මම මේක ලියන්න හිතුවේ ටික කාලෙක ඉදලා. මේක ඔයාලා කොහොම ගනිවිද කියන්න මම දන්නේ නෑ. හැබැයි මේ සීයට සීයක්ම ඇත්ත කතාවක්. මේ කතාවට කේන්ති නොගන්නවා නම් තමයි ගොඩාක් වටින්නේ.
මම පුංචි කාලේ, පංතියේ අකුරු ලස්සනට ලියන, චිත්ර ලස්සනට අදින ලමයි හුගාක් දෙනා අතරින් මම හිටියේ අන්තීම පහල මට්ටමේ. ඒ කාලේ මගේ අකුරු හරිම කැතයි. චිත්ර නම් මුකුත්ම බෑ. මැහුම් කියන්නේ මගේ කරුමයක් වෙලා තිබුනේ. මේ සේරම දේවල් වලට මට මුහුන දෙන්න වුනේ පංතියේ හිටිය බාලම ලමයාත් විදියට. මම පංතියේ වැඩ හොදින් කලත් මට මේ දේවල් නිසාම කිසිම පැසසුමක් තිබුනේ නෑ. හැමෝටම පෙනුනේ අකුරේ කැත තමයි.
හැබැයි මේ නිසා සැලුනේ නැති එකම කෙනා තමයි, (කෙනා කිව්වට දෙන්නා) අම්මයි තාත්තායි. එයාලා අඩු තරමේ ගුරුවරු මම ගැන එහෙම චෝදනාවක් කරන බව වත් මට කියලා තිබුනේ නෑ. එයාලා දෙන්නාටම ඕන වුනේ හොද ලමයෙක් විදියට මම සමාජ ගත වෙනවා දකින්නයි. පන්තියේ පලවෙනියාම වෙන්න, ශිශ්යත්වේ පාස් වෙන්න කියලා බල කරන්න තියා ඒවා ගැන මතක් කලේ වත් නෑ. කොටින්ම මම ඒවාට හැමෝම පන්ති යන අතරේ පන්ති ගියේ වත් නෑ. මම කියන්නේ වාඩි වෙලා පාඩම් කරන්න අදටත් හරිම අකමැති කෙනෙක්. මම හැමදාම ඉස්කොලේ (හෝ විශ්වවිද්යාලයේ දේශන වලට) ගිහින් ඒ කියන දෙයක් අහන් ඇවිල්ලා විභාග ලියන්න තමයි ආස. ඒ බව දන්න නිසාමයි අම්මලා මාව ශිශ්යත්වේ අවශ්යම කරන ඉස්කොලේකට දැම්මේ නැත්තේත් කියලා කියුවේ මේ ඊයේ පෙරේදා කතා කරන වෙලාවක.
මම කොයි තරම් අකුරු කැත ලමෙක් කියලා හංවඩු ගහලා තිබුනත් මට වයස හතක් වගේ කාලේ, මගේ පංතියේ හිටිය විශේෂ අවශ්යතා සහිත ලමයෙකුට මගේ විවේක කාලයත් කැප කරලා උදව් කරන්න හිත් දුන්නේ කවුරුත් මට බල කරලා නෙවෙයි. සමහරවිට මගේ අකුරු කැතයි කියලා කියපු දේ, මගේ ගෙදරින් මට කිව්වා නම් මම ඒ නිසාම මානසිකව වැටිලා, ඒ ලමයාට උදව් නොකර ඉන්නත් ඉඩ තිබුනා.
මේ මොනවා වුනත්, කිසිම බලකිරීමක් නැතුව නිදහසේ හැදුන මම, අවසානයේ, අර අකුරු ලස්සනට ලියුව ලමයි අසමත් වෙද්දී, ශිශ්යත්වේ පාස් වුනා, හත වසර විතර වෙද්දී මම පන්තියේ දැන්වීම් පුවරුවේ දැන්වීම් ලියන්න තරම් ලස්සන අකුරු තියෙන ලමෙක් වුනා, නවය වසර වගේ වෙද්දී, හුගාක් ලස්සනට මහන්න පුලුවන් කෙනෙක් වුනා. මේවා නෙවෙයි නියම වැඩ කියලා ඔයාලා කියන්න පුලුවන්. නමුත් මට ගුරුවරු දොස් කිව්වේ ඒවාටනේ. ගුරුවරු මට කරන්න බෑ කියලා හිතපු හැම එකකින්ම මම ජය ගත්තා.
මේ සේරම වුනේ මම කලබලයක් නැතුව, නිදහසේ මගේ හිතට ඕන විදියට වැඩ කරපු නිසා කියලා මම අදටත් විස්වාස කරනවා. මේකට මට කෙනෙක් චෝදනා කරන්න පුලුවන්, හැබැයි මම හිතන විදියට ලමෙක් ගොඩාක් මානසික පීඩනයට ලක් කලාම එයාට එයාගේ සම්පූර්ණ හැකියාවම එලියට දාන්න අපහසුවක් තියෙන බව මම ගුරුවරියක් විදියට වැඩ කරන කාලේ තේරුම් ගත්තා. ඒ නිසාම මම මගේ දෙමාපියන්ගේ ඉවසීමට අනේක වාරයක් පින් දුන්නා. මොකද මගේ විදිය එදා ඉවසුවේ නැත්තම් මම මේ වෙද්දී සියදිවි නසාගෙන තියෙන්නත් ඉඩ තිබුනා.
