මාගේ ආදරණීය දායක සභාවෙන් අවසරයි.. මේ ගැත්තාට අනුකම්පා පිණිස මේක කියවලා ඔන්න බනින්න එහෙම එපා ඈ…..!!
ඔන්න ඉතින් උදේ රැස්වීමෙන් පස්සෙ මාව නියෝජ්‍ය විදුහල්පති කාර්යාලයට රතු පලසක් දාලා මගුල් බෙර වයලා විනය භාර මැඩම් පිළිගත්තා. ඊටපස්සෙ මුලින්ම පෑනක් අතට දීලා පතරංග ජාතකේ වගේ හදපු පොතකත් කුරුටු ගාන්න දීලා උත්තම තේවාව පටන් ගත්තා. එතනින් එහා සිද්දිය ඇගිලි සලකුනේ දාලා ඊටපස්සෙ අර දුක අහන අයියගෙ වැඩසටහනට ගිහින් තමයි කියන්න වෙන්නෙ.
මොකද අපේ මැඩම්ගෙ පොඩි පුරුද්දක් තිබුනා මැඩම් ඉස්කෝලෙ පුරා ඇවිදින්නෙ හරියට අප්පච්චිට වැහුනු විමල් වීර්වංසට කස කාරයා වැහිලා වගේ. මොකද මැඩම් හරි ආසයි කාටහරි යන එන ගමන් කෑ ගහගෙන පාරක් දෙකක් ගහගෙන යන්න. සිරිකොතට අලියත් අලියට සිරිකොතත් වගේ මැඩම්ට වේවැලත් වේවැලට මැඩමුත් කියන්නෙ ආත්මීය බැදීමක්. මැඩම්ට ඒ කාලේ දාලා තිබුනු කාඩ් එක තමා වදක භාරි කියලා. සමහර වෙලාවට ළමයි විතරක් නෙවෙයි ඉස්කෝලෙ ආත්ම ගනන් ඉන්න බල්ලොත් දුවන්නෙ භාරී භාරී කියාගෙන. ඇත්තටම බල්ලො ගැන කතා කරනකොට දොළපිදේනි තට්ටු පිටින් දුන්නත් යන්නැති සුනඛ දේනුවක් හිටියා අපේ ඉස්කෝලෙ. අපි එයාට කීවේ “”දේවි”” කියලා. ඒකට හේතු දෙකක් තිබුනා. කෙල්ලන්ට අනුව මේ සුනඛ දේනුව හිටියේ විදුහල්පති ආර්යාව වගේ ඔෆිස් එකේමයි. කොච්චර පැන්නුවත් යන්නෙ නෑ. පිරිමි ළමයින්ට අනුව හිතහොද අම්මන්ඩි හැමදාම බඩින් කියලා අපේ දේවිටත් වාරෙන් වරෙට පැටව් හම්බවෙන්න හිටියා. ඒ කෝකවෙතත් අවසානේ සුනඛදේනුවගෙ නම ” දේවි” නමින් රෙජිස්ටර් උනා.
මේ දේවි සාමාන්‍යයෙන් උදේට දවල්ට ඉස්කෝලෙ වටේම විසිට් එකක් දානවා. ඒක උගෙ පුරුද්දක්. උගෙ ප්රසූතිකාගාරෙ උනේ මෙන් හෝල් එක පිටිපස්සෙ. අනික දේවි කවදාවත් කාටවත් හපලා ගොරවලා බුරන්නෑ විනය භාර මැඩම්ට ඇර! දේවිට භාරිත් භාරිට දේවිත් කියන්නේ.. හිරුට සනතුත් සනත්ට හිරු ටීවිත් වගේ තමයි. මොකද දවසක් අපේ දේවි කුලුදුලේ තුන්වෙනි පාරටත් බව්වා පුතාලා දූලා කීපදෙනෙක් ඉස්කෝලෙට දායාද කරලා තිබිලා ඉස් ඉස්සරලම ඒ දරුවො බලන්න ගිහින් තිබුනෙ භාරි මැඩම්. තෑගි හැටියට පැටව්න්ට මැඩම්ගෙ මායා කසෙන් පාරවල් කීපයක් පිට පිට තලලා තිබුනේ ඉස්කෝලෙ වනසනවා කියලා තරහට. එදායින් මතු වදකභාරිව දකින හැමවෙලේම දේවිත් හීනෙන් හරි ගොරවන්න අමතක කරේ නෑ.
