛෝපභෝගී වාහනයක්, හොඳින් ඉඩකඩම් තියෙනවා නම් භෞතික වශයෙන් ජීවිතේ දිනුම් කියලා.
ඒත් විවාහ වෙලා අවුරුද්දක් විතර ගියහම මට තේරුණා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය තියෙන්නේ අර මම හිතාගෙන හිටපු දේවල් වලට අමතරව තවත් ටිකක් ඔබ්බට කියලා. එහෙම මට හිතෙන්න මූලික හේතුව වුණේ මගේ සැමියාගේ ආකල්ප.
ඔහු මට කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ. සෑම දෙයක්ම ඔහු මට ප්රායෝගිකව පෙන්වූවා. යහමින් මිල මුදල් උපයන අතරම තමන්ගේ නිදහස උපරිමයෙන් විඳින්නේ කොහොමද කියන එක මම ඔහුගෙන් දැක්කා. යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් සෑම දෙයක්ම සතුව තිබියදී තමන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ කොහොමද කියන එක මම ඔහු තුළින් දැක්කා.
සියලු කටයුතු ඔහු විසින් මනාව සිදු කරන අතරතුරම ඔහුට උවමනා වෙලාවක මාසෙකට සැරයක් විනෝදය පිණිස ඔහු සියමිතුරන්ද කැටුව කඳු තරණය කිරීම සඳහා යනවා. එසේත් නැතහොත් හැකි සෑම විටම අප සියළු දෙනා එක්ව පවුලේ විනෝද චාරිකා වල නියැලෙනවා. සියලු දේවල් අතරතුර ඔහුගේ ප්රියතම පරිගණක ක්රීඩා සඳහාත් කිසියම් කාලයක් ඔහු විසින් යොදවනවා. එමෙන්ම මිතුරන් සමග වොලිබෝල් සහ ක්රිකට් ක්රීඩා වලත් ඔහු නිරත වෙනවා.
මම දැක තිබෙනවා ඇතැම් පුද්ගලයන් තම රැකියාව නිසා අධික පීඩනයකින් ඉන්නවා. තමන් වෙනුවෙන් කැප කරන්න කාලයක් ඇත්තෙම නැහැ. ගෙදර ආවත් මතක් වෙන්නේ කාර්යාලයේ දේවල්මයි. උදෙන්ම වැඩට ගිහින් හවස් හෝ රෑ වෙලා ගෙදර ඇවිල්ලා පැය කිහිපයක් නිවැසියන් සමඟ ගත කරලා රෑ නින්දට යන්නේ ආපහු පහුවදාටත් උදෙන්ම වැඩට යෑමේ අරමුණින්. සමහරු තමන්ගේ රැකියා වලට යන්නේ කොහෙත්ම කැමැත්තකින් නෙවෙයි. යන්න ඕනේ නිසා යනවා මිසක්. රැකියා සම්බන්ධ මේ සියලු අත්දැකීම් අවුරුදු හයක් රැකියා කළ මා හොඳින්ම දන්නා දෙයක්. කොටින්ම කිව්වොත් රැකියාවක් කරන්නේ අපි ජීවත් වීම සඳහා රුකුළක් ලබාගනු පිණිස මිසක් බොහෝ පුද්ගලයන්ගේ ජීවිතයේ අද වෙනකොට වෙලා තියෙන්නේ රැකියාවක් කිරීම සඳහා ජීවත් වෙනවා වගේ දෙයක්.
මම කිව්වේ මම දැකපු දේ. දැන් මට අවුරුදු 29ක්. තව අවුරුදු සීයක්වත් අපි කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. දැනට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 75යි. මට සාපේක්ෂව ගත්තොත් තව අවුරුදු 46යි මට ජීවත් වෙන්න තියෙන්නෙ සිහිකල්පනාව ඇතිව. ඒත් අවුරුදු හැටක් හැත්තෑවක් වෙනකොට අපේ ශරීර ශක්තිය අපේ තරුණ කාලයට සාපේක්ෂව බොහෝ සෙයින් පිරිහෙනවා.
එහෙම ගත්තහම අපට තව ජීවත් වීමට ඇත්තේ බොහොම කෙටි අවුරුදු කිහිපයක්. ඒ නිසා ඒ කෙටි කාලය ඇතුළත ඔබට හැකි අයුරින් ඔබගේ ශක්ති පමණින් ඔබගේ ජීවිතය පීඩාවකින් තොරව විදින්න. ඔබගේ සිත සුවපත් වන මනස සතුටු වෙන ක්රියාකාරකම් වල නියැලෙන්න.
නැත්නම් කවදහරි විශ්රාම ගිය දවසක ඔබටත් කියන්න වෙයි “අපි ඒ කාලේ රස්සාවම කරා මිසක් ජීවිතේ enjoy කරේ නැහැ අපිට එහෙම ටයිම් එකක් හම්බ උනෙත් නැහැ” කියලා. එතකොට ඔබ කාය ශක්තිය අතින් දුර්වලයි.
ඒ නිසා ඔබගේ රැකියාව කරනවා මෙන්ම ඔබගේ කායික සුවය මානසික සුවය සහ ඔබ වෙනුවෙන් වෙන්කර ඇති කාලය පිළිබඳවද සැලකිල්ලක් යොමු කළ යුතුයි.
මොකද මොන තරම් මිල මුදල් ඇතුළු හැමදේම තිබුනත් කිසියම් දවසක “අයියෝ මට හරියට ජීවිතේ විඳින්න බැරි වුණා” “මගෙන් වෙන්න ඕන යුතුකම් මට හරියට ඉෂ්ට කරන්න බැරි වුණා”යැයි පසුතැවිල්ලක් ඇති නොවීමට අප සැවොම අපේ ජීවිත තුළ වගබලා ගත යුතුයි.






හිතේ දුකක් නැතී මිනිහා //
මේ ලෝකේ දැනගත් මිනිහා //
එයා තමයි දුක නැති මිනිහා
ඕ ඔ ඔව්
එයා තමයි දුක නැති මිනිහා.. 

උපුටා ගැනීම: Divya Madumalee Bandara Iddamalgoda