ක්‍රි .ව. 1707 සිට 1739 දක්වා මහනුවර රාජ්‍යයත්වයට පත්ව සිටි ඉතා කෙළිලොල් පාලකයෙක් ලෙස සැලකූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පිළිබඳවයි මේ දිගහැරුම. ඉතිහාසයේ ප්‍රසිද්ධ කාරණය වන්නේ මොහු සිංහල රාජවංශයේ අවසාන පාලකයා වූ බවයි.සිංහලයන් සතුව අඛණ්ඩව පැවති සිංහල රාජ උරුමය නායක්කාර් වංශිකයන්ට හිමි කළ, සිංහල රාජ වංශය අවසන් කළ රජු ලෙස චෝදනාවට පාත්‍ර වුණු පාලකයෙක් ලෙසටත් මොහුව හඳුන්වන්න පුළුවන්.නමුත් ඔහු වෙත එවැනි චෝදනාවක් එල්ල කිරීම කෙතරම් දුරට යුක්ති සහගත දැයි සිතා බැලිය යුතු ය.කෙසේ නමුත් අද වඩාත් ප්‍රචලිත අදහස ලෙස ඉතිහාසගත වී ඇත්තේ මොහු සිංහල රාජවංශයේ අවසන් රජු ලෙසටයි.

දෙවන විමලධර්මසූරිය රජුගේ පුතු වූ නරේන්ද්‍රසිංහ රජු සිහසුනට පත්වන්නේ වයස අවුරුදු 17 දීය. වසර 32 ක් රාජ්‍ය පාලනය ගෙන ගිය මොහු බොහෝ දෙනාගේ මතයට අනුව නැටුම්, සංගීතය, නාටක, කාව්‍ය ආදී කලාවන්ට ලැදි, සුරාවට හා ස්ත්‍රී ඇසුරට ලොල් වූ අයෙක්. උඩරට පාලනය කළ දුර්වලම රජු ලෙසත් සැලකෙන මොහු “සෙල්ලම් නිරිදු” ලෙස ජන කවියා විසින් හඳුන්වා තිබේ. ඔහුව දේශද්‍රෝහි රජෙක් ලෙසත් හඳුන්වන අතර එසේ හඳුන්වන්නට ඇත්තේ වසර දහස් ගණනක් පැවති ශ්‍රේෂ්ඨ සිංහල රාජ වංශය මොහු නිසා අවසන් වූ නිසා බැවින් යැයි සිතිය හැකියි.
නරේන්ද්‍රසිංහ රජු සරණ පාවාගනු ලබන්නේ නායක්කාර් වංශික අධිපතියෙකුගේ දියණියක් වූ උඩුමාලේ දේවියයි. මදුරාපුරයෙන් අග බිසවක ගෙන්වා සරණ පාවා ගැනීම රජ මාළිගයේ වඩුග බලය වර්ධනය වීමට පදනම සැකසුණු අතර එම තීරණය වඩුගයන්ට රාජ්‍යත්වය සඳහා බලපෑම් කිරීමට තරම් වර්ධනය වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. කෙසේ වුවත් මෙම අග බිසවට දරුවන් නොමැති වූ බැවින් දේශීය කාන්තාවක් සරණ පාවාගත් අතර ඇයටත් දරුඵල නොමැති විය. ඉන්පසු උඩුමාලේ දේවියගේ සහෝදරියන් දෙදෙනා ද සරණ පාවාගත් රජුට ඔවුන් දෙදෙනාගෙන් හෝ දරුවන් නොලද්දේ ය. සිහසුනට උරුමක්කාරයෙකු නොමැතිවීමෙන් රජු ඉතාමත් කලකිරීමෙන් වාසය කළ බැවින් රජුගේ හිතවත් අමාත්‍යයන් හා පුරෝහිතයන් ද කණස්සල්ලට පත්ව එයට පිළියමක් සෙවීමට කටයුතු කොට තිබේ.
