කවුද මේ උදේ පාන්දරම කෝල් කරන්නේ. ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ. නිදිමර ගාතෙම ෆෝන් එක අරන් කනේ තියා ගත්තා
“ම්ම්ම් හෙලෝ “
“හෙලෝ. ගුඩ් මෝනින්”
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ……
කවුරු හරි කතා කරල මොනවද කියාගෙන ගියා. මමත් අහන් ඉදල මොනවද කියල පෝන් එක තියාලා ආපහු නිදා ගන්න පටන් ගත්තා.
” පුතා හොදටම දවල් වෙලා. මේ තේ එකත් නිවෙනවා. නැගිටින්න “
අම්මගෙ සුපුරුදු ආමන්ත්‍රණයෙන් තමයි මම දවස පටන් ගන්නේ.
” හා හා ඔහෙන් තියන්න අම්මා. මම එන්නම් “
ඇස් කස කස කාමරෙන් එලියට ආපු මම වැනි වැනි සාලෙට ගිහින් තේ කෝප්පෙත් අරන් පුටුවකින් වාඩි උනා.
අම්මයි තාත්තයි සුපුරුදු විදිහට හිනා වෙනවා. හැබැයි අම්මගෙ නම් හිනාවෙ පොඩි වෙනසක් තියෙනව වගේ කියල හිතුනා.
ආ කියන්න බැරි උනානේ. මම නිශාචර ජීවියෙක්. උසස් පෙල කරපු දවසෙ ඉදන් තමයි මම නිශාචර උනේ. හැමදාම නිදා ගන්න කොට පාන්දර 3.30 – 4.00 විතර වෙනෝ. ගොඩක් වෙලාවට 4 පහුවෙන දවසුත් තියෙනෝ. ගෙදරින්නම් මේ වැඩේට ලොකුවට බනින්නෙ නෑ. රෑ වරුවෙම නයිට් ටයිම් ඩේට වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එකයි , ෆිල්ම් බලන එකයි , බුකියේ උඩ පහල යෑමයි තමයි රාජකාරිය. දවල්ට තමයි කියවන එකයි ලියන එකයි කරන්නේ. හවසට යාලුවො එක්ක මැච් එකක් ගහල ආතල් එකේ එකේ ඉදලා 7 ට විතර තමයි ගෙදර එන්නේ. පොඩි අවුලකට තියෙන්නෙ දවසකට එක කෑම වේලක් මග ඇරෙන එක විතරයි. අන්න ඒකට තමයි අම්ම කෑ ගහන්නේ.
මේ කාල සටහන වෙනස් උනේ මම It කෝස් එහෙකට යන්න පටන් ගත්තු කාලේ. ඒකෙත් ලොකු වෙනසක් නෑ. යාලුවො ඔක්කොම ඉන්නවා. හැබැයි මගේ නිශාචර ජීවිතේ එතනින් ඉවරයි.
ඉවරයි කිව්වට ඉවරම නෑ. කොරෝන සීන් එකත් එක්ක ගෙදරට කොටු උන නිසා පරණ පුරුදු එලියට ආවා 

හරි දැන් ආපහු යමු කතාවට…
තේ එක බීල ඉවර වෙලා ප්රවෘත්ති බලන්න ටීවි එක දැම්මා. ඔව් ඔව් ප්රවෘත්ති තමයි. මම නැගිටින කොට 11.30 ත් පහු වෙලා. ඒකත් බලල ඉවර වෙලා ගියා නා ගන්න.
නාල ෆෝන් එකත් අරන් ගියා එලියට. වාඩි උනා බංකුවෙන්. කකුල් දෙකත් උඩ තියාගෙන කොටන්න හදන්නෙ ෆෝන් එක.
හැම සෝශල් මීඩියා එකේම ඉන්න නිසා වැඩ වැඩී.
ඒත් එක්කම ඔන්න එනාව කෝල් එකක්.
