පලිගැනීම 1 (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිනියේ කතාවක් ඉදිරිපත් කිරිමටයි. මේ සදහා කමෙන්ට් සහ ඉන්බොක්ස් මැසේජ් එවා මට තර්ජනය හා ඉල්ලීම් කල සියලු දෙනාට ඉස්තූතියි. ඒ වාගේම විශේෂ ස්තුතිය මන් පුදකරන්න කැමතියි පරාල මරාල ඇණයල් වූ යසිත් අසංග මහතාට. යුදමය තත්ව ඇතිකරමින් තර්ජනය කරලා කතාවක් ලියෙව්වට.
පාසල් කාලෙ ඉතින් අපි හැමෝගෙම ආතල්ම කාලෙනෙ. මටත් ඉතින් සුපිරි කිරි එලකිරි එහෙව් කාලයක් තිබුනා. ඕන් ඉතින් එකෝමත් එක සුවබර උදෑසනක.. දෑසමන් මලක් මුනින් අතට හැරිලා වගේ කොන්ඩෙත් පීරගෙන සුදෝසුදුවට සුදු ගවුමත් ඇදලා පාසල වෙත ගියා. මේ දවස අනිත් දවස් වලත් වඩා ලස්සනම දවසක්.. මොකද එදා තමා වාර අවසාන නිවාඩු දෙන දවස. සුදු පරවි රෑන දෙලගොඩ පොලේ යනවා වගෙ එහෙන් මෙහෙන් වන වනා අපි සෙට් එකත් ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුලට ආවා.
ඒ කාලෙ මගෙ හොද බොක්කියක්ගෙ කොල්ලට ලයින් දාපු වෙන කෙල්ලක් හිටියා. අපිත් ඉතින් යාලුවාට සපෝට් එකට ඒ කෙල්ල එක්ක කුලියට තරහා වෙලා හිටියෙ. කොහොමහරි අපේ එකීගෙ කොල්ලත් අර හොර කෑල්ලට ලයින් දාදා හිටියෙ. ඒ හින්දා අපේ එකීත් ඉතින් ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ හූල්ල හූල්ල තමයි හිටියෙ. ප්රාණ සම යාලුවා වෙච්චි මටත් ඉතින් දැන් ඕක බලන් ඉන්න බැරි හින්දා කොන්ත්රාත් එක බාරගෙන ගැහුවා ප්ලෑනක්. හොර කෙල්ලව එක්කන් එන්න කීවා ඉස්කෝලෙ ටොයිලට් එක ඇතුලට, ඉස්කෝලෙ අවසාන දවස හින්දා හැන්ගිලා ඉදලා හොද නෑමක් සෙට් කරමු කියලා කතා කරගෙන හිටියා දැන්.
එදාට පංතියේ වෙනියන්ට උදේ රැස්වීමෙ ඉස්සරහට ගෙන්නලා ප්රගති වර්තා පොත් දෙන හින්දා කොහොමත් උදේ රැස්විම සාරාසංකෙයිය කල්පයක් ඉවර වෙලා ඊලග ආත්මේ ඔන්න මෙන්න කියලා පේනකන්වත් පිනා රැස්වීම ඉවර කරන්නෙ නෑ මලාට. මේ ආදරයයි මුල සිට එක දිගට බලලා ඉවර කරත්! දෙවනි ඉනම එක පෙලට බලලා ඉවර කරත්! සිදු එකේ පොඩි හාමුදුරුවෝ පිරිවෙන් ඉවර කරලා බික්ෂු විශ්ව විද්යාලෙට ගියත්! එකාපිට එකා ඇදගෙන වැටුනත් අපේ ලොකු සර්ට හිතුනම තමයි උන්නාන්සෙගෙ කතාව ඉවර කරන්නෙ. අපේ සර්ගෙ කතාවකට අහු උන ඕනෑම මෙලෝවාසි සත්ත්වයෙක් සමන් එදිරිමුණිට මල් තියලා වදිනවා සත්තයි.