එහිදී මේ රජු කුඩා කළ හැදී වැඩුණු කුරුකොහොගම වලව්වේ ඉතා රූපශ්‍රීයෙන් යුත් කුමාරිකාවක් සිටින බව දැන ඇයව රජුට සරණ කරදීමට රාජපුරුෂයන් සැලසුම් සකස් කර තිබේ. ඒ වන විට නරේන්ද්‍රසිංහ රජු වයෝවෘධව සිටි නමුත් මේ පුවත සැලවී වඩාත් සතුටට පත්ව ඇයව කැඳවාගෙන එන ලෙස අමාත්‍යවරුන්ට නියෝග කරන ලදී. රජුගේ නියෝගයෙන් කුමරිය කැඳවා ගෙන ඒමට රාජපුරුෂයන් හා අමාත්‍යවරුන් එම ප්‍රදේශය බලා ගමන් කළ නමුත් හීන් කුමාරි රජු වයෝවෘධ නිසා මෙයට අකමැතිව එයින් මිදීමට වලව්ව අසල ඇති කොස් ගසේ බෙනයක සැඟවුණු බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. නමුත් රාජපුරුෂයන් ඇයව සොයා ගැනීම නිසා ඇයට රාජපුරුෂයන් සමඟ රජ මාලිගයට යාමට සිදු වූ නමුත් ඇයගේ තිබූ දැඩි අකමැත්ත ඇයගේ ජීවිතය පවා ඇයට අහිමි කරන ලදී. එනම් උඩුදුම්බර ,මැද මහනුවර, දුම්බර ,මිටියාවත,සිරිමල් වත්ත යන ගම් ප්‍රදේශ පසු කොට කළු කෑල්ල නම් ගමට පිවිසෙත්ම ඇය තම දිව ඇද දිව හපා ගනිමින් දිවි තොරකර ගන්නා ලදී. මෙම සිදුවීම රජු ඉතාමත් කම්පාවට පත් කළ අතර ඇයගේ දේහය කළු කෑල්ල නම් ප්‍රදේශයේ ආදාහනය කරන ලදී. ශෝකයට පත් රජු ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇයව ආදාහනය කළ ස්ථානය ආසන්නයේ ඉතාමත් දර්ශනීය ගල් තලාවක බෝධි වෘක්ෂයක් රෝපණය කර පොකුණක් ද නිර්මාණය කොට තිබේ. අද වන විට මේ ස්ථානය බෝධි ගල් රජ මහා විහාරය ලෙස හඳුන්වනු ලබයි.
වයෝවෘධව සිටි රජතුමාට රජකම සඳහා කුමරෙකු නොසිටීමටත්, රාජ්‍ය බලය වෙනුවෙන් වඩුගයන් හා උඩරට සිංහල ප්‍රධානීන් අතර පැවති අරගලයත්, උඩරට බලය අල්ලා ගැනීමට මාන බලන ලන්දේසීන්ගේ ආක්‍රමණවලට මුහුණදීමත් ආදී ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි රජුට වඩුග බලපෑම්වලට එරෙහිව සිංහල ප්‍රධානීන්ගෙන් නිතර එල්ල වූ විරෝධතා ද මානසික වශයෙන් ඔහුව පීඩාවට පත් කරන ලදී. ඒ වන විට වඩුග බලය රජ මාළිගාවේ දැඩිව වර්ධනය වී පැවති නමුත් ඒ වන විට එයට එරෙහි වීමට රජුට ශක්තියක් නොවූයේ තම ඥාති පරපුරට පිටුපෑමට නොහැකි වීම නිසාය. විශේෂයෙන්ම රජුගේ කෙළිලොල් ජීවිතය මෙන්ම, රජු තමා සමීපව ඇසුරු කළ විදේශිකයන්ට සහ පූජකයන්ට රාජ්‍ය තනතුරු ලබාදීමෙන් ද, කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල මිෂනාරී කටයුතුවල යෙදීමට ඉඩහසර ලබාදීමෙන් ද, ජනතාව තුළ රජු කෙරෙහි නිර්මාණය වී තිබුණේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා රජු කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය වර්ධනය වෙමින් පැවති අතර රජුගේ සෞඛ්‍ය තත්ත්වය ද ක්‍රමයෙන් පිරිහෙමින් පැවති බැවින් රාජ්‍ය සම්බන්ධ වැදගත් තීරණ ගැනීම රජු තම අමාත්‍ය මණ්ඩලයට පවරා තිබිණි. කෙසේවුවත් රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ඔහුගේ අධික සුරාපානය ආදී චර්යාවන් හේතු වූ බවටයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. මෙවැනි වටපිටාවක රාජ්‍ය පාලනය ගෙන ගිය රජු සැබැවින්ම පීඩාකාරී ජීවිතයක් ගත කරන්නට ඇත.