කොච්චර වදක උනත් මැඩම්ට අමුතුම මෙව්වා හැකියාවක් තියනවා. ඒ තමයි අධ්‍යක්ෂකලා ඇවිත් නියෝජ්‍ය විදුහල්පති කාර්යාලෙ දිහා බැල්වොත්, කාජල්ට කිරිත් එක්ක පිරිටන් පොවලා පුටුවෙන් තියලා වගේ ලස්සනට හිනාවෙලා ඉන්න පුළුවන් මැඩම්ට. අනිත් දේ තමා ටී. එම්. ජයරත්න මහත්මයා රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොයෙන්නේ.. කියලා ආයෙ කීයටවත් අහන්නෑ අපේ භාරි මැඩම් දැක්කනම්. මොකද මැඩම්ට නින්ද එන්නැත්තේ කාටහරි තලද්දි විතරයි. ඒ විතරක් නෙවෙයි අලුතෙන් අහු උනු හිච්චි බිච්චි කපල් ගැන පංතියක් ගානේ විස්තර කරන හැටි අපි උනත් ආසාවෙන් අහන් හිටියේ රංජන්ගෙ හඩපට අහන් ඉන්නවා වගේ. මොනවා උනත් අපිට බුද්ධාගම ඉගැන්නුවෙ අපේ භාරි මැඩ්ම්.
එදා දඹදිව බරණැස අනේපිඩු සිටාණෝ… අනේපිඩු.. අනේ.. අනේ… අනේ..එතනින් එහාට පැමිනෙන්නේ භාරි මැඩම්ගේ අසාහාය නිදිමතයි. ඇසළ මහා තොරන් රාජයා පුටුව උඩ දෙලෙනවා වගේ ආලවක පුවත, අංගුලිමාල දමනය, වටු වැද්දාගෙ කතා පුවත සේරම එකම එපිසෝඩ් එකකින් බලාගන්න පුළුවන්. දවසක් බුද්දාගම අස්සෙ ඉතිහාසය උගන්නන්න ගියපු භාරි මැඩම් අපිට කියලා දුන්නෙ වලගම්බා රජ්ජුරුවො ගැන. තේජස් ඇති අතීත අභීත රජකු වෙන වලගම්බා මහා රජානෝ සිව් මහ බඹුන් පෑ පෙලහරින් අපිටත් රජෙක් පහල වෙලා, ඒ වලගම්බා රජු නැවත රට එක්සේසත් කරන්න හිතාගෙන පැනලා යන මොහොතේ ඒක දැක්ක නිගන්ටයෙක් කෑ ගැහුවලු.. ” අන්නා මහා කලු සිංහලයා පැනලා යනවා”” කියලා. ඊටපස්සෙ චෝලීන් ගියාලු රජ්ජුරුවන්ව අල්ලගන්න. අපෙ සිංහල තේජ්මාන විරූඪ නංවන ඒ උත්තරීත සෝමා ධාතුව තියලා පාත්‍රා දේවි රට වෙනුවෙන් චෝලින්ට භාර උනා කීවම අපි මේස හපාගෙන පුටු බදාගත්තේ චුට්ටක් හරි හිනාව පැන්නොත් පංතියටම සලාකෙ හම්බෙන හින්දා. හිනාව කාගන්නම අමාරු එකියක් දාඩිය දාගෙන කදුලු පිහගන්නකොට තමයි මැඩම්ට මීටර් උනේ සෝමාදේවියි පාත්‍ර ධාතුවයි මැඩම්ට ටැපලිලා නේද කියලා. ඊටපස්සෙ ඉතින් අපිට උනේ සුපුරුදු පරිදි තනිතනියම පොත කියවගන්න.
මොකද මැඩම්ගෙ වචනෙන්ම කියනවා නම්.. “” ඕන කූතාඩියෙකුටම මේ පොත කියවගත්තා නම් විභාගෙ පාස් වෙන්න පුළුවන්” ඊට අනුව අපේ 8- B පන්තියේ සමාජික ජිකාවන් කූතාඩි පංතිය නමින් රෙජිස්ටර් උනා. මැඩ්ම්ට උගන්න පීරියඩ් එකක් කියන්නෙ මාසයක් නයිටක් ගහපු එකෙක්ට මොහොතක් රෑ උනා වගේ සෑහෙන්න වටින වෙලාවක්. ඇත්තටම මැඩ්ම්ගෙ විෂය තියෙන දවස කියන්නෙ අපේ පන්තියටත් රෑ උනා වගේ තමයි. මැඩම්ට නින්ද ගිහින් ඉන්න වෙලාවක කවුරු හරි බාධා කරොත් ඉතින් සදා සොත්තී බවම් පුතේ! කිව්වා වගේ තමයි.. ආයෙ ඉතින් නෙලනවා නෙලිල්ලක් හමයිනි පන් නෙලනවා වගේ. අපිත් ඉතින් එතකොට කරන්නෙ සද්ද බද්ද නොකර විනාඩි 45ක් හොදට නිදාගන්න එක.
