Hampton Park වල ලංකාවෙ කඩේ ඉස්සරහා තිබුණු අන්තිම කාර් පර්ක් දෙකෙන් එකකට මගෙ කාර් එක දාල බත් එකක් ගන්න කියල ඔන්න මම ඇතුලට දිව්ව. අද උදේ එක පාරටම මහා වැස්සක් වැටුනා අයිස් එක්කම. බාගෙට මේකප් දියවුනු සිංහල නංගිල කීපදෙනෙක්, බත තම්ම්බල අපේ එක්කෙනාලට දෙන්න කරත්තෙන් එකක් බඩු අරගෙන. පෝලිමේ හතර දෙනයි. කැශියර් එකේ හෙම්බත් වෙලා ඉන්න ස්ටුඩෙන්ට් නංගිට, පලවෙනි ලොක්කි සිංහලයි ඉංග්රීසියි අතර භාශාවකින් කිතුල් හකුරු පැකට් එකක් පෙන්න පෙන්න මොනවදෝ කියනවා.
මෙහ එන අපේ කොල්ලො හැබැයි රැයක් දවාලක් නැතිව වැඩ. මේ නංගිලාට ලස්සන ගෙවල් අරන් දීල , කොණ්ඩා ටික ස්ට්රේට් කොරෝල කම්මුල් වලට පාට ගාල තියන්න එපායැ ඉතින්. ඒ්කෙ වරදක් නැහැ ඔන්න. කාටද ආඩම්බර ආහ්!! ඒත් උංගෙ මිනිස්සු එපෑයැ බිල් ගෙවන්න. ඕවට හරි වියදං. (කොණ්ඩ ස්ට්රේට් කරන කඩක් කරලම අපේ නංගි Dandenong වලින් තට්ටු දෙකේ ගේකුත් ගත්තෙ.) කොල්ලොටිකනං මොනාද කාපු රිලව් වගේ වැඩම කර කර ඉන්නවා. උංගෙ කොණ්ඩෙ කපන්නෙ මේ නංගිලා ගෙදරම. ක්ලිපර් එකෙන්. නම්බර් වන්. ඇත්තටම ලංකාවේ ගෑනුන්ට ඕස්ට්රේලියාව කියාපු තැන. සමාජ දෙකේම තියෙන මුන්ට වාසි පැති මෙහෙ එන අපේ අම්මණ්ඩිලා ලස්සනට පරිහරණයට අරං . සුද්දියන්ට නැති අන්දමේ සැප.
මමත් ඉතිං මගෙ බත් එක එනකං කඩේ වීදුරුවෙන් ඕස්ට්රේලියාවට වහින හැටි බලාගෙන උන්නා . එහෙම ඉද්දි ඔන්න එනවා දිලිසි දිලිසි අලුත්ම අලුත් පැජරෝ එකක්. කව්ද බොල සීට්එකට උසත් නැතිව නහයෙන් බල බල බොහොම පරිස්සමින් මේක එලෝන ලඳ කියල මාත් ඉතින් බැලුවා.
යකෝ මේ දිල්රුස්සිනෙ.
මම ලංකාවේ ඉඳං දන්න එකියක්. දිල්රුස්සි හොඳ එකී. හැබැයි ඉතින් කොබෙයිගනේ ඉද්දි තමයි කටේ සීලිමේ මුලු දිවම ලෝබ නැතිව වද්දෝල, පටස් ගාල “දිල්රුස්සි” කිව්වෙ . පිස්සු හැදෙයි දැන් එහෙම “දිල්රුස්සි” කියනවා ඇහුණොත්. දැන් ඩිල්රොක්ශේ. (ටිකක් දිව කරකෝල අදින්න ඕන.)
මේ හෙන ගහන්නැහේ ලොකු වාහනේ ලේසියෙන් ගහන්න පාර්ක් එකක් නැහැ. මගෙ කාර් එක ලඟ ඇදේට ගහල තියෙන්නෙ මේ පෝලිමේ ඉන්න අනික් නිංගිකෙනෙකුගෙ ප්රාඩෝ එක. දිල්රුස්සි පට්ට ට්රයි එකක් දුන්නා . ඒත් අසාර්ථකයි .
“ඉතිං කෙල්ලෙ මොකක් හරි හොඳ පොඩි කාර් එකක් ගත්තනං උඹට ලේසියිනෙ බං” මට නිකමට කියවුනි. කුමාරනං කට කැඩෙනකං කියන්න ඇති ඕක ඔයාට හරියන්නෙ නැහැ කියල. දිල්රුස්සිට ඕන එක ගන්න බැරි උනොත් කුමාරයට මගෙ තැනට තමයි නිදාගන්න එන්න වෙන්නෙ. කුමාරගෙ අම්මයි තාත්තායි ලංකාවේන් ආවෙ මාස තුනක් වීසා හම්බුනා කියල. ඒත් මාසෙන් යන්නවුනු හැටි කුමාරට මතක ඇතිනෙ. අපි කිව්වට බැහැ . කෙනෙක් යම් දෙයක් මහන්සියෙන් ගද්දි ඒ තේරීම් පිටිපස්සෙ අපි නොහිතන ගුප්ත හේතු තියෙනවා . ඒව තේරුම් ගන්න නම් දිල්රුස්සි කොබෙයිගනේ ඉන්න කාලෙට අපි යන්න ඕන .