ජූනියර් ශිෂ්ය නායිකාවක් හින්දා මන් එදා කලින්ම කියලා ප්රයිමරියෙ වැඩ බලන්න ඉල්ලගෙන ප්රධාන රැස්වීමට සහභාගි වීම කට් කරලා අර හොර කෑල්ලගෙ යාලුවෙක්ට පගාවකුත් දීලා තෙලක් ගහලා ඔලුවත් හදලා ඒ කෙල්ලව උදේට ටොයිලට් එකට එක්කන් එන්න කියලා වැඩේ බාර කරා. ඒ යාලුවත් හොර කෑල්ලව එක්කන් කැමති උනේ හොර කෙල්ලට කොල්ලො බරක් හිටියා ඒ කාලේ. මේ ළමයා හෝඩි බිංදුව දහය විස්ස කියලා තමයි එක දවසකට මුකුලු කරන්න එකෙක් හොයාගන්නෙ. ඔය අතර අර උදව් කරන්න කැමති උනු ළමයගෙ අයියත් හිටිය නිසා ඒ තරහත් අපිට වාසියකට පෙරලගන්න පුළුවන් උනා.
දැන් ඔන්න උදේ රැස්වීම පටන් ගත්තා. මන් ඩියුටි ගිහින් රවුමක් දාලා ගියා දැන් ටොයිලට් එකට. කොහොමත් එදාට දවල් වෙනකොට මුලු ඉස්කොලෙන් බාගයක්ම පිටසක්වකින් ආව හරක් ගාලක් ඇරලා බුලත් කෙල ගහලා වගේ. එකා එකා එක පාටයි. සමහරක් ගෝල්ඩ් කුඩු ගහගෙන තව කොටසක් නිල් වතුර ගහගෙන. ඒ හින්දා නමෝවිත්තියෙන් දකුනු කකුල රුයිතෙට තියලා ටොයිලට් එකේ බකට් එකට වතුර පුරවලා හැලුවා නිල්කුඩු ටිකක්. ටිකක් ඉතුරු කරගත්තා දවල්ට අනිත් උන් මට ගැහුවොත් ගහන්න කියලා.
ගංගා නදිය බාල්දියේ ඔබලා වගේ මන් දැන් බලන් ඉන්නවා හොර කෑල්ලව එක්කන් එනකන්. මගෙ අත් උදව්වට ගියෙ සොවින්බර මුවින් හැගුම්බර නෙතින් බර වෙලා හිටපු අපේ එකී. මන් ඒකිට කියලා තිබුනේ අරහෙන් හොර කෑල්ල එනකොට මොකාක් හරි සංඤාවක් දීලා උබ හැංගියන් කියලා. ඒ කියලා දැන් මන් හැන්ගිලා ඉන්නවා. ඕන් එතකොට මට ඇඇහෙනවා අපේ එකී දැන් නාරස්සෙන් හාරනවා වගේ උගුරු දන්ඩ පනිනකන් උගුර හාරනවා. මන් ඒත් ටිකක් වෙලා අහන් හිටියා කෝකටත් මේකි උගුර හාරනවද කාරනවද කියලා. නෑ නෑ උගුර හාරනවා තමයි කියලා අදුනගත්ත මන්, හොද….ට අඩි සද්දෙ අහන් හිටියා.
ගහන්න අත කට හදන් හිටියට මොකෝ දැන් අඩි සද්දෙ එකින් එක ඇහැද්දි පතෝල මැස්සෙක්ට විනාකිරි පොවලා වගේ මගෙ අත ගැහෙනවා. කමක් නෑ ඕන් ඔහෙ ඕන එකක් සත පනහයි කියලා නිල් බාල්දිය අතට අරන් ක්ස්නිකව දොර ඇරගෙන එලියට පැන්නා විතරයි අම්මට සිරි හොර කෑල්ල ඉන්නවා දැන් කෘන්තක දත් අස්සෙ රදනක දත හිරවෙලා වගේ තව කෑලි තුනක් එක්ක. මාත් දැන් කරන්න ඉන්න වැඩේ නතර කරලා බොරැල්ල කනත්තේ මෝහිනී ලැට් බාල්දිය උස්සන් බලන් ඉන්නවා වගේ ඉන්නකොට තමයි හොර කෑල්ල ඇහුවේ… “” මොකෝ උබ ගහන්නද “” කියලා…
හත්තික්කෙට නුවර යන්න… ගහන්න නේන්නම් යකෝ එලි බැස්සෙ කියලා මට මතක් උනේ ඒ වෙලාවේ.. අමු අමුවේ කිසිම ගැම්මක් නැතුව සුරාජ්ගෙ අම්මා සප්නට බැන බැන තුල්සි ගහට වතුර දානවා වගේ මාත් කෑල්ලගෙ සපත්තු දෙක හරියට වදින්න වතුරත් ගහලා බකට් එකත් උසි කපුටෝ උසික්කෝ කියලා විසික්කරලා එන්න හදනකොට එහා පැත්තෙන් ඔහොම හිටපන් කියලා ඇගිල්ල උලුක් කොරාන හිටියා..
