මගෙ පහ වසරේ පංති භාර ගුරුතුමා ගෙ නම පියසේන . ඔහු ජාතික ඇදුම් අදින බුලත් විට හැලපීමට තදින්ම ඇබ්බැහි වුවෙකි. වරදක් දුටු විට වෙවැලෙන් පහර දෙන මොහු දිනපතාම නොවැරැදීම පාසැලට එන ගුරුතුමෙකි.
වර්ෂ 1969 වර්ෂය මිනිසා සද තරණය කල වසර බැවින් මට ඒ ගැන තිබූණෙ පුදුම උනන්දුවක්. එයට අදාල තොරතුරු සියල්ල ගුවන් විදුලියෙන් මෙන් ම දිනපතා අපෙ ගෙදර ට ගෙනෙන දිනමිණ පත්තරෙන් මම මං උරා ගත්තා.සියලුම අජටාකාශ ගාමීන්, යානා තොරතුරු මට කට පාඩම්. පංතියේ දී ඒ ගැන යමක් දැනගන්න ඕනි වුවහොත් ගුරුතුමා මගෙන් තමයි.ගාමිණී අද හදට ගොඩ බැහැපු වෙලා ව කීයද? “උදෙ 8යි46ටනෙ මහත්තයා ,”මම පැනල දෙනවා
. පියසේන මහතා ඉගැන්වූ පංතිය දෙමහල් ගොඩනැගිල්ලෙ ඉහල මහලෙ කෙලවර පිහිටා තිබුණි. තදින්ම බුලත් හපන් පියසේන මහතා පංතියේ කවුළුවට උඩින් බුලත් කෙල පාර යවන්නේ තම දකුණෙ මැද ඇඟිල්ල හා දබරැගිල්ල තොල් දෙක අතර පොඩි හිදැස් සිටින සෙ තෙරපාගෙනය. එම කුඩා සිදුරු තුලින් පීඩනයෙන් මුදාහරිනු රතුපාට බුලත් කෙල ඈතට විහිදී යන්නේ ඊ තලයක් පරිද්දෙනි. ඔහු උගන්වන විට සමහර වාක්ය යක් අතර මගින් නතර කර බුලත් කෙල විද පැමිණ ඉතිරි කොටස සම්පුර්ණ කරන අයුරු මට හොදින් මතකයි. හුණු කැටය ගෙන කළු ලෑල්ල අසලට ගොස් තම දකුණු අතේ දිගට ඇති කමිස අත වම් අතින් පහළට ඇද ලිවීමට පටන් ගනී.පන්තියට අදාල විෂයන්ගෙන් ඉංග්රිසි හැර අනිත් සැම දෙයම ඔහු අපට ඉගැන්වූ වා.
කෘෂිකර්ම පාඩම් වෙලාවට පිරිමි ළමයි එලවළු පාත්ති වලට සාත්තු කරන අතර ගැහැණු ළමයි මැහුම් ගුරූවරියක් වෙත යොමු විය. මගෙ පාත්තියේ තිබුණ මිරිස් පැල වලට කැප්පෙටියා කොළ හා වියලි ගොම දමා සරුවට වැඩුනි. එහි පලමු අස්වැන්න නෙළූ පසු මට තිබුණේ පුදුම සතුටක්. ගාමිණී ඔය මිරිස් ටික අපි නමොවිත්තියෙන්ම පන්සලට දෙමු. මට දෙන්න මම ගිහින් දෙන්නම් කිව් ගුරුතුමා ට මම එය සතුටින් දුන්නා.. පසුවදා ගුරුතුමා ගෙ නිවස පැත්තේ සිට එන මගෙ පංතියේ මිතුරා සුමතිපාල කිව්වේ ගාමිණී ඔයාගේ මිරිස් ටික පියසේන මහතා ගේ කඩෙ විකිණීමට තිබූ බවයි.
පංති භාර ගුරුතුමා භාර දෙන ගෙදර වැඩ අනිවාර්යයෙන්ම කරගෙන ආයුතුයි. නැතිනම් වෙවැල් පහර ස්ථිරය.එක් දිනයක් රෑල් නැති පොතෙහි ලංකාවේ සිතියමක් ඇදගෙන එන්න කිව්වත් මට එය අමතක විය. පාඩම් පටන් ගන්න පොත් එලියට ගන්න විට මට තරු පෙනූනෙ වැඩෙ අමතක වූ බැවිනි. පොත දිගහැර බලන විට කලින් පිටුවේ ඇද තිබූ ලංකාවේ සිතියමෙ පිට වටය ඊ ලග පිටුවට කා වැදී තිබුණි. මට ගණදෙවි නුවණක් පෑදුනි. මම වහාම පැන්සලෙන් එම පිට වටය මත ඇද ලංකාවේ සිතියමක් මොහොතකින් නිම කළෙමි.
අවුලකට ඇත්තේ කොළඹ පැත්තේ මඩකලපුව තිබීමත් මඩකලපුව පැත්තේ කොළඹ පිහිටා තිබීමත් පමණි. යාපනයේ කට බංග්ලාදේශ ය පැත්තට ඇරගෙන ඉන්නේ පැත්ත මාරු වීම ගැන ලැජ්ජා වෙන් වගේ ය.වෙවැලද රුගෙන එකිනෙකා ගේ පොත් පරීක්ෂා කරන පියසේන මහතාට මම තද හුස්මක් රුගෙන පොත් දික් කලෙමි.” ආහ් මෙන්න බලාපල්ලා විප්ලව කාරයෙක්” ඔහුගේ දෑස් විශාල විය. වරෙං වරෙං ඔහු මාව පංතියේ ඉදිරියට ගෙන ගොස් පස්ස පැත්තට වෙවැලට කී විටක්ම තදින් කථා කිරීමට ඉඩ හැරියේ “පහ වසරේ දි ලංකා ව අනික් පැත්තට හරවපු උඹ ලොකු වෙන කොට මොනවා කරයිද දන්නේ නෑ” කියමිනි.
උපුටා ගැනීම: Halpege Gamini Susil