දවසක් ඔය වගෙ මැඩම් සුභ සිහින දකිමින්.. ආනාපානසතිය වඩන හැටි ප්‍රැක්ටිකලි කරලා පෙන්නන වෙලාවකදි අපට හදිසි අවස්තාවක් ඇවිත් අපි එහෙම්මම කුසල් මෙන්ඩිස් කැච් එක පස්සෙ දුවනවා වගේ පුටුව පිටිපස්සට තල්ලු කරලා පංතියෙන් එලියට දුවන්න ගියේ නිදහසෙ එලියට යන්න කියලා හිතලා.. කරුමෙක මහත කියන්නෙ අඩි දෙකයි යන්න උනේ පංතියෙ කොල්ලෙක්ගෙ පුටුවක මගේ කකුල වැදෙනවත් එක්කම මන් ඊට ලග පුටුවෙ එල්ලුනෙ ඒ වෙලාවෙ භූමි නමස්කාරයකට සුදුසු වෙලාවක් නොවෙන හින්දා. කොහොමහරි ලග පුටුවෙ හිටපු කොල්ලා මන් එයාගෙ ඇගට වැටෙයි කියලා බයට සම්පූර්ණ පුටුවම මට දීලා දඩබඩ ගාලා නැගිට්ටා..
ඒ අස්සේ කකුල වැදුනු පුටුවෙ අයිතිකාර කොල්ලා “”උබෙ අම්මට”” කියලා කාම සූත්‍රෙ දේශනා කරන්න ගත්තම තමයි දැක්කේ මේසෙට ඔලුව තියන් නිදාගෙන උන්නු ගොඩ්සිලාට නේද දෙයියනේ අපි මේ පොල්ලෙන් ගහලා ඇහරවා ගත්තේ කියලා.
එව්ව තේරෙනකොට අපි පරක්කුයි ඉතින්.. එතකොටත් මැඩම් අපි දිහා බලන් හිටියේ ගොරකා ගිල්ල ගරා යකා වගේ. දැන් මොකක් කරන්නද ඉතින්.. පංතියම දැන් නිකන් බඩෙ අමාරුව හැදිලා වගේ බලන් ඉන්නවා. මාත් ඉතින්
“”දුන්නා සිද්ධාලේප අසමෝදගම් බඩේ අමාරුව කොහෙන් ගියාද නෑ..”” කියලා.. අරූ ” උබේ අම්මට! ” කියලා නවත්තපු තැන ඉදන් මන් පටන් අරන්..
” අම්මට.. තාත්තට.. සලකන.. දරුවට..
නෑ.. කිසි දවසක.. වරදින්නේ… කියලා කියනකොට අරුත් පටන් ගත්තා..
“” සමගිය බලය වේ.. සැමට යහපත වේ…. අසමගිය දුක වේ.. හැමදෙනාටම විපත් ඇති වේ.. “” කියලා..
එතකොටත් ඉතින් අහස කලු කරාන මුහුද දෙබෑකරගෙන බුරවි කුනාටුව අපි වටේම කැරකි කැරකි තිබුනේ. අන්තිමට ඉතින්.. මහනෙල් සුවදමය.. කුඩමසු පිලි ගදමය.. හොදට නරකට දෙකට කටමය.. කියලා..
අපි දෙන්නගෙන් පටන් ගත්තු දෙවරක් චක්කරෙ පංතියටම බෙදලා ඈ යන්න ගියා මැකිලා.. අපි දෙන්නා ගියා බෙදිලා.