මම පිලි ගන්නවා අද කාලේත් එක්ක(මම එච්චර නාකි නෑ හොදේ), මගේ දෙමාපියන් කරපු දේ කරන්න අපහසු බව, විශේශයෙන් මම වගේ, කවදාවත් එකම අමතර පංතියකටවත් නොගිය ලමෙක් මේ කාලේ ඇත්තේත් නැතුව ඇති. හැබැයි ලමයාගේ පැත්තෙන් බැලුවොත් ඔයාලා හිතනවට වඩා වෙනස් දෙයක් අහන්න දකින්න ලැබෙයි. සමහරවිට, “අනේ ටීච මාව මේකෙන් බේරගන්න” එහෙම නැත්තම්, “අනේ ටීච මට මැරෙන්න හිතෙයි” කියලා ඔයාලට හොරෙන් ගුරුවරියට කියන දරුවෙක් ඔයාලගේ ගෙදර ඉන්න බව ඔයාලා දන්නේවත් නැතුව ඇති. දරුවෙකුට එහෙම හිතෙනවා නම් මට හිතෙන්නේ එයාගේ ගෙදර මොකක් හෝ වරදක් වෙලා තියෙනවා. ගෙදර කියන්නේ අපිට නිදහසේ ඉන්න පුලුවන් එකම තැන. එතන පීඩනයක් තියෙද්දී ඉස්සරහට යන්න ටිකක් අමාරුයි.
මම දන්න සමහර ලමයි මලගෙදරක,මගුල් ගෙදරක යන්නේවත් නෑ. සෙල්ලමක් කරන්න දන්නේත් නෑ. නිර්මාණශීලිත්වය අතින් ඉතාම පහල මට්ටමක ඉන්නේ. දන්නවා නම් දන්නේ ජංගම දුරකතනයේ මොනා හරි කරන්න තමයි. දවසම ටියුෂන් විතරක් යන යාන්ත්රික ලමයි වෙලා. එයාලා ගොඩාක් දෙනා තරග විභාගයේ ජය වෙනුවෙන්, එක ලකුනක වෙනසක් වෙනුවෙන්, තව කෙනෙකුව තලා පෙලා දාන්න දෙපාරක් හිතන්නේ නෑ.
මම මහා ලොකු තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. අනික මම මහා ලොකු දක්ශ ලමෙක් නෙවෙයි. කලින් කිව්වා වගේ හැමදාම දේශන වලට ගිහින් සීයට සීයක් සහභාගීත්වයට වාර්තාවක් වගේ තියපු කෙනෙක්. ඒ වගේම අම්මා කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා “ඔයා කවුද ඕවා කියන්න”, එහෙම නැත්තම්,”ඇයි ඔයා මහ ලොක්කෙක්ද?”, “අපිට එපා ඔයා වගේ ලමෙක්. ඒකයි අපි බල කරන්නේ” කියලා ඔයාලා මට කියන්න ඉඩ තියෙනවා. ඔව් ඒ ඔයාලගේ මතය. ඒත් මම ලමයින්ට හුගාක් සමීප ගුරුවරියක්. දරුවන්ගේ සිත් ගැන දන්න කෙනෙක්. අම්මා කෙනෙක් නොවුනත් දෙවනි අම්මෙක්. ඒ නිසා මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. තමන්ගේ දරුවාගේ දක්ශතා විස්වාස කරලා මග පෙන්වන එකයි, එයාලව පීඩනයට ලක් කරන එකයි අතරේ ලොකූ වෙනසක් තියෙනවා.
මම දැන් ඉන්න රටේ අය, ආසියාතික රටවල ලමයින් ගොඩාක් මානසික පීඩනයෙන් ඉන්න අය බව නිතරම කියනවා. මෙහෙ දරුවන් බොහෝ දෙනා නිදහසේ හැදෙනවා කියලා මට දැනෙනවා. මටත් ආසයි අපේ දරුවනුත් ඒ වගේ නිදහසක් අත් විදිනවා දකින්න. ඒ නිදහස දරුවන්ගේ මානසික සුවය වගේම නිර්මාණශීලිත්වය වර්ධනයට හුගාක් ලොකු රුකුලක් වෙනවා. ඒ වගේම යාන්ත්රික නොවන, එකිනෙකා පරදා දිනුම් කනුවට යන දරුවෙක් නොවී හැම කෙනෙක් සමගම සුහදව ඉදිරියට යන දරු කැලක් අපේ රටේ බිහිවෙයි. මම නම් ඒකට ගොඩාක් ආසයි.
උපුටා ගැනීම: ෂෙහානි කරුණානායක