එතකොට හැන්ගිලා හිටපු අපේ එකිත් එලියට ඇවිත් දැන් අපි ගේමට ගේම හිටියා. දැන් නිකන් වළං ගොඩක් මැද්දෙ තියෙන තමිල්නාඩු සටන් භූමියක් වගේ ටොයිලට් එක ඇතුල. දැන් එහෙන් මෙහෙන් අපේ එකියි හොර කෑල්ලයි හොටවල් දෙක පටලවගෙන යනවා.. වාරේ වාරේ කියනවා විනා කොස් වාරයක්ද පොල් වාරයක්ද දෙල් වාරයක්ද මේ මොන හත්තිලව්වක් ද පටලගත්තේ කියලා මන් කල්පනා කර කර ඉන්නකොට නොසිතූ නොපැතූ ලෙස සීත ගගුල ඔලුව උඩින් තිබ්බා වගේ මොකෙක්දෝ එකියක් පිටිපස්සෙ ඉදන් මාව එහෙම්පිටින්ම නෑව්වා. යාලුවත් අරහෙන් මෙහෙන් තෙමිලා.
ඕන්න දැන් තමයි ඉතින් උන් ටික මගේ භවන විනාස කරලා මාව කුලප්පු කරලා මන් කෙලින්ම සටනට එන්ටර් උනේ.. මට දැන් අක්සාංස දෙසිය අසූවට යකා නැගලා.. එක්සිය විස්සට දෙසිය විස්සක්ම තොටත් පැන් වඩන්නම් කියලා හිතාන ගත්තා ලග තිබ්බ බකට් එකක්.. පිරෙව්වා වතුර එකක්..ඊටපස්සෙ කැළණි ගගෙන් හොම්බට ගැහුවා වගේ ඇදලා ඇරියා මාත් මට වතුර ගහපු එකීට කන පුරෝලම වතුර එකක්..
එතකොට ඒ ගැම්මටම එහා පැත්තෙන් මන්ම විසික්කපු බකට් එක අරන් වතුර පුරවලා ඊලග ශොට් එක ලැබුනේ මගෙ යාලුවට. අපිත් දැන් ආයෙ එකක් පුරවලා ගහන්න බලනකොට උන් දුවනවා.. පුරවගත්තු බකට් එක අපරාදෙනෙ දෙයියනේ කියලා පස්සෙන් පන්නන් ගිහින් කදුලු ගෑස් ගහනවා වගේ වදින එකියක්ට වදින්න කියලා ආයෙත් උන්ට ගැහුවා.
මීටර් සීය දුව දුව හිටපු ඩන්කන් වයිට් යූ ටර්න් එකක් ගත්තා වගේ හැරුනු උන් හතරදෙනා දැන් ආයෙ අපේ පස්සෙන් පන්නනවා..අපිත් ඉතින් උන්ට අහුවෙන්න බැරි හින්දා සුසන්තිකා රිලේ දුවනවා වගේ බකට් එකත් වන වනා දුවන් ඇවිත් ආයෙත් වතුර පුරවගෙන සාක්කුවේ තිබ්බ නිල්කුඩු ටිකත් ඒකට හලාගෙන ආයෙ දිව්වා හැන්ගෙන්න. ඒ වෙනකොටත් මන් හොදවගෙන් ඔලුවෙ ඉදන්ම නාලා හිටියේ. ඒ හින්දා මායි යාලුවයි ෆ්රෙඩියි ස්කූබියි බෙදිලා ගිහින් හොරු අල්ලනවා වගේ බෙදිලා ගිහින් වැඩෙ දෙමු කියලා බෙදිලා ගියා. එහෙම කියලා බකට් එකත් උස්සන් මන් ගියා නැටුම් පංති පිටිපස්සට.