කොහොමින් කොහොමහරි ඒ වාරෙ මැද වෙනකොට අපේ වාර්ෂික චාරිකාව ගාලු රට බලා යන්න දාගෙන තිබුනා. ඔන්න ඉතින් චාරිකාව යන්න දාගත්තු මංගල දවසෙ අපි හැමෝම මහ පාන්දරම නෙස්ටමෝල්ට් බීපු ගෙම්බො වගේ මාරම උද්යෝගින් ඉස්කෝලෙ දෙවනත් කර කර හිටියා. මන් යන්නෙ කොතැනද කරුමෙ එතැන කියන්නෙ නිකන්ද…!! මොකද වදකභාරි මැඩම්ව දාලා තිබුනෙත් අපේ බස් එක භාරව. ඕක දැනගත්ත ගමන් අපේ එවුන් ඉස්සරලම කතා උනේ අර සාප වේවැල හංගමු කියලා.. මොකද බැරිවෙලාවත් මැඩම් වේවැලත් අරන් බස් එකට නැග්ගොත් ඉතින් අපිට ගාලු කොටුවට යනකන් යන්න වෙන්නෙ කොරවක්කන්ට පොල්ලෙලි බැදලා වගේ විරවපට්ටන් ගහගෙන තමයි. එහෙනම් ඉතින් මැඩම්ගෙ නින්ද කැඩුවා කියන එක ආනන්තරීය පාපකර්මයක් වෙනවා අර නෙලුම් හංස නෙක්ලස් අක්කගෙ තියරියට අනුව.
ඒ පව් වැඩේ කීයටවත් කරගන්න බැරි හින්දා කොහොමහරි වේවැල හංගන වැඩේ භාරගත්තේ මමයි මගෙ යාලුවෙකුයි.. තනියමෙ යන්න මොක්ටද මේ හද්දා කලුවරේ කියලා කෝකටත් පංති නායක කොල්ලවත් ඇදන් ගියේ වේවැලට වඩා අපි කලුවරට බය හින්දා. කොහොමහරි දැන් ලයිට් එලියට ඇදෙන කුරුමිනියා වගේ… උබට මැඩම් ගැහුවා මතකද…. කියලා එකින් එක මට මතක් වෙන්න ගත්තා. ඊටපස්සෙ ඉතින් ස්තානොචිත් ප්‍රඤ්ඤාව සාක්කුවෙන් ඇදලා අරන් වේවැලත් හංගලා දාලා කවදත් ඔෆිස් එකේ තනි නොතනියට හිටපු අපේ දේවිගෙ හිතත් සතුටු කරන්න ඕනා කියලා හිතාගෙන අති සාර්තකව පලිගත්තු මන් ඔෆිස් එකෙන් එලියට ආවෙ සතුරට බෝබ්ම ගහලා ගැම්මෙන් ගිනි මැද්දෙන් එන ශාරුක්කාන් ගෙ වයිෆ් ගෞරි වගේ.
මනමාලිගෙ මල් බොකිය වගේ තිබුනු මැඩම්ගේ වේවැල නැතුව එදා දවසම මැඩම් හෑන්ඩ්බෑග් එක වන වනා හිටියත් නියම පලිගැනීම මැඩම්ට ආරංචි වෙලා තිබුනෙ පහුවදා මැඩම් ඉස්කෝලෙ ආවමයි.
එදා ඒ පලිගැනීම කොච්චර සාර්තක වෙලා තිබුනද කිව්වොත් චාරිකාවට සහභාගි උනු සියලු සිසුන්ව පහුවදා විදුහල්පති ගෙන්නුවා ඔෆිස් එක ඉස්සරහට. අපේ පලිගැනීමට උපරිම සහයෝගෙ දු දේවිගෙ සතුට කොච්චරද කියනවා නම් ට්‍රිප් එක ගියපු අපි විතරක් නෙවෙයි දේවිත් ආවා ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට.. ඇත්තටම දේවිත් පලිගැනීමට හවුල් උනු මුල් පුරවැසියෙක් තමයි.
මොකද එදා පාන්දර මගේ සුරතින් මැඩම්ට අයිති සීල් එක හිතපුරා කැටයම් උනේ දේවිගෙ ඇගේ හින්දා. එදා දේවි මුලු ඉස්කෝලෙ වටේම “” නියෝජ්‍ය විදුහල්පති “” කියලා සීල් එකත් ගහගෙන රාණී වගේ ගිහින් තිබුනා. නියෝජ්‍ය විදුහල්පතිකම බල්ලට ගියාම ඉතින් බල්ලට උනත් සතුටු නැද්ද?
පලි. -: පස්සෙ ඉතින් ඕක කරපු කෙනෙක් හොයාගන්න බැරි උනු හින්දා අපි කීපදෙනෙක් ස්වෙච්ඡාවෙන්ම බල්ලව නාවන්නම් කියලා ඉදිරිපත් උනා. වෙන මොකටවත් නෙවෙයි අපි දේවිට ආදරේ හින්දා.
* ඉල්ලංකනසිංහ*