රජු සිහසුනේ උරුමය පිළිබඳව නිතරම කනස්සල්ලෙන් පසුවී ඇති බවත් තමන්ට දාව දරුවන් නොසිටි බැවින් රජු යකඩ දෝලිය හෙවත් ගොවිකුල බිසෝවරුන්ට දාව උපත ලද මාම්පිටියේ බණ්ඩාර හෝ උනම්බුවේ බණ්ඩාර යන කුමරුන් දෙදෙනාට රජකම පැවරුවත් එයට බොහෝ රදල ප්‍රධානීන් මෙන්ම අග මෙහෙසිය විරුද්ධ වී තිබෙන බවයි පැවසෙන්නේ. රජුගේ වියපත්භාවය නිසා අනාගත රජකමට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමට සිදු වූ බැවින් රජු ඒ සඳහා තම අග බිසවගේ සහෝදරයෙකු වූ නායක්කාර් වංශික පුද්ගලයෙක් නම් කොට තිබේ. නමුත් ඉතිහාසඥයන්ගේ මතයට අනුව සඳහන් වන්නේ එය රාජ සභාවේ අනුමැතිය මත රාජ සභාව විසින් සිදු කරන ලද්දක් බවයි. එනම් සිහසුනේ උරුමක්කරු ලෙස හඟුරන්කෙත නැවතී සිටි හඟුරන්කෙත කුමාරය ලෙස ප්‍රකටව සිටි වඩුග කුමරු සුදුසු යැයි යෝජනාව රාජ සභාවෙන්ම පැමිණි බවයි කියවෙන්නේ. එයට අග බිසව කැමැත්ත පළ කළ හෙයින් රජුට එයට එරෙහිවීමට නොහැකි වී තිබේ. රජුගේ වියපත්භාවය ද එයට බලපාන්නට ඇති අතර ඒ වන විට රාජ අනුග්‍රහය ලබා සිටි වඩුගයන්ට විරුද්ධවීමට රජුට හැකියාවක් නොතිබෙන්නට ඇත. එකල රජ මාළිගාවේ බලය වර්ධනය කරගෙන සිටි වඩුගයන් කුමණ්ත්‍රණශීලීව කටයුතු කරන්නට ඇති අතර විශේෂයෙන්ම රජකම අග බිසවගේ සහෝදරයාට ලබා ගැනීමට අග බිසවට හිතවත්කම් දැක් වූ ඇතැම් උඩරට ප්‍රධානීන් ද සහාය දෙන්නට ඇති බව සිතිය හැකි ය. වඩුගයන් ආර්ථික වශයෙන් බලවත්ව සිටි බැවින් අග බිසව හා ඇයගේ ඥාතීන් ඇමතිවරුන්ට අල්ලස් දුන් බවට වන පුවතක් ද ඉතිහාසයේ තිබෙන නමුත් කෙසේ හෝ බහුතරයකගේ තීරණයකට එරෙහිවීමට තරම් රජුට ආත්ම ශක්තියක් නොවූ බැවින් කණස්සල්ලෙන් එම යෝජනාවට අත්සන් කළ බවයි ඉතිහාස ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ.