අම්මටසිරි යකෝ ඒකෙ පිටිපස්සෙනෙ වැඩේ!! කුකුල්ලු පොරි අහුලනවා වගේ බැලින්නම් අයියලා සෙට් එකක් පරක්කුවෙලා ඇවිත් රැස්වීමට යන්න බැරි හින්දා එතනම බත් එකක් ලෙහාගෙන බුදිනවා. ඒ කුකුල්ලු ටිකත් තෙමිච්ච දෙමලිච්චෙක් දිහා බලාන ඉන්නවා වගේ මන් දිහා බලාගෙන ඉන්නවා. කොහොමත් සාමාන්යයෙන් අපේ ඉස්කෝලෙ හොර වැටක් තිබුනා ඔය නැටුම් කාමරේ පිටිපස්සෙ. මුන්ටිකත් සෙට් වෙලා තිබුනේ ඔතෙන්ට. වෙනදට ඕක නැටුම් කාමරේ උනාට දැන් ඒ පැත්තම ඊශ්රාලෙටයි පලස්තීනෙටයි මැදි උනු ගාසා තීරේ වගේ. මාත් හොදටම තෙමිලා සීතලේ හිටියට මොකෝ හදවත පත්ලෙන්ම යුද උනුසුමෙන් රත් වෙලා හිටියෙ .. දැන් ඇහෙනවා අරහෙන් එකෙක් හයියෙන් හයියෙන් අඩිය තිය තියා එනවා. බත් කකා හිටපු අයියලා බය වෙලා බත් එක ඔතාගන්න ගියත් මන් අපේ සටන ගැන එයාලට පැහැදිලි කරලා “” භිය නොවන්න අයියන්ඩි යුද්දෙ අස්සෙ බත් කන හැටි මන් පෙන්නන්නම් කියලා ” එයාලටත් දෛරිය දීලා මන් යුද්දෙට සූදානම් උනා.
දැන් ලග ලගම සතුරා එනවා දැනෙනවා. බරටම අඩි තිය තියා එනවා දැන්. මටත් තව වතුර බාල්දියක් නාන්න වෙනවා කියලා හොදටම හිතත් දන්නවා උනාට මොකෝ හොද හුස්මක් අරගෙන ගත්තා දෝතින්ම නිල් බාල්දිය උස්සලා.. දැන් නිකන් බාහුබලී ශිවලිංගෙ උස්සන් ඉන්නවා වගේ මාත් බාල්දිය කරෙ තියාන ඉන්නවා..
දැන් මන් හිතින්… ආ වරෙන් වරෙන් මයෙ අම්මා.. බාම් බාම් බහ් කිකිළී තාම ආවේ නෑ කිකිළි.. කොහෙද ගියේ හොර කිකිළි.. බාම් බාම් බහ්…!! කියලා දැන් දත් හපාන දෑස් අයාන රෙඩි පිට හිටගෙන දකුනු කකුල මේන් හෝල් එක දෙසටත් වම් කකුල මියුසික් රූම් එක දෙසටත් තියාගෙන සැරසේ…….න්! එලවේ…….න්! යාහ්! කියනකන් බලාගෙන ඉන්නවා වගේ දැන් ඉන්නවා.
දැන් අඩි සද්දෙ ලග ලගම එනවා.. ඒ සද්දෙටම පපුවත් ඩක ඩක ගාලා ගැහෙනවා පරණ ශ්රී ප්ලේට් ලෑම්මාස්ටරයක් වගේ…. ඇත්තමයි මාව එහෙම්පිටින්ම ගිංගගේ ඔබලා ගත්තු කාවයියෙක් වගේ කරපු උබට නම් ලේසියෙන් යන්න දෙන්නෑ කියලා පලිගන්න බලාගෙනමයි මාත් හිටියේ.
