බලමු මේ අත්දැකීම තියෙනවා ද කියලා…
මේ සිදුවීම වුනේ සාමාන්ය පෙල කරලා , උසස් පෙල කරනකම් ගෙදර ඉන්න කාලේ.
දැන් වගේ නෙවෙයි, ඒ කාලයේ ඉස්කෝලෙ සාමාන්ය පෙල දක්වාම ඇන්දේ කොට කලිසම්. දිග කලිසම් අඳින්න ඉඩ දුන්නේ උසස් පෙල ළමයින්ට විතරයි. අතිශය පෞද්ගලික ගමන් සඳහා පමණයි සමහර පිරිමි ළමයි දිග කලිසම් ඇන්දේ. මට නම් එහෙම විශේෂ ගමන් තිබුනෙත් නෑ. තිබුනත් ඉතින් ඉස්කෝලෙ අඳින, කොට කලිසම විතරයි.
ඇත්තටම සාමාන්ය පෙල පාස් වෙනකල්ම දිග කලිසමක් තිබුනේ නෑ කියනකොට විශ්වාස කරන්න. ඉස්කෝලෙ උසස් පෙල පටන් ගන්න මාස දෙකකට විතර කලින් ටියුෂන් පටන් ගත්තා. ඉතින් ඒවට කොට කලිසම් ඇඳගෙන යන්න බැරි හින්දා දිග කලිසමක් මහගන්න අවශ්යතාවයක් ඇති වුණා. ඒත් ඉතින් කොහෙද ඕවට සල්ලි..?
“මට පංති යන්න දිග කලිසමක් ඕන..”
තාත්තට තිබුන දහසක් ප්රශ්න ගොඩට මම අකමැත්තෙන් වුනත් තවත් ප්රශ්නයක් දැම්මා. ඒත් තාත්තා කියන්නෙ දරුවෝ මොන ප්රශ්න කිව්වත් විසඳුමක් තියෙන අය..
” අර වී මිටි දෙකක් අරන් ගිහින් විකුණලා කලිසමක් මහගන්න… “
මගේ පලවෙනි දිග කලිසම් සිහිනය සැබෑ කරගන්න කෑමට ගෙදර පරිස්සම් කරගෙන හිටපු වී මිටි දෙකක් ලංගම බස් එකේ පටවාගෙන ඊ ළඟ දවසේ මම ටවුමට ගියා. වී විකුණලා සල්ලි ටිකත් අරගෙන ටේලර් සාප්පුවකට ගොඩ වුනේ ක්ලාස් යන්න දිග කලිසමක් මහගන්න.
ටේලර් සාප්පුව හිමියා රාක්ක වල රඳවා තිබෙන විවිධ පාට කලිසම් රෙදි පෙන්නලා, අවසානයේ මගේ කැමැත්ත එතරම්ම ගානකට නොගෙන ලා නිල් පාට ඉරි සහිත කලිසම් රෙද්දක් තෝරාගෙන,
” මේක හොඳයි… මේ දවස් වල වැඩි පුරම යන්නේ මේක තමයි..”
රෙදි කපන ගමන්ම කිව්වා. මට බලා ඉන්නවා හැරෙන්න වෙන කලහැකි දෙයක් තිබුනෙත් නෑ..
” කෝ එන්න.. මැෂිමන්ට් ගමු..” ටේප් එකයි, පොතකුයි පෑනකුයි අරන් එන ගමන් කිව්වා.
ටේප් එක තැන් තැන් වලට තිය තියා ඔහු මැෂිමන්ට් ගනිද්දි පුංචි කිතියකුත් දැනුනා. ඒත් දිග කලිසමක් ඇඳගෙන උසස් පෙල පන්ති යන එක තරම් දෙයක් නැති නිසා ඉවසගෙන හිටියා.
