පහේ පංතියේ ටීච කෙනෙක්ගේ දවල් කෑම වේල (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එයා උගන්වන්නේ ඈත ඉස්කෝලෙක. ඉස්කොලේ මොකද්ද කියල ලියන්න ඕනි නෑ. පහේ පන්තියට විතරක් පංති තියන ළමයි එකසිය විස්සක් විතර තියන කණිෂ්ඨයක්. උදේ නැගිටින්නේ තුන හමාරට. බස් එකට නගින්නේ 05.00 ට. ඉස්කොලේට යනකොට හරියටම 07.30 ට. උගන්වන්නේ පහේ පංතියට. පංතියේ ළමයි විසිඅටයි. ළමයි හතරදෙනෙකුට අම්මා තාත්ත දෙන්නම නෑ. එක්කෝ මියගිහින් නැත්නම් දාලා ගිහින්. හිතාගන්න බැරි තරම් සමාජ ප්රශ්න වලින් බැට කන ළමයි. අම්ම තාත්ත දෙන්නම ඉන්නේ ළමයි දහතුන් දෙනෙකුට විතරයි. සතියේ දවස් පහම පාසැලේ උගන්වන වෙලාවට අමතරව තුන හමාර වෙනකං අමතරව උගන්වනවා. හේතුව අවුරුද්දක් පුරාවට මගහැරුණු පාඩම්. තව ශිෂ්යත්වය පන්තිය. කොරෝනා කාළයේ ඒ ළමයින්ට ඉගෙනගන්න ඔන්ලයින් ක්රම කොහෙන්ද? එතකොටම මට මේ කවිය මතක් උනා. ඔන්ලයින් සමයේ කොම්පියුටර් සිහිනය, කවියේ මාතෘකාව. මෙන්න කවිය..
ඔන්ලයින් සමයේ කොම්පියුටර් සිහිනය
උගන්වන්නේ සයිබරෙන් දැන්
ඉන්ටර්නෙට් වලිනුයි කියා
භානුලගේ අම්මා ඇවිල්ලා
පණිවිඩේ කියලා ගියා
උන්ට කොම්පියුටර් තියනවා
කොපි පොතට ගන්නම් ලියා
ජනේලෙන් එබිලා බලන්නම්
දුර ඉඳන් ගෙතුළට නොයා..
අපේ ටීචර් කිව්වේ නැත්තම්
මං එවන් නෑ දන්නවා..
දෙන ගෙදර වැඩ ෆොටෝ ගහලා
භානු වට්ස් අප් කරනවා..
ඔන්ලයින් පංතිය නොවේ නම්
ගණන් ඔක්කොම හදනවා..
ආයේ කොරෝනා එන්න කලියෙන්
මමත් ඕකක් ගන්නවා….
එයා ගෙදර එනකොට හැමදාමත් හැන්දෑවේ හත කිට්ටු වෙනවා. එයාගේ සිරිත හැමදාම කෑම දෙකක් අර⁣⁣ගෙන යන එක. මම වචනෙට කියන්නෙ පලවෙනි බත් එක දෙවෙනි බත් එක කියා. පලවෙනි බත් එක ඉස්කොලේදි ඉන්ටවල් එකේ කනවා. දෙවෙනි බත් එක එක හමාරට හවස පංතියට කලින්. එදා මට ඇමතුමක් එනවා. මමති ටිකක් දුර පළාතක ගිහින් වැඩකට. වෙලාව තුන හමාරයි. බස් එකට නගින වෙලාව.
මට තේරුණා එයා මොනවහරි කනවා කියලා.
” මොනවද කන්නේ “
” බඩගින්නක් ආවා.. බඩඉරිඟු ගත්තා “
“ඇයි දෙවැනි බත් එක කෑවෙ නැද්ද???”
එයා අමුතු විදිහට හිනාවුනා.
” ළමයි තුන් දෙනෙකුට හවස පංතියට කෑම ⁣ගෙනත් නෑ , පොඩි උන් බඩගින්නෙ ඉ⁣ගෙන ගන්නේ කො⁣හොමද ? මම ඒක ඒ ළමයින්ට කන්න දුන්නා..”
” උදේ පලවෙනි බත් ඒක, කෑව නේද? “
” එක ළමයෙක් උදේ කෑම ගෙනත් තිබ්බේ නෑ. මම ඒක ඒ ළමයට දීලා යාලුව⁣ගෙ කෑම එකෙන් බත් කටක් කෑවා”
“ඕක කාලා අැද්ද ? “
“වේලකට බඩඉරිඟු කරලක් වත් නැති ළමයි තවම ලංකාවේ ඉන්නවා”
” බස් එක එනවා , මම තියනවා ” එයා ජංගමය විසන්ධි කළා. ඒත් එක්කම බඩඉරිඟු කඩයක් හමුවුනා. මම වාහනේ නවත්තල ඇස් වලට පිරුණු කදුළු ටික වහ⁣ගෙන බඩඉරිඟු කරලක් ගත්තා. ඒ බඩඉරිඟු කරලට වෙනදා ඒවට වඩා ලුණු දාලා තිබුණ.
මේ එක ගුරුවරියක් විතරයි. හිමිදිරියේ නැගිටලා බස්වල නැගලා ,දහසකුත් ගැටලු ඉවසගෙන දුරම දුර පාසැල්වලට ගිහින් ළමයි වෙනුවෙන් ඇත්තටම වැඩ කරන ගුරුවරියන් තව දහස් ගණනක් ඉන්නවා. මට මතක් වුනේ සුහර්ෂණී ධර්මරත්න කිවිදිය ලියපු අලුත් ගුරුතුමිය වෙත පරණ ළමෝ මෙසේ කීහ කියන කවිය. ඇයත් ගුරුවරියක් තවමත් දුෂ්කරම පාසැලක දරුවන් වෙනුවෙන් කැපවෙන.
අලුත් ගුරුතුමිය වෙත පරණ ළමෝ මෙසේ කීහ..
සාරි පොටේ මල් විසිරී පාර පුරා මල් පීදෙන..
සති අන්තය ගෙවී ගිහින් පංතියෙ සුදු සිනා පිපෙන..
නම්පොත ගෙන බිංදු දමන, අමනාපෙන් ඇස් රතු වෙන..
අලුත් ගුරුතුමී ඇවිදින් අලුත් පාඩමක් කියන්න…
මීට පෙරත් මල් පිපුණයි අවාරයේ මේ බැද්දට..
හිතේ දහිරියත් ⁣බො⁣හොමයි, අව්වේ ගෝමර දැවුනට..
පුංචි අපෙත් ඇස් තෙමලා සිදාදියෙන් ආ ලියුමට..
ඈ ගියදා පරවුණ මල් පිපුණේ ඔබ ආ අරුමෙට..
ඔය තරවටු රිදුම් දේද කරගැට මල් පිපුණු අතට..
නුඹේම සුදු ඇගිලි නේද රිදුණෙත් වේවැල් පාරට..
හෝඩි පොතේ මල් පරවී අකුරු මතක නැති වෙන කොට..
පාසැල් වැට පැන ආවේ ආයෙත් ආයනු කියන්ට….
හිමිදිරියේ පාන්දර ඉදන් සැතපුම් ගණන් ගාටලා ඈත දුෂ්කර පාසැල් වල දරුවන්ට ගුරුවරියන්ට උපහාරක්ම වේවා. මේ මට ජීවිතේ කන්න ලැබුන රසම බඩඉරිඟු කරල වෙන්න ඇති කියලා මට හිතුණා.
උපුටා ගැනීම:  මිගාර බමුණුසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!