ඔන්න බබෝ ඇතින්නියා… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පියදාස විවාහ වූණේ වයස ටිකක් පැනලා. අවූරුදු තිස් හතේදි විතර. විමලාවතී ඔහුට වඩා අවුරුදු දහයක් බාලයි. කුළුදුලේම හමබ වෙච්චි පුත් රුවන ජිතේන්ද්ර. බාල එව්වෝ තුන් දෙනාම ඊට අවුරුදු අටකට පස්සේ ළඟ ළඟ පවුලට එකතු වුණා. තව කොලුවයි කෙල්ලො දෙන්නයි. ජිතේන්ද්ර ගේ කේන්දරේ බලපු එගොඩහ කන්දේ ලොකු හාමුදුරුවෝ කිව්වේ “රාජ යෝගයක්.. හොඳට ගියොත් පවුල් බබලවයි. නරකට ගියොත් විනාසයි” කියලයි. මධ්යම පන්තියේ පවුලක් වුණත් පවුලම ගොඩ දායි කියලා බලාපොරොත්තුවෙන් තමයි නගරේ කොලීජියකටත් දැම්මේ. කොලුවත් ඉගෙන ගන්න දස්සයා. කතාවටත් එහෙමයි. බාලදක්ෂ කණ්ඩායමෙත් හිටියා. පියදාසයි විමලාවතී පුළුවන් උපරිමෙන්ම දුක් විඳලා දරුවන් සැපෙන් තියන්නයි වෙහෙස මහන්සි වුණේ.
අවුරුදු පහළොවක් ගියේ නෑ කරදඬු උස් මහත් වෙලා ජිතේන්ද්ර හැඩ ඉලන්දාරියෙක්. කොලීජියේ එක එක ආර්ථික මට්ටමේ අය හිටියට ආශ්රය කරපු යාළුවෝ සේරම සල්ලි තියෙන පවුල් වල ළමයි. ජිතේන්ද්රත් ඒ මට්ටමට ඉන්නයි උත්සාහ ගත්තේ. ටිකෙන් ටික පාසල් ඇරිලා ගෙදර එන වෙලාව පහු වෙන්න ගත්තා. සමහර දාට ඇස් ඉදුණු ගොරකා ගෙඩි පාටයි. පියදාස කළේ දිනපතා ගෙදර එන විදියේ රැකියාවක් නොවන නිසා මේ වෙනස වැඩිය තේරුණේ නෑ. විමලාවතී බොහොම අහිංසක වැඩියි. දරුවන් ගේ වුණත් හිත රිදෙයි කියලා බය හින්දා හරි පරෙස්සමෙන් තමයි අවවාදයක් වුණත් කළේ. ඒත් ජිතේන්ද්ර ඒ වෙනකොටත් මත්පැන් දුම්වැටි වලට හුඟක් ඇබ්බැහි වෙලා හිටපු බව ඈට තේරුණේ නෑ.
මුලින් මුලින් අම්මා ටිකක් බය කරලා ගෙදර තියෙන කීය හරි උදුරන් ගිය ඔහු ඊට පස්සේ කෑකොස්සන් ගහලා රණ්ඩු කරලා තමන්ට ඕන දේ කර ගන්න පුරුදු වුණා. එක එක විදියේ හයිකාරකම් පෙන්නලා විමලාවතී ගමේ ගෙවල් ගාණේ යවලා මුදල් ගෙන්වා ගත්තා. ඒත් පළවෙනිම චණ්ඩිකම පටන් ගත්ත දා විමලාවතීට හොඳහැටි මතකයි. යාළුවෝ එක්ක විනෝද චාරිකාවක් යන්න සල්ලි ඕනෑම කියලා ජිතේන්ද්ර කෑ ගැහුවා. “මං කොහෙන් සල්ලි හොයන්නද ලොකු පුතේ” කියලා විමලා බැගෑපත් වුණා. “ගිහින් කොහෙන් හරි හොයන් වරෙන් මම පැයක් දෙනවා” කියලා රකුසු මුහුණෙන් ඉස්තෝප්පුවේ පුටුවේ ඉඳ ගත්තා. විමලාවතී ගෙයින් ගෙට ගියා. ගෙවල් කිට්ටුවම ඈයෝ මිසක් ටිකක් දුර ගෙවල් වල අය මේ සන්තෑසි දැනන් උන්නේ නෑ. ටික වේලාවකින් ඈ ගෙදර ආවේ හිස් අතින්මයි. කෝපයෙන් ඇව්ලුන ජිතේන්ද්ර යකඩින්න අරගෙන බිත්තියේ එල්ලලා තියෙන දෙමාපියන්ගේ මඟුල් පින්තූරේ සහ අනෙකුත් රාමු කරල තිබුන පින්තූර ඔක්කොමගේ වීදුරු කැඩුවා. පොඩි එවුන් ඉස්කොලේ ඇරිලා එන වෙලාව කිට්ටු හින්දා විමලා එකපිම්මට දුවලා පොළියට මුදල් දෙන තැනකින් මුදල් අරන් ආවා. ඒ තමයි ඇරඹුම. අවුරුදු කීපයක් මේ විදියට ජිතේන්ද්ර එයාගේ චණ්ඩිකම් කර ගෙන ගියා. බොහොම අහිංසක විදියට හිටියට පියදාස කොල්ලව ඉතුරු කරන එකක් නෑ කියන බයට විමලා මේ දේවල් ස්වාමි පුරුෂයාගෙන් වහන් කළා. ඒ තමයි ඈ කළ ලොකුම වැරැද්ද. පුංචි තුවාලය ඔඬු දුවලා මහා විශාල වනයක් වෙන්නා වාගේ ජිතේන්ද්ර ගේ ජීවිතය විනාශ වුණේ පවුලත් විනාශ කර ගෙනමයි.
දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල දුන්නේ ඇස් පනාපිටමයි. තමන්ගේ මව්ට සැරපරුෂ වචනයෙන් කරපු පව් වලට සහ දුන්න දුක් වේදනා වලට මත්පැන් දුම්වැටි අධික භාවිතය නිසා ඉතාම තරුණ වයසෙදීම ජිතේන්ද්ර අංශ භාග රෝගයට ගොදුරු වුණා. ඒත් ඒ වෙනකොට සැමියාටත් නොකියා පොළියට ගත්තු මුදල් වලට වැල් පොළී එකතු වෙලා ඒවා ගෙවන්න ගෙවල් ඉඩකඩම් විකුණලා ගම්රටත් අතහැර යන්න වෙලා. ඒ කාලේ හයිකාරකමින් මුදල් අරගෙන ගිහින් විනෝද වෙනකොට හිටපු යාලුවො කව්රුත් ලෙඩ වුණ කාලේ ජිතේන්ද්ර බලන්න ට චූටි කුරුල්ලෙක් වාගේ සැරින් සැරේ බත් ඩිංග ඩිංග ඉල්ලන් කද්දී විමලාවතී හිතින් මැරි මැරී ඉපදුණා. ඉස්සර කාලේ පුංචි එව්වෝ තුන් දෙනා බඩගින්නේ බලන් ඉද්දි උයපු කෑම හට්ටි මුට්ටි පිටින් එහා වත්තේ කාණුවට ලොක්කා වීසි කරපු හැටි විමලාට මැවිලා පෙනුනා. අන්තිමේදී කාගේ වත් හව්හරණක් නැතිව රෝගීආවේ වත් නෑ. මහා පතාක යෝධයෙක් වාගේ හොඳ බත් පිඟානක් කාපු ලොකු කොලූ පුංචි ප්ලාස්ටික් පිඟානක ව අසරණව ජිතේන්ද්ර මහ ගෙදරටම ආවා. ඒ වෙනකොට ජීවිතයේ මහා වෙහෙස මහන්සියේ ලොකු ප්රතිඵල නොලබාම පියදාසත් මේ ලෝකෙන් ගිහින්.
දොස්තර මහත්තයා කිව්වේ නම් “සිගරැට් වලට හදවතේ ලොකු කොටසක් අක්රිය වෙලා” කියලායි. ඒත් තමන්ගේ මිණියට කර ගහන්න හිටපු කුළුදුල් පුතා මේ තරම් අඩු වයසකින් මේ ලෝකේ හැර යාවි කියලා විමලාවතී හීනෙකින්වත් හිතුවේ නැහැ. එක අතකට මං නැති කාලෙක ඇඳක වැටිලා අසරණ වෙලා ඉන්නවට වඩා මේ වෙච්ච දේ හොඳයි කියලත් ඈට හිතුනා.
ලස්සන ට අත්දිග කමිසයක් ඇඳලා කළු ටයි පටිය සහ කළු කලිසමට ලොකු පුතා මොන තරම් හැඩද කියලා විමලාට හිතුනා. අන්තිම වතාවටත් ඒ මූණ අත ගාලා හිස සිම්බේ උපන් දා වාගේම ආදරෙන්. “මොන තරම් දුක් කරදර දුන්නත් මේ මගේ දරුවනේ දෙයියනේ! “ඈ හිතුවා. “රජෙක් වෙන්න පින් තිබ්බ මගේ කොලුවා “හිතන දේවල් තොල් මැතුරුවා මිසක් හඬ එළියට ආවේ නෑ. දස අතම කළු කරගෙන මහා වැස්සක් අතළග. විදුලි සෑයට ජිතේන්ද්ර ගේ සිරුර ඇතුළු කලා. අපිට මීට වඩා දුර අයියත් එක්ක යන්න බෑනේ අම්මේ.. අපි ගෙදර යමු. දවස් ගානක් තිස්සේ නිදිවැරුවට කුසට ආහාරයක් නැති කමට නෙවෙයි, විමලාවතීට මේ ජීවිතේ එක්කම හැප්පිලා හරි වෙහෙසයි. ඈ මොකුත් නොකියාම ලොක්කිගේ බහට අවනත වුණා. පාර දිගට සුදු කොඩි වැල් ඔහේ හුළගට සෙලවුණා. ඔන්න බබෝ ඇතින්නියා…. ගල් අරඹේ සිටින්නියා…. පුංචි නිල් පාට කොට්ටෙක කකුල් දෙකේ දාලා චූටි පුතෙක් නළවනවා විමලාවතීට එදා රෑ හීනෙන් පෙනුණා.
උපුටා ගැනීම: Chameedra Shiranthi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!