ඉස්සර දිල්රුස්සි සමූපකාරෙ වැඩට යන්නෙ වෑ කන්ද දිගේ. කලු උනාට දිල්රුස්සි හරිම සිරියාවන්තයි. වැවේ වතුර සුළඟට සෙලවෙද්දි ඉර අවුවට දිලිසෙන්නෙ දිල්රුස්සිගෙ හිනාව වගේ. ඒ තමයි ඒ පලාතෙම ලොකු වැව. කවදාවත් හිඳෙන්නෙ නැති මේ වැවේ හරි මැද උල්පතක් තියෙනවාලු. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්දෙට යද්දි කඩොල් ඇතාගෙ පිටෙන් බැහැල කඩුව බිම ඇන්නෙ මෙතනලු. ඒ ඇන්න පාරට මතුවුණු උල්පත තමයිලු ඔය තාම තියෙන්නෙ. (බාබකිව් එකකට ගිය වෙලේ දිල්රුස්සිම තමයි මේ ලඟදි මට ඕක කිව්වෙ.) ඕන රස්නෙ දවසක උනත් වතුර සීතයි. ඉතින් මේ වැවට නාන්න නානාවිද ඇත්තො එනවා. ඇමතිතුමයි එයාගෙ කොළඹ යාලුවොයි ප්රාඩෝවලයි පැජරෝ වලයි සුදුම සුදු කොළඹ නෝනලත් දාගෙ නාන්න එන්නෙත් මේ වැවට තමයි . අපේ ආත්මයේ කෙටෙන්න යමක් හිතට වදින්නේ හොඳටම රස්නෙ මද්දහනක දූවිලි කකා ඇවිදං යද්දිලු. දිල්රුස්සිගෙත් හිතට කෙටුනෙ දවසක්, සිද්ධියක් තියෙනවා. ඒ ඉස්සර දවසක එළදෙනයි පැටියයි වෙලට දක්කගෙන ගිය ගිනි මද්දහනක. දූවිලි විතරයි අඩු. එදත් ඇමතිතුමයි කොළඹ ඇත්තොයි ඔය කියන වාහනවල වීදුරු වහගෙන දිල්රුස්සි ඇවිදගෙන ගිය පාරෙ දූවිලි අවුස්සගෙන ගියෙ දිල්රුස්සිගෙ වැස්සියි පැටියයි හොඳටම කුලප්පු කරගෙන. දිල්රුස්සිගෙ වැස්සි පමනක් නොව වසන්තයාගෙ මීහරක් පට්ටියත් කුලප්පු විය. වසන්තයා නියෙරෙ වැටි වැටි මී හරක් පස්සෙ දුවන අතර , “අනේ මම උන් ඉස්සරහා කොච්චර පුංචිද උනාද” කියල දිල්රුස්සිගෙ අහිංසක හිතට වැදුනෙ වැස්සි දුවද්දී කඹේ පැටලිලා පොඩිසිංඥොමරන් ගාලක වැටිල ඉද්දි . ඒ උනත් පුදුමාකාර ලෙස දිල්රුස්සිට කොළඹින් ආ උන් ගැන ඇති උනේ බිය සමග කලවන් වුනු ගරුත්වයක්. තරහක් නෙමෙයි . දිල්රුස්සි කොහොම තරහක් ඇතිකරගන්නද දිල්රුස්සිගෙ ලෝකෙට හුඟාක් උඩින් යන මේ පිරිස සමග? ඒ වාහන හදල තියෙන්නෙත් හරියට “මේක එලෝන උත්තමයාට ගරුබුහුමන් කරපියව්, මේව නැති තොපි මේ කටු කටු ටයර් එකේ වදින දූවිල්ලකටවත් වටින්නේ නැහැ ” කියනවා වගේනෙ. උන් මහා හයියෙන් යද්දි හොඳට අහපල්ලා , ඒ ටයර් වලින් එන්නෙ “අපි ප්රභූ අපි ප්රභූ” කියල ශබ්දයක්.
ලංකාවේ අතමිට නැති උංගෙයි අතමිට ඇති උංගෙයි පරතරය හරිම විශාලයි . හැමෝම පොරකන්නෙ ඒ ඉහල පැලැන්තියට පැන ගන්න. වාහනයක් ගන්නේ ගමනක් යන්නම විතරක් නෙමෙයි . අනික් උන්ට කියන්න “උඔ දැන් මට පරාදයි” කියල. හොඳට බන දේශනා කරන ස්වාමීන්වහන්සේ නමක්වත් දැන් ලෑන්මාස්ටරේක වඩින්නෙ නැහැ නෙ ඉතින්. වඩින්නෙ මොකේද? දිල්රුස්සි ගැන කුමණ කතාද!! ඉතින් කුමාර අලුත්ම අලුත් පැජරෝ එකක් දිල්රුස්සිට අරන් දීල කට වහගෙන.
දිල්රුස්සි තව කීප වතාවක් උත්සාහකර concrete gutter එකටත් උඩින් තනකොල තියෙන හරියට පැජරෝ එක ඇරියෙ දුටුගැමුණු රජ්ජුරුවෝ කඩොල් ඇතා පිටේ යුද්දෙට ගියා වගේ. ඉතින් මම දිව්ව කෙල්ලට උදව්වෙන්න. “පුතාලව Cumon class එකෙන් ගන්නත් දැං පරක්කුයි අයියෙ පස්සෙ වෙලාවකම ආයෙ එන්නං තුනපහ කුඩු ටික ගන්න” කියමින් දිල්රුස්සි ගියාය.
“Nice car !!!!” මම යන දිල්රුස්සිට කෑ ගැසුවෙමි.
“Thanks Buddie” දිල්රුස්සි පැජරෝවෙන් එලියට අත දමා වනමින් කීවාය.
උපුටා ගැනීම : Mahie Ranga Perera