මෙම යෝජනාවට අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳව සිත් තැවුලෙන් සිටීමෙන් රජු රෝගාතුරව ඉක්මනින් මරණය කරා ළඟා වූ බව කියවේ. ඩී.පී.වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජනකතා නම් කෘතියට අනුව සඳහන් වන්නේ රජකම පැවරීමේ යෝජනාව සඳහන් තල්පතට රාජ ලාංඡනය තබා අත්සන් කළ රජු පසුව තම සිරියහන් ගබඩාවට වැදී “ අහෝ මගෙන් පසු වසර දෙදහස් පන්සිය ගණනක් සූර්ය වංශික සිංහල රජ දරුවන් අත බැබළුණු මිණි කිරුළ වඩුගයෙකුගේ හිස මතට යන්නේ ය.මේ නිසා අනාගත සිංහලයන්ගේ චෝදනාව මා වෙත පැටවෙන්නේ යැයි සිතමින් හැඩූ බවත්, එයින් ඇති වූ චිත්ත සන්තාපය රජුගේ රෝගය උත්සන්න කළ බවත් ය. එම ශෝකයෙන් රජු මෙතෙක් කල් ක්ෂත්‍රීයන්ගේ හිස මත බැබළුණු ඔටුන්න වඩුගයෙකුගේ හිසට යා නොදෙන බව සිතා තමාට හිතවත් රාජ පුරුෂයෙකු සමඟ මහවැලි ගං තෙරට ගොස් රාජකීය ඔටුන්න එහි ගැඹුරු වක්කලමක ගිල්වූ බවයි සඳහන් වන්නේ. ඒ අනුව සිංහල රාජාවලියේ අවසානය නරේන්ද්‍රසිංහ රජුට මහත් ශෝකයක් මෙන්ම පීඩාවක් ගෙන දුන් බව සිතිය හැකි ය. මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව රජු මරණයට පත් වූ අතර අග බිසවගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ ලෙස සිහසුනට පත් කිරීමට ඇමති මණ්ඩලය කටයුතු කරන ලදී. නමුත් රාජකීය ඔටුන්න නොමැතිවීම නිසා උත්සවයට පෙර හදිසියේ මැණික් ඔබ්බවා ඔටුන්නක් කළ බවයි පැවසෙන්නේ. නමුත් එය රජුගේ ඔටුන්න තරම් ගාම්භීර එකක් නොවූ බවයි බොහෝ අයගේ මතය. කෙසේ වුතත් සිංහල රජ පරපුරේ අවසානය මෙසේ සනිටුහන් වෙමින් වඩුග පාලනයක ආරම්භය සනිටුහන් වුණා.

නරේන්ද්‍රසිංහ රජු ඉතා කෙළිදෙලෙන් ගත කළ විනෝදකාමී පාලකයෙකු ලෙස සලකනු ලැබුවත් ඔහු සිදු කරන ලද යම් යම් නිර්මාණයන් පිළිබඳව මහාවංශය ආදී මූලාශ්‍රවල ඉතාමත් දුර්ලභ තොරතුරු හමුවේ. ඒ අනුව මහනුවර දළදා වහන්සේ වැඩ සිටින දෙමහල් දළදා මැදුර නිර්මාණය කළ අතර වාරි කර්මාන්ත රැසක් ද මොහු විසින් නිර්මාණය කර තිබේ. අක්කර විස්සක් පමණ ප්‍රදේශයක විහිද ගිය කුණ්ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජුගේ නිර්මාණයකි.රජුන් නිතර දිය නෑමට පැමිණි වැවක් ලෙසයි සඳහන් වන්නේ.එසේම දම්බර වැවට නුදුරු දඹවෙල වැව ද මොහුගේ නිර්මාණයක් ලෙසට සැලකෙන අතර දැනට විනාශ වෙමින් පවතින පිලවල් කොට්ට වැව ද මේ රජුගේ ම නිර්මාණයක් බවටයි සලකනු ලබන්නේ. කිරිමැටිය ප්‍රදේශයේ කරන අද කැණීම්වලට අනුව විශ්වාස කරනු ලබන්නේ ද එම ප්‍රදේශයේ මේ රජු විසින් ඉදිකරන ලද වැවක් තිබෙන්නට ඇති බවයි. බොහෝ මූලාශ්‍රවල තොරතුරු සොයා ගැනීම දුර්වල වුවත් නරේන්ද්‍රසිංහ රජු යම් යම් වැව් ඉදි කරන්නට ඇති බව විශ්වාස කළ හැකියි.
ලංකාවේ සිංහල රජ පරපුරේ අවසාන රජු ලෙස ඉතිහාස ගත වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සතුව පැවති දුර්වලතා කෙසේ වෙතත් ඔහු වඩුග පාලනයකට කැමැත්තෙන් නොසිටි බව සිතියි හැකි ය. කෙසේ වුවත් ශ්‍රේෂ්ඨ සිංහල රාජ නාමාවලිය අවසන් කළ රජු ලෙසත් , තම රාජකීය ඔටුන්න ගඟක ගිල්වූ එකම රජු ලෙසත් මොහුගේ නාමය ඉතිහාසගත වෙයි.
උපුටා ගැනීම: The Lanka Post
D. නිරාෂා දිලිණි නේරංජනා
B. A. in History