ඔහුට වමෙන් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මාව පහු කරන් ගස් කොළන් , ගොඩනැගිලි , කඩ , දැන්වීම් පුවරු, මිනිස්සු , ලයිට් කණු වේගයෙන් පස්සට දුවනවා.මන් එතනම එයාට වම් පැත්තෙන් වාඩි වෙලා එයා දිහා ම බලන් ඉන්නවා.
කොච්චර බැලුවත් මදි නොවෙන එකම මූණ. සමහර විට ආයෙ කවද දකින්න වෙයිද කියල නොදන්න නිසා වෙන්න ඕනෙ. දුඹුරු ඇස් දෙක පාර පේන කෙළවරටම එක දිගට ම ඇලිලා . වංගුවක් ගන්න අරහෙ මෙහෙ නොවුනොත් මිසක් හැම වෙලේම ඇස් දෙක තිබ්බෙ පාරට.
ඔහු හොඳ රියැදුරෙක්. කොච්චර හොඳ ද කියනව නම් ඇස් දෙක කෙලින්ම ඉස්සරහට තිබ්බට , පුංචි පවුලක්ම වාඩි වෙලා වමෙන් ආපු බයිකෙක දකුණට දාන්න යද්දි හැප්පෙන්නෙ නැතිව බේරුනේ එයාගෙ පාර කෙලින්ම තිබ්බ ඇස් දෙකට වමත් පෙනුන නිසා.වමෙන් හිටපු මටවත් ඒ පුංචි පවුල ආපු බයිකෙක පෙනුනෙ නෑ. කොහොමත් මන් හිටියෙ වාහනේ පිටත වෙන හැමදේම නොසලකා හැරල.
මේ වගේ වෙලාවට තද වෙලා කුණුහරුපයක් එහෙම කියල අම්ම තාත්තා මතක් කරල බයිනෙක ගොඩක් අයගෙ පුරුද්දක් උනාට වචනයක් වත් නොකියා හිනා වෙලා හෝන් එකකුත් ගහල ඒ පුංචි පවුල හිටපු බයිකෙකට යන්න දුන්නා.
මට මතක් උනේ මගේ අතීසාර මිත්රයෙක්. අම්මෝ.එයා එක්ක වාහනේක එයාගෙ වම් පැත්තෙන් යනව කියන්නෙ වමේ යන කෙනාට දඬුවමක් ලැබුන වගේ වැඩක්. එයා විතරයි මුලු පාරෙම හරියට වාහනේ පදින්නෙ අනිත් ඔක්කොම බූරුවො , මීහරක් , #&$* පුතාලා. වාහනේ සුක්කානමට අත තියපු වෙලේ ඉදලා පාරේ යන හැම වාහනේකටම බනිනවා.කරන්න දෙයක් නැති කමට යනව මිසක් වාහනේ මග නතර කරල බහින්න හිතුන වාර අනන්තයි.
මන් හිතුවෙ වාහන පදින හැමෝම ඒ වගේ රත් වෙච්චි අය වෙන්න ඕනෙ කියල. අනික ඉතින් කොළඹත් හරි ඌශ්ණ තැනක් නේ.වාහනේ ඇතුලෙ කොච්චර කූල් උනත් ලේ තියෙන්නෙ රත් වෙලා,
කොළඹ පාරවල් වල වාහනේ අරන් යන හැම වෙලේකම එයාගෙ ඇස් පාරේ තිබ්බත් කොළඹ යන එන හැම පාරම මොකක්ද කියල මට කියන්න එයා අමතක කරන්නෙ නෑ. ඒත් , කොළඹ හැම තැනම එක වගේ පේන මට ඔය කියන පාරවල් මතක හිටින්නෙ නෑ කියල එයාම දන්නවා.”මට මොකටද ඕවා නේද ?” කියල හයියෙන් හිනා වෙන ගමන් ඒ යන පාර ගැන වැඩි විස්තර කියන්නත් එයා අමතක කරන්නෙ නෑ.
මට කවදත් කොළඹ පාරවල් දන්න කෙනෙක් පෙනුනෙ ටිකක් වීරයෙක් වගේ.අනික තමා ගූගල් මැප්පෙක නොගහා කොළඹ පාරවල් වල වාහනේ පදින මනුස්සයෙක් කියන්නෙ ඉතින් වීරයෙක්ම තමා මට.
දවසට පැය තුනයි විනාඩි හතලිස් පහක් බස් වලම කාලය ගත වෙන මගේ ජීවිතේ බස් එකකට නැගල වාඩි වෙන පමාවෙන් ඇහපිය වෙන එක පුරුද්දක්.ඒ පුරුද්ද නිසා මොන වාහනේක වාඩි උනත් වාහනේ යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදල තොටිල්ලක නැලවෙන බබෙක් වගේ මට නිදා ගන්න පුලුවන්.
ඒත් ,
ඒ ගතවුන පැය ගණන් පුරාම ඇහ නොපියවා හොඳ කල්පනා වෙන එන්න මට පුලුවන් උනා.බස් එකකටත් වඩා සැප පහසු , සුමට ධාවනයක් තියන හොඳ රියදුරෙක් අරන් යන වාහනේක වම් අසුන කියන්නෙ නිදා ගන්න හොඳම තැනක් උනාට, සමුගන්න කිට්ටුයි කියල දැනුන හිතේ අමාරුවට ඇස් පියා ගත්ත විනාඩි කිහිපය ඇරෙන්න හොඳ කල්පනාවෙන් නොනිදා එච්චර දුරක් මම ආවෙ කොහොමද කියල මටම පුදුමයි.
එදා අපි සමුගත්ත විදියත් හිතේ වමේම තැන්පත් වෙලා තියෙන්නෙ ආයෙ කාලෙකට අමතක නොවෙන විදියට.මන් කවදත් (අ)කැමති විදියට නිකටෙන් අල්ලල ඇස් දිහා බලල , ඇස් පියවෙන්න දෙන පුංචි කෙටි හාදුව.
ඒ කොහොම උනත් මට ආයෙත් ඔයාගෙ වම් පැත්තෙන් යන්න ලැබෙන චාන්ස් හරිම අඩුයි කියල මන් දන්නවා.ඔයාගෙ වමත් එක්ක මගෙ තියෙන්නෙ නොබිදිය හැකි බැදීමක්. හිස තිබ්බ පමාවෙන් නින්ද යන ඔයාගෙ වම් පපුවයි , නොනිදා ඕනෙ තරම් දුර යන්න පුලුවන් ඔයාගෙ වම් පැත්තෙ ආසනයයි , මගේ හදවත හැමදාම ආදරෙන් පුරවනවා.
ඔයාට වමෙන් කවුරු හිටියත් , ඔයාට වමෙන් කවුරු ගියත් , ඔයාගෙ වමෙ කවුරු නිදා ගත්තත් මගේ වමේ හදවත ඔයා ගැන ආදරෙන් පිරිලා තියනවා.
ඔයාටත් පුලුවන් නම් ඔයාගෙ හදවතේ වමේ පුංචි තැනක මටත් ඉඩක් තියා ගන්න. ඒ මොකද කියනව නම් මේ ලෝකේ මට තියන සුවදායකම තැන තියෙන්නෙ ඔයාගෙ වම්පැත්තෙන් නිසා.
When you’ve nothing to give
But, the love within your heart
A gentle touch
Is everything
Poem written by Athey Thompson
උපුටා ගැනීම: Vathsala UL

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!