කට වක්කඩේ වාගේ බොම්බයිමොටයි කාරයා… තොට වැඩිය හොදයි යකො මාලු කාරයා කියලා අරකිට ගහන්න බලාන ඉන්නකොට…
තව අඩි දෙකකින් ඒකි මන් ගාව කියලා හොදටම තේරෙනවා දැන් මට.. මාත් නානවා ඒකිගෙ අතින් ආයෙ පාරක් ඒකත් මන් දන්නවා…! හැබැයි මාත් අනිවාර්යයෙන්ම ඒකිව නම් නාවන එක නාවනවාමයි…!!! කියලා හිතාගෙන දෙන්නම් උම්බට රම්පෙට කිරි එරෙන්න කියලා
අරකි බිත්තියෙන් හැරිලා මගෙ පැත්තට හැරෙනකොටම…… ගැහුවා…. අත පුරෝලා…….නිල් වතුර එක…. ආයෙ මුකුත් නෑ කෙලින්ම නිපොලැක් තීන්ත ඇඩ් එකේ සුනෙකිට ගන්න පුළුවන් ඒකිව! නිල්වන් පාටට බබලන පුන්සද කියලා බලනකොට මේන් යකෝ සද දිය උතුරා ගලනවා ගැලිල්ලක් කලුතරට ගංවතුර දාලා වගේ.. ගිලී නාන්නට එන්න ප්රියේ කියලා අඩගගහන්න හිටියෙ ඉතින් අහක ඉදන් බත් කන අයියලා ටික විතරයි.. උන්ට නාන්න අඩ ගැහුවට මොකෝ උන්ටිකත් නිකන් ඉස්පොල්ලෙ ගිය කැස්බෑවො ලිබ්බොක්කෙන් ඇදලා අරන් වගේ ඉද්ද ගහලා සීරුවෙන් බලන් ඉන්නකොට තමයි මමත් දැක්කෙ අත පුරෝලා නිල් බකට් එකෙන් කෙලලා ඇරලා තියෙන්නෙ විනය භාර මැඩම්ට කියලා!
හරේ රාමා හරේ… කියලා දුවන්න අඩියක් උස්සගන්න තියා සීතල හුලන් ටිකක් යන පැත්තක් බලලා බොහොම අමාරුවෙන් නාස්පුඩු දෙකේ රේඩාර් අල්ලා හුස්මක් අරන් කලන්තෙ නොදා බේරුනේ. වෙන කරන්න දෙයක් නැතිම හින්දා බොරුවට එතනම ජබර කලන්තෙ දැම්මා වගේ වට හතක් කැරකිලා වැටුනට මොකෝ..
සදකුමාරි මගෙ මනාලි කියලා මැඩමුත් සාරි පොටෙන් මිස්ගෙ මූන පිහදගෙන මගෙ කනට කරලා කීවා..
“” ආන් තමුසෙ පන්තියෙ දෙවනියා.. යනවා ගිහින් ප්රගති වාර්තා පොත අරගන්නව ඉස්සරහට ගිහින් ” කියලා. මොකද ඒ මැඩම්මයි අපිට බුද්දාගම ඉගැන්නුවේ. නැත්නම් අර කොල්ලො ටිකට කියලා මාව උස්සන් ප්රධාන රැස්වීමට අරන් යනවා කියලා තර්ජනය කරපු පාර ශේෂ්පියර්ගෙ නාට්ය පොත එතනම වහලා දාලා ලිද ලග හිටපු කබරගොයාට අහුවුනු ටිකිරි ලියාව වතුර කල හතකින් මල් දාලා නාවලා ගෙට ගත්ත කුමාරිකාවක් වගෙ උදේ රැස්වීමෙ ළමයි මැද්දෙන් ගිහින් වතුර බේරි බේරි පැවිලියන් එක උඩට නැගලා සාන්ත වගේ විරිත්තලා ප්රගති වාර්තා පොත ගන්නකොට.. ප්රින්සිපල් සර් මන් දිහා බලන් හිටියේ… “” අඩෝ වයි බන්..” කියනවා වගේ.
පලි – ඔව් ඔයාලා දෑස් අයාගෙන දතකට මැදගෙන බලන් ඉන්නෙ මන් ගුටි කෑව් නැද්ද කියලා දැනගන්නනෙ නේද… අනේ නිකන් වැඩක් බලාගෙන හිටපන් ඩෝ අනුන්ගෙ කුනු හොයන්නෙ නැතුව! බිහයන්ඩ් ද සීන් හොදයි ඇගිලි සලකුනට දාන්න. ආ.. මැඩම් එදා ඉස්කෝලෙ වටේ ගිහින් ළමයින්ගෙ හොර අල්ලන්න.
* ඉල්ලංකනසිංහ*

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!