පාන්දර ඉදන් හැන්දෑ වෙනකම්ම වැහැලා… වෙල් යාය බොර පාට වැවක් වගේ පේනවා. වෙල් යායෙ බොර වතුරෙන් ආඬි ඇලත් බොර වෙලා පල්ලෙහාට ගලනවා. ඇලේ වතුරෙන් මාඔයත් බොර වෙනවා ඇති. මාඔයේ වතුර වැඩි වෙන්නේ අරනායක රාස්සාව උඩහෙන්තැන්න අම්බලකන්ද දොලොස්බාගේ පැත්තට වහිනකොට. එක දවසක් මමත් ඔයේ මුල හොයාගෙන නාවලපිටියට ගියත්, මට එතනින් එහාට යන්න බැරි වෙනවා. නාවලපිටියේ ස්කෝල මහත්තයෙක් නම් කිව්වේ “මා ඔය පටන් ගන්නේ තලවාකැලෙන්” කියලා. “ඒ කියන්නේ, තලවාකැලේට වැස්සමත් අපේ ඔයෙත් මේ වතුර ගලනවා” තලවාකැලේ වැස්සට කොටුවෙලා ශීතලේ පංචස්කන්දම වෙව්ලද්දී නාවලපිටියේ ඉස්කෝලේ මහත්තයගේ කතාව මගේ මතකෙට එනවා. බොරවෙලා ගලනකොට මාඔයේ ඉන්න මාලුවෝ පෑදි වතුර හොයාගෙන ආඬිඇල දිගේ උඩහට එනවා. ආඬි ඇලෙන් අපේ වෙල් යායේ ඇලට එනවා. ඒකෙන් ඇවිත් පෑදි වතුර හොයාගෙන වෙල් වලට එනවා.
වෙල් යායට හාවෙලා තියෙන අපේ වත්තේ කෙළවරේ බාප්පගේ කඩේ තියෙන්නේ යායට කඩේ ඉස්සරහ පැත්ත හරවලා. කඩේට උඩ පැත්තේ අපේ ගෙදර ඉදන් මමත් කඩේ ළඟට එන්නේ වෙල් යායේ වැව බලන්න. එතකොට එතෙන්ට මාමලා බාප්පලා තව කොල්ලෝ ගොඩාක් එකතුවෙලා ඉන්නවා. ඒ කට්ටිය අතේ වැටහිර පොලු රීප්ප කඩු කිතුල් පොලු එහෙමත් තියාගෙන ඉන්නවා. “බලා හිටියට කමන්නෑ, උඹ එහෙම යනවා නෙවෙයි වෙලට” කියලා අපේ තාත්තා මට කියනවා. “තමුසේ ගෙදර ඉන්නව ඕයි”අයියත් තාත්තා වගේ මම හදන්න මට සැර දාගෙන එනවා. තාත්තා එහෙම කිව්වට… ටිකක් වෙලා ගියාම තාත්තත් වෙලට යනවා රීප්පයක් ඇරගෙන සරමත් කැහැපොට ගහගෙන. වෙල් යායේ වතුර බහිද්දී තමයි පෑදි වතුර හොයාගෙන මාඔයේ ඉඳන් ආඬි ඇල හරහා ඇවිත් ගමේ ඇලෙන් වෙලට ආව කට්ටිය පීනාගෙන යනවා පේන්නේ. උන්දැලා වතුර යටින් ගියාට වතුරේ උඩින් ඊතළ හැඩේට රැල්ල මතුවෙන තැන උලට පේනවා. ඒ රැල්ලේ ඉස්සරහම උල වගේ තැනට දෑත බෙදලා පොලු පාර දුන්නම වතුර පාර දෙබෑ වෙන්නේ වලගම්බා රාජෝත්තමයා මුහුදට යගදාවෙන් පතබෑවා වාගේ. වෙල් යායේ සැණකෙළිය ඕං පටන් ගත්තා.
“දීං”ගාලා සද්දේ එනවා. එතකොට කොක්කු වාගේ වේලි උඩ පොලු උලුක් කරගෙන හිටපු දීවරයෝ ටික “තක තොක” ගාලා වෙලට පැනලා මඩේ එරීගෙන ජබි ගගහ එතෙන්න දුවනවා. රැල්ලට ගහපු එකා බොර වතුරේ අතගාලා “ඔහෙ නෑ, ඌ ගියා…” කියනවා. වෙලට පැනපු එව්වො දුටු සැණින් ෂොට් එක දෙන්න කඩු පොලු රීප්ප කිතුල්පොලු කරේ තියාගෙන සූදානමින් බලාගෙන ඉන්නේ… මාර ගැම්මකිං. අයියා අතේ තියෙන්නේ කොසු මිටක්. එයත් රැල්ලට පතබාලා මඩේ අතගාලා, නැති තැන “ඌ පැන්නා” කියනවා. රැල්ලට රීප්පෙන් ගහපු දීවරයා දැන් ඉන්නේ පරාදේ බාර ඇරං දුකෙං. දකුණු වැලමිටේ වමතේ ඇඟිලි තියලා “මේං මෙච්චර ඇති අර පැනපු එකා” කියලා සෝකෙං වගේ කියනවා. “උඹ ඒකා දැක්කද ඔච්චර ඇති කියන්නේ” ඔලොක්කුවට වගේ කඩුව තියාගෙන ඉන්න දීවරයා අහනකොට අනික් දීවරයෝ හිනා වෙනවා. “උඹ දැක්කනං ඔහොම කියන්නෑ” පරාජිතයා කනස්සල්ලෙන් කියනවා. “කෑගන්න එපා යකෝ… තොපේ සද්දෙට ආපු එව්ං හැංගෙනවා” අපේ තාත්තා එහෙම කියාගෙන කට්ටිය නැති තැනක වක්කඩක් ළගට වෙලා කොකෙක් වගේ හිටගන්නවා. මමත් එතකොට වෙලෙන් වේල්ලකට ගොඩවෙලා අතේ තිබ්බ පොල්ල වේල්ලේ තාත්තට නොපෙනෙන පැත්තට හැංගෙන්න වගේ දාලා අත් දෙක බැඳගෙන හොඳ ළමයෙක් වෙනවා. ඒත්… කවුරු හරි රැල්ලකට පතබාපු සැණින් මාත් මඩට පනින්නේ හංගපු පොල්ලත් අරං.