” දෙසිය පනහයි… සීයක් ඇඩ්වාන්ස් දෙන්න. ඉතුරු එක කලිසම ගද්දී දෙන්න. සෙනසුරාදට එන්න…”
පන්ති පටන් ගන්නේ ඉරිදා. කලිසම සෙනසුරාදාට හම්බ වෙනවා. මගෙ සතුට ඉහවහා ගියා.
සෙනසුරාදා උදෙන්ම ඇවිත් කලිසම ගත්තා.
” ඇඳලා බලලා ගෙනියන්න. :
කාමරයකට රිංගලා කොට කලිසම ගලවලා ජීවිතේ පලවෙනි දිග කලිසම ඇන්දේ උතුරා ගියපු සතුටකින්. මේ අත්දැකීම විඳපු අයම දන්නවා ඇති ඒ සතුට.. ඒ සතුටෙන් තමයි ගෙදර ආවෙ..
දැන් හෙට පන්ති යන්න කලිසම මදින්න ඕනි. කුප්පි ලාම්පුව තියාගෙන හිටපු අපිට විදුලි ඉස්තිරික්ක තිබුනේ නෑ. හැබැයි ගෙදර පරන පොල්කටු ඉස්තිරික්කයක් තිබ්බා. හවස් වරුවෙ පොල්කටු කීපයක් පුච්චලා අඟුරු ටික ඉස්තිරික්කයට දාගෙන වැඩේට ලෑස්ති වුණා.
රත් වුණ ඉස්තිරික්කය කලිසම උඩින් තියද්දිම … ” චුරුෂ් ..” ගෑවා..
ඉස්තිරික්කයෙ ප්රමාණයටම කලිසමේ දකුණු කකුලේ දනහිස ආසන්නව පදාසයක් උණුවෙලා ඉස්තිරික්කයටම ඇලිලා..
මට දැනුන වේදනාව කඳුළු වුණා. ආසාවෙන් ඇඳගෙන යන්න හීන දැකපු ජීවිතේ පලවෙනි දිග කලිසමේ කෑල්ලක් ඉස්තිරික්කෙට ඇලිලා..
කලිසම පිච්චුන වේදනාවයි, හෙට පංති යන්නේ කොහොමද කියන දෙගිඩියාවයි අතර අතරමං වුණා…
එදා රෑ නින්ද ගියෙත් නෑ දුකටම.. උදේ කලිසම ඇඳගෙන බැලුවා. පාරෙ බැහැලා යන්න බෑ පිච්චුන එක පේනවා. ඒත් පංති නොයා ඉන්නත් බෑ. අවසන් විකල්පයට ආවා.
පංති යන්න ලෑස්ති වුණා. කලිසම ඇඳගත්තා. කාඩ්බෝඩ් පයිල් කවරයක් අරගෙන ඒකෙන් පිච්චිලා තිබුණු තැන වහගෙන පාරට ආවා. මිනිස්සුත් හිටියා. අවුලක් නෑ. කවුරුත් මගෙ කලිසම දිහා බැලුවෙවත් නෑ. බස් එකකට නැග්ගා. සීට් එකේ වාඩි වුනාම කොහොමත් පේන්නෙ නෑ.පංතියටත් ගියා. ඇතුල් වෙද්දි පයිල් එකෙන් වහගත්තා. අයිනකට වෙලා වාඩි වුණා. එතකොට කාටවත් පේන්නෙ නෑ. පංති ඇරිලා ආපහු එද්දී ඒ විදියටම ආවා. ලොකු අවුලක් නෑ. පලවෙනි කලිසම පිච්චුන වේදනාව මට දැනුනා. ඒත් ඒකෙන් මම දෙයක් ඉගෙන ගත්තා. ඒ අපි බොරුවට හිතන තරම් මිනිස්සු අපි දිහා උනන්දුවකින් බලන්නේ නෑ කියන එක… ඒ කලිසම මම සෑහෙන කාලයක් ඇන්දා.. හැබැයි කෝකටත් අතේ පයිල් එකක් ගෙනියන්න පරිස්සම් වුණා.