” අඩෝ කවිදු කියපන් , මොකෝ වෙන්නේ “
“අවුලක් නෑ බන් තාම යහතින් ඉන්නො “
” එල එල”
” අද මැච් එක නෑ බන්… පොලිසිය හැම තැනම. මේ කලබල ඉවර උන කාලෙක සෙට් එකත් එක්ක මැච් එකක් ගහමු “
” ඔව් ඔව් බන් මට මැසේජ් එකක් දාල තිබුන පසිදුවා. අනිව එහෙම කරමු “
” උබට ඒක කියන්නම නෙවෙයි මන් කෝල් කරේ “
” එහෙනම් මොකො සීන් එක. කෙල්ල උබව දාල ගියාද ? “
” පිස්සුද බන්.. කෙල්ල කොහේ යන්නද ? ඒකි ඉන්නව ගෙදරට වෙලා. අද උබට මිස් කෝල් කරාද ? “
” මොන මිස්ද බන් ? “
” It කෝස් එකේ මිස් බන් “
” ම්ම්ම් නෑනෙ බන් “
” හොදට කල්පනා කරල බලපන් “
” ම්ම්ම්ම් හෝ හෝ පොඩ්ඩක් ඉදපන්. කෝල් එකක් නම් ආව තමයි බන් උදේ පාන්දර. තද නින්දෙන් ඇහැරිලා කෝල් එක ගත්තේ”
” උදේ පාන්දර , තද නින්දෙන්. මිස් උබට කතා කරල ඉවර වෙලා 8.45 ට විතර මට කෝල් එක අර තිබුනේ. ඒ පාන්දරද යකෝ. “
” ආ හරි හරි බන්. උබලට වගේ , දැන් ඇති බබා ඔන්ලයින් හිටියා , ගිහින් නිදා ගන්න කියල කියන්න කවුරුත් නෑ.
අපිට ඕන වෙලාවක නිදා ගත්තා. අපිට ඕන වෙලාවක ඇහැරුනා.”
” හරි හරි මට ඒ බයිල වලින් වැඩක් නෑ. උබ අර මිස් කෝල් කරපු වෙලාවෙ මොනවද කියල තියෙන්නේ “
” අඩෝ මම ඒ වෙලාවෙ තද නින්දෙන් ඉදන් කෝල් එක ගත්තේ. මතකත් නෑ මම මොනව කිව්වද කියල. සිරාවටම මම මොනවද මිස්ට කියල තියෙන්නේ බන් “
” කියල තියෙන්න්ද ? ඒව මන් කියන්නෙ නෑ උබට . හැබැයි මිස් මට කෝල් කරන කොට මල පැනල හිටියේ. උබ ගැනත් ඇහුව මගේන් “
” අනේ බන් කියහන්කො. මිස්ට මොනවද මම කියල තියෙන්නේ. උබ මොනවද මම ගැන මිස්ට කිව්වේ “
” පිස්සුද මම කියන්නෙ නෑ උබට ඒවා “
” අනේ බල්ලො කියහන්කෝ “
” නෑ නෑ කියන්නේ නෑ “
” අනේ බන් “
” හරි හරි උබ නාහෙන් අඩන්න ඕනෙ නෑ. මම මිස්ට කිව්වා උබ පිස්සොන්ටත් පිස්සු හදන ජාතියේ පොරක් කියල. උබ මිස්ට කියපුවා උබේ කෝල් රෙකෝඩින් වල ඇති. හෙමිහිට ඉන්න ගමන් අහල බලපන්. එහෙනම් කොල්ලො අපි ගියා “
” ඒ ඒ පොඩ්ඩක් ඉදපන්. හෙලෝ හෙලෝ “
කට් කරා නේද මේ යකා කෝල් එක. දැන් මොකද කරන්නේ.
සෙනිකව ෆෝන් එක අරන් ගියා කාමරේට. ගත්ත හෑන්ෆ්‍රී එක අතට. ඒකෙ ජැක් එක ෆෝන් එකට ගහන ගමන් පැන්න ඇදට.
ඕපන් කරා කෝල් රෙකෝඩින් ටික. මේ තියෙන්නෙ මිස්ගේ කෝල් රෙකෝඩින් එක දිලිසි දිලිසි. 8.39 ට කෝල් එක අරන් තියෙන්නේ.
ගහ ගත්තා ඇබ දෙක කනේ. ප්ලේ කරා රෙකෝඩ්න් එක.
” ම්ම් හෙලෝ “
” හෙලෝ ගුඩ් මෝනින් “
“ගුඩ් මෝර්නින් ! කවුද මේ කතා කරන්නේ උදේ පාන්දරම “
” මම මේ ඔයාලගේ මිස් කතා කරන්නේ. කොරෝන නිසා කෝස් එක නවත්තන්නේ නෑ. අනිද්ද ඉදන් ඔන්ලයි කරනවා. ළමයිව කලින් දැනුවත් කරන්න ඕන නිසා අදම කෝල් කරල හැමෝටම කියන්නේ. අනිවාරෙන් ඔන්ලයින් පංතියට එන්න ඕන. තේරුනාද ? “
“ම්ම්ම්ම් හා හා මම එන්නම්, හෙල්මට් එකක් අරන් පාරට ඇවිල්ල ඉදපන් “
” හෙලෝ මේ කෝස් එකට එන දරුව නේද?”
