පාඩම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙටිකතාව
‘දුවේ, අබේපාල මාමගෙ ගෙදර වහල හෙවිලි කරන්න යනවා. මන් එනකම් දොර වහගෙන ඉන්න පුලුවන්ද? ‘
‘හා තාත්තේ’
තාත්තා ඉදිරිපස දොර වහගෙන පිටව යන සද්දය ඇසුණි.මන් කාමරයෙන් එලියට පැමිණියේ තාත්තා පිටව ගියාදැයි ස්ථිර කර ගැනීමටයි.
‘අක්කේ,කෙල්ල තනියම ගෙදර, පොඩ්ඩක් බලපන් හොදේ’
තාත්තා උඩහ ගෙදර නැන්දාට කියාගෙන අඩිපාර දිගේ යනවා පෙනුනි. මම විගස ස්මාර්ට් ෆෝන් එක ගතිමි. ලක්ෂාන් අයියා එවු කෙටි පණිවුඩ කියවන්නට පටන් ගතිමි.
‘සුදු, කෑවද?’
‘සුදු නංගි ඔයා මොකද තාම උත්තරයක් නැත්තෙ?’ඔයත් එක්ක කතා කරන්න ඕනෙ’
මගේ හිත ගැස්සෙන වේගය වැඩි වුනා. ‘මොකද්ද මන් කියන්නේ?’
හා කියමුද, තාත්තට ආරන්චි වුනොත් මොනව වෙයිද, මගේ හිතයි මොළයයි සංවාදයක නිරත වුනා.ලක්ෂාන් අයියා දවස් කිහිපයකට කලින් මට කැමති කීවත් මම කැමැත්තක් හෝ අකමැත්තක් පෙන්නුවෙ නෑ.මට වඩා වසර තුනක් වැඩිමල් ඔහුව මන් හදුනගත්තෙ මුහුනුපොතෙන්. මාසයක් පමන හදුනාගෙන කතා කරත් තාම ඔහුව හැබැහින් දැකලා තිබුනේ නෑ.
තාත්තා දවස් දෙකකට කලින් කියපු දේ නිතැතින්ම මගේ සිහියට නැගුනා.
‘පවිත්රා උඹ දැන් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා වැඩියි. සිරිපාල මුදලාලිගෙන් ණයකුත් ඉල්ලන් මන් ඕක ඇරන්දුන්නේ මේ දවස්වල පාඩම් වැඩ කරගන්න,හොදද?’
තාත්තා මට නම කියලා කතා කරන්නේ තරහා ගියපු වෙලාවට විතරයි. පරිප්පු හොද්ද ලිපේ තියලා ලක්ෂාන් අයියත් එක්ක චැට් එකක හිටපු මට හොද්ද රොස් වෙනවා තේරුනේ නෑ.
මන් මේ ක්ලාස් එකේ දුන්න ගාණක් හද හද හිටියෙ තාත්තෙ,’
උඹ ඉගෙනගනින් මන් මේ ඉඩම උගස් කරලා හරි උඹට උගන්නනවා, සුමනා ටීචර් කීවේ පන්තියෙන්ම දක්ෂ මගෙ කෙල්ල කියලා,
රොස් වුන හොද්ද ලිපෙන් බාන ගමන් එදා තාත්තා කීවා.
සාලේ තියෙන එකම පින්තූරෙ වුන අපේ පවුලේ ඡායාරූපය දෙස මට බැලුනා. අම්මා අපිව දාලා වෙන මිනිහෙක් එක්ක යනකොට මට අවුරුදු දහයයි. එදා තාත්තා හොදටම ඇඩුවා මතකයි. ඒත් ඊට පස්සෙ ඇඩුවෙවත් අම්මව මතක් කරෙත් නෑ.හෙට අනිද්දා ළමිස්සියක් වෙන්න කෙල්ලෙක් ඉද්දි ගිය එක ගැන ගමේ මිනිස්සු අම්මට බැන්නත් තාත්තා වචනයක්වත් කිවෙ නෑ.මන් තනියම ගෙදර දාලා යන්න බැරි නිසා ටව්න් එකේ කඩේ රස්සාවත් අතෑරලා ගමේ පොඩි පොඩි වැඩ කරන්න පටන් ගත්තා. මං ඉස්කෝලෙදි ලොකු ලමයෙක් වෙලා කියල ආරංචි උනාම තාත්තාගෙ ඇස් වල කදුලු තිබ්බා කියලා නැන්දා මට කිවා. නැන්දා මාව නාවපු දවසේ පුංචි ලස්සන කරාබු ජෝඩුවක් මට දෙනකොට තාත්තාගෙ අත්වල කරගැට මට දැනුනා.
‘පුතේ මට ඉන්නේ උඹ විතරයි. උඹ දැන් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. මේ සමාජෙ අපි හිතන තරම් හොද නෑ.ගෑනු ලමයෙක්ට
මේවා කියල දෙන්න අම්මා හිටියනම් හොදයි. හොදට ඉගෙනගෙන ලොකු නෝනෙක් වෙයන් මගෙ දුවේ, එච්චරයි මන් බලාපොරොත්තු වෙන්නෙ’
එදා හිතේ පතුලටම ගිය ඒ වචන මට නැවත මතක් වුනා.මාව ජීවිතේම කරගෙන ඉන්න තාත්තට හොරෙන් මේ කරන්නෙ වරද්දක් නේද කියල හිතුනා.
‘අයියෙ මන් දැන්ම සම්බන්දයක් පටන්ගන්න කැමති නෑ’ මම ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් පොතක් අතට ගත්තා.
 උපුටා ගැනීම: පියුමි හෙන්නායක.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!