වක්කඩේට ගෝණියක් ගහගෙන ඉදලා මාලුවෙක් අල්ලපු මාමා පින්න කෝටුවක් කඩාගෙන මාලුවගේ කරමලෙං ගහලා කටින් ගන්නවා. ටිකක් වෙලා ගියාම මාලුවා මැරෙනවා. මැරුන එකා උස්ස උස්සා හැමෝම බලනවා. “දෙසිය පනහක්, තින්සීයක් තියෙයි….” උස්සලා බලන කට්ටිය බර කියනවා. පෑදි වතුර හොයාගෙන ආව උන්දලට හම්බෙයි රෑ වෙද්දී පෑදි වතුර.
යායට කරුවල ඇවිත්. හෝහපුටුවෝ කාලා හැමෝම කහගන්නවා පේනවා. එක්කෙනා දෙන්නා උස්සගෙන ආව අවි ආව්දත් අරගෙන අතුරු දහන් වෙලා යනවා. ඉතුරු වෙලා ඉන්න කාගෙ කාගෙ අතෙත් කෝටුවේ අමුණගෙන මාලු වැලක් තියෙනවා. උන් රිදී පාටි දිලිසෙන කොරපොතු තියෙන මාලු ජාතියක්. පෙතියෝ කියයි හුන්නෝ කියයි කොරලි කියයි… මම නං හැම එකාටම කීව්වේ මාලුවෝ කියලා. සැණකෙළිය නැගලා යනවා.
වක්කඩේ දීවරයා පලමු ස්තානය ගන්නවා. උන්නැහේ කයිවාරු ගහන්නේ නියම නුවනක්කාරයා වාගේ. තාත්තා ඉන්න පැත්තෙන් දීං දීං සද්ද ඇහෙනවා. ඒ උනාට මං යන්නේ නෑ ඒ පව් වැඩ වලට. මං හොද ළමයෙක් වෙලානේ වේල්ලට ගොඩ වෙලා අත්දෙක බැදගෙන හදිස්සියේ හරි රැල්ලක් දැක්කොත් ගහන්න වැටහිර පොල්ල හංගා ගත්තේ. තාත්තාගේ පොලු පාරිං දඟලන රිදීපාට එකෙක් මඩේ හිරවෙලා ඉදලා ඇදලා ගන්නවා. මං එතකොට නං පොඩිසිඤ්ඤොමරං කෝටුවකුත් කඩාගෙන එතෙන්න දුවනවා. තාත්තා මාලුවා කෝටුවේ උල ගහලා “වට්ටන්ට එපා, පනී” කියලා මට දෙනවා. ඊට පස්සේ මං වේල්ල දිගේ කොල්ලෝ ඉන්න පැත්තට රාජ කුමාරයෙක් වාගේ එනවා. කොල්ලෝ මාලුවා අතගාලා බලනවා…. බර බලනවා… තව පණ තියෙනවද බලනවා. එතනත් උප සැණකෙළියක් වෙනවා.
එදා රෑට අපේ ගමේ ගෙවල් බොහෝමෙක පෑදි වතුරේ මිරිදිය මාලු ඉදෙන සුවද දැනෙන්න ගන්නවා. අපේ ගෙදරත් දැනෙනවා. අම්මා වට්ටියට බත් දාලා නිවෙන්න හැදි මිටෙන් කූරු ගානවා. ඊට පස්සේ පිගං වලට. මාලු කෑලි පිගන් වලට සාධාරණව බෙදෙනවා. ඒත් තාත්තගේ පිඟානට මාලු නෑ. තාත්තා මාලු කන්නේ නෑ කවදාවත්. “එතකොට අම්මේ තාත්තා මාලු ගහන්ට වෙලට ගියේ” මං අහනවා. “ඒ තමයි තාත්තගේ හැටි” කිරි අම්මා එදා කියපු කතාව… මට තේරුන්නේ මාත් තාත්තෙක් උනාට පස්සේ.
රවින්ද්ර ගලේවෙල.
2021 11 02
පින්තූරය අන්තර් ජාලයෙන්. මුල් අයිතියට ස්තුතිය.
උපුටා ගැනීම: Ravindra Galewela