” මචං ප්ලීස් බන්. උබ දන්නවනේ මම ටිකක් දවල් වෙනකම් නිදා ගන්නව කියල. ඒ නිසා පාන්දර කෝල් අරන් කරදර කරන්න එපා “
” පිස්සෙක්ද කොහෙද ? “
වැඩේ කාල නාල ඉවරම කරල දාල. රෙකෝඩින් එක එතනින් ඉවරයි. ඒක අහල ටික වෙලාවක් ගියා සාමාන්‍ය තත්වයට එන්න.
මොනවද මම මේ මිස්ට උදේ කියල තියෙන්නේ. මිස් මොනව හිතුවද දන්නෙ නෑ. මගේ අභිමානෙ ඉවරයි. කිසිම දග වැඩක් නොකර අහිංසක විදිහට මම පංතියේ හිටියෙත්. දැන් මොකද කරන්නේ.
කොහොම උනත් මගේනෙ වැරැද්ද. සමාව ගන්නත් එක්ක මම මිස්ට ආපහු කෝල් එකක් ගත්තා.
” ඔබ ඇමතූ ඩයලොග් දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.
නීන්ගල් අලෙක්ක…” නෑ ඒක ඕනෙ නෑ
අයියෝ තව ටිකකින් අරන් බලන්න ඕන.
විනාඩි 2කින් විතට ආපහු කෝල් එකක් ගත්තා. ඔන්න එපාර ෆෝන් එක වැඩ.
” හෙලෝ මිස් මේ මම “
” කවුද මේ “
” මිස් අද උදේ කෝල් එකක් අරන් තිබුනා “
එච්චරයි කියන්න හම්බුනේ. මිස් කියපු දෙයින් මට කට උත්තර නැති උනා.
” ආ මේ ළමයනේ. මම ඒත් බැලුව පරකු මොකද කියලා. මම මේ හෙල්මට් එකත් අරන් පාරට එන ගමන් ඉන්නේ “
ඇත්තටම මම ඒ වගේ දෙයක් කියාවි කියල කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ.
කියන්නෙ මොනදද කියල හිතා ගන්න බැරුව විනාඩි ගානක් හිටියා.
එහා පැත්තෙන් ආපහු මිස්ගෙ කටහඩ ඇගෙනවා.
” හෙලෝ.. දරුවො ඔයා ඉන්නවද ? “
” අනේ සොරි මිස්. මම ඒක හිතල නෙවෙයි කිව්වේ. මම ඒ වෙලාවෙ තද නින්දක හිටියේ. එක පාරට ෆෝන් එක රින් වෙන කොට ඇහැරුනේ. නම්බර් එක කාගෙද කියල නොබල මම කතා කරේ.
අපි අද හවස මැච් එකක් ගහන්න හිටියේ. මම හිතුව ඒකට අනිවාරෙන් එන්න කියල යාලුවෙක් කතා කරනව කියල.
හමෝම අනිවාර්යයෙන් ඔන්ලයින් පංතියට එන්න ඕන කියපු එක මට නිදිමතේ ඇහිල තියෙන්නේ අනිවාර්යයෙන් මැච් එකට එන්න කියල වගේ.
අනේ ඇත්තටම සමාදෙන්න මිස් “
මම කියාගෙන ගියා එක දිගට.
” හරි හරි පුතේ. මම දැන ගත්තා නින්දෙන් තමයි කතා කරන්නෙ කියලා. ඒකට කමක් නෑ. කෝකටත් කියල මම ඔයාගෙ ගෙදරටත් කෝල් කරල කිව්වා “
” මොනවා ඇයි මිස් එහෙම කරේ. “
” නෑ නෑ ඔයා කියපුව ගෙදරට කිව්වේ නෑ. අම්ම තමයි ෆෝන් එක ඉස්සුවේ. අනිද්දා ඔන්ලයින් පංතියට තියෙනව කියලමම අම්මට කිව්වේ.”
” අම්බෝ ලොකු දෙයක් මිස් එහෙමම කියපු එක “
” හැබැයි පුතේ කෙනෙක් එක්ක කතා කරන කොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මම ඔයා ගැන දන්න නිසා හොදයි. වෙන කෙන්ක්ට ඔයා කියපුව ඇහුනනම් අනිවාරෙන් බීපු කෙනෙක් කියල තමයි හිතන්නේ. “
” ඔව් මිස් මට තේරුනා. “
” අපි කටින් කියන දෙයක් ආපහු අපිට ගන්න බෑ. හොදට මතක තියා ගන්න ඒක .
අනිද්ද ඉදන්නම් දවල් වෙනකන් නිදා ගන්න ලෑස්ති වෙන්න එපා. 9 ට පංති පටන් ගන්නවා. “
” හරි මිස් මම අනිවාර්යයෙන් පංතියට ජොයින් වෙන්නම් “
” ආ මතක ඇතුව හැමෝම කැමර් එක ඔන් කරන් ඉන්න ඕන “
” මිස්ට අපිව ශුවර් නැද්ද ? “
” අපෝ නෑ පුතේ ඔයාල හොදටම විශ්වාසයි මට “
ඒකනම් මිස් කින්ඩියට කිව්ව කියල තේරුනා
” හරි මිස් අපි එහෙම ඉන්නම්. මම මිස්ට කෝල් කරේම මේ සිද්ධිය පැහැදිලි කරන්න. එහෙනම් මම තියන්නම්. මිස්ට වැඩත් ඇති නේද අද. මම කෝල් කරල කරදර කරාද මන්දා. “
” අනේ නෑ පුතේ මම මේ තාම කට්ටියට කෝල් කරන ගමන් හිටියේ “
” හරි මිස් මම තියනවා. බුදුසරණයි “
” බුදුසරණයි පුතේ “
අම්බෝ යන්තන් මිස්ව ශේප් කර ගත්තා. බලන් ගියහම මිසුත් අපි වගේ තමයි. විහිලු තේරෙනවා. නැත්නම් මම එහෙම කතා කරලත් මිස් නෝමල් එකෙ කතා කරානේ.
ඒත් එක්කම කල්පනාවට ආවෙ මිස් අන්තිමට කියපු දේ. ” මතක ඇතුව හැමෝම කැමර් එක ඔන් කරන් ඉන්න ඕන.”
ඒක මතක් වෙනවත් එක්කම බැලුනේ කාමරේ දිහා.
දැන් ඉතින් කොනක ඉදන් මේක අස්කරපන්කෝ. අම්මනම් මගේ කාමරේට කියන්නෙ අපාය කියල. තාත්තනම් කියන්නෙ ගුහාව කියල. හැබැයි මටනම් ඒක සුරලොවක්. කම්පිය්ටර් ටේබල් එකයි ඇදයි විතරයි පිලිවෙලට තියෙන්නේ. පොත් මේසෙ උඩ නම් 1 ශයි එකේ කාපු ටොපි කොලත් තියෙනෝ. හිතා ගන්නන් පුලුවන්නෙ කාමරේ හැටි. දෙවෙනි පාර විභාගෙ ලියනකොටත් සූම් එක පාවිච්චි කරා. හැබැයි කැමර් එකයි මයික් එකයි මියුට් කරල තිබුනේ.
කොස්සත් අරන් කාමරේ පැත්තට යනව දැකල අම්මට හිනා ගියා. හැමදාම කිය කිය හිටියේ කාමරේ අස්කර ගන්න කියලා.
” මිස් මට උදේ කතා කරල කිව්වා පුතා තාම නිදිද කොහෙද , අනිද්ද ඔන්ලයින් පංති තියෙනව කියල පුතාට කියන්න කියලා “
අම්ම ඕක කලින්ම කිව්වනම් ඉවරයිනේ. අම්ම මිස්ව අදුරනවද ?
ඔව් ඔව් නිමාලි ඇන්ටිගෙ අක්කගෙ ලොකු දුවනෙ. මම හොදට අදුරනවා.
අම්මා මිස්ව කලින්ම දැන ගෙන ඉදල තියෙන්නේ එතකොට. අනේ මන් දන්නෙ නෑ ආම්මත් මේක මට කලින්මන් කිව්වනම් ඉවරයිනේ. හරි වේදනායි මට. මොනව කරන්නද ? අම්මා නිමාලි ඇන්ටිගෙ අක්කට නිව්න්නු නේද ඉන්නව කිව්වේ.
ඔව් ඔව් පුතා. දුවලම දෙන්න්ක් ඉන්නේ. විනාඩි 4 යි වෙනස. ලොකු දුව තමයි ඔයාලගෙ ටීච. අම්ම ඒක කියාගෙන කුස්සිය පැත්තට ගියා.
ඒක තමයි මිස්ට මල පැනල මට බැන්නෙ නැත්තේ. වෙන මිස් කෙනෙක්ට ඔහොම කිවනම් මාව කෝස් එකෙනුත් අස්කරල දාවි. එතකොට මම දැන් කෝල් කරහම කතා කරේ මිස්ද නැත්නම් මිස්ගෙ නංගිද ?? ඇයි මටම මේ වගේ දේවල් වෙන්නේ. කන්පියුස් වෙලා ඉන්නේ.
කොහොම හරි එදා හවස් වරුවයි පහු වෙනිද දවල් වරුවයි කැප කරල අමාරුවෙන් කාමරේ අස්කරල දැම්මා.
කාමරේ අස්කරන කොට හරි ශෝක් දෙයක් හම්බුනා. මම ඒක වෙන කතාවකින් ඔයාලට කියන්නම්.
කොහොම හරි ඇද යට තිබුන දූවිලි තට්ටුව අයින් කරල ඉවර වෙලා පොත් මේසෙ පිලිවෙලකට හදල ඉවර කරන කොට හොද පන ගිහින් ඉවරයි.පොත් මේසෙත් එක්කම උඩින් තියන මකුණු දැල කැඩුවෙ නෑ. මන් ඌව ඉස්සර ඉදන් අදුරන කෙනෙක්. මැක්ස් කියල නමකුත් දාල තිබුනේ මකුනට
බොක්කෙ ෆිට් එකක් තමයි.

කොහොම හරි කාමරේ අස් කරල හදුන් කූරකුත් පත්තු කරල ගහල තිබ්බ කාමරේ. අම්මටත් හිතා ගන්න බෑ කාමරේ දැක්කහම. තාත්තත් හොල්මන් උනා එක පාරට. හරි දැන් කමරේ වැඩෙත් ඉවරයි.
හෙට උදෙන්ම පංති තියෙන නිසා රෑට කාල ටීවි බලලා උදේ 7 ට එලාම් එකත් තියල 11 වෙනකොට නිදා ගත්තා. නිදා ගන්න ගියට නින්ද යන්නෙ නෑ ඒ වෙලාවට. මාරම ගේමක් දීල නිදා ගත්තේ. යන්තම් 12.30 වෙනකොට නිදා ගන්නන් පුලුවන් උනා.
එලාම් එකේ සද්දෙට ජීවිතේට ඇහැරෙන්නෙ නෑ මට. අම්ම ඇවිල්ල තමයි ඇහැරුවෙ. 7.20 යි වෙලාව. කාලෙකින් උදෙන් නැගිට්ටෙ. ටක් ගාල තේ එක බීල පැන්න බාත් රූම් එකට. නාල කියල ඇදුමක් දාගෙන වාඩි උනා මේසෙ ලගින්. ලැප් එක එක පැත්තක , පොත් ටික් අනිත් පැත්තේ. ෆෝන් එකෙන් තමයි සූම් යන්නේ.
8.56 වෙලාව. තාම මිස් ලින්ක් එක දාල නෑ වට්ස්ඇප් ගෘප් එකට. සෙට් එකම ඔන්ලයි ඉන්නවා. ගෘප් චැට් එකත් නැගලම යනවා. ගුඩ් මෝනින් ගුඩ් මෝනින්. ජීවිතෙව්ට ගෘප් එකට ආපු නැති අයත් අද ගෘප් ඇවිල්ලා. පුදුමයි ඔක්කොම කට්ටිය උදේ පාන්දරම නැගිටලා. මාසෙකින් තමයි කට්ටිය සෙට් වෙන්නෙ මෙහෙම හරි. අන්න මිස් මැසේජ් එකක් දාල. ටක් ගාල ගිහින් බැලුව ඒක
” ළමායි ඊයෙ රෑ හුලගට ගෙවල් ලග ගහක් කඩන් වැටිලා. අපිට කරන්ට් එක නෑ. ඒ නිසා අද පංතිය කරන්න වෙන්නේ නෑ. හෙට පෝය නිසා පංති කරන්නෙත් නෑ. ආපහු පෝයෙන් පස්සෙ පංති පටන් ගන්නවා. පිරිමි ළමයින්ට විශෙශයෙන් කියන්නෙ. මැච් ගගහ බයිසිකල් වලින් එහෙ මෙහෙ රස්තියාදු ගහන්නෙ නැතුව පරිසමෙන් ගෙදරට වෙලා ඉන්න “