පල්ලමේ රෝල්. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කතාව ඉස්සර අපි ඉස්කෝලේ කතික තරග වලට යන්න ගිහින් උන දෙයක් ඔන්න.මට සහ මගේ අම්මගේ අක්කගේ දුවල දෙන්නෙක් ට උන වැඩක්.
කතිකත්වය කියන්නේ නිකං ඉතිං ආයේ ඒකාලේ අපිට නතිං ඈ.ඒ ඉතිං මමද මගේ සෙනෙහෙබර ලොකු අම්මාගේ අතිජාත බාල දූවරුන් දෙදෙනා වන මගේ සහෝදර පරාණ දෙකද කියලා වෙනසක් නෑ තුනම එකයි.හැබැයි මට වඩා ඒ දෙන්නා දක්ශයි හොදේ.කතික කොතැනද අපි එතැන.මේ ඔක්කොම දස්සකං හිච්චි එකීලා කාලේ විනා දැන් කාලේ නෙවෙයි ඕං. දැං උනත් බැරිකමකුත් නෑ ඉතිං ඒත් ඒ දස්සකං පෙන්නන්න තරං අවස්තා නැතුවා මිසක්.
ඔන්න ඉතිං දවසක් දා මායි මයේ අතිජාත පුංචි සහෝදර පරාණියටයි ආවා කලා මට්ටමේ දස්සතා ඉදිරිපත් කරන්න තරගයක්.ඔය තරගෙට ස්කෝලේ ගැට්ටෝ ගැටිස්සියෝ වයස් මට්ටමෙන් දෙන්නා දෙන්නා ඉදිරිපත් වෙන්න තිවුන නිසා කොහොම හරි දහ දොලොස් දෙනෙක් විතර ලෑස්ති වෙනවා.උදේ වරුවේ ස්කෝලේ ගිහින් හවස් වරුවේ තරග පුහුණුවීම් සදහා ඔන්න දැන් කට්ටියම ආයේ ස්කෝලෙට ගියා,මාත් මාගේ සොදුරු සුපහන් සුකොමාල සහෝදරිත් දෙන්නමත් එක්කම.අපිව පුහුණුවීම් සදහා ස්කෝලෙ වෙත ඇරලවීමේ භාරදූර රාජකාරි කටයුත්ත දේවකාරියක් ලෙස දෙවෙනි සහෝදරී විසින් කැමතිත් නැති අකමැතිත් නැති ගානට බාරගත්තා.ඉතිං දැං අපේ නිල වාහනේ තමයි පෙට්ට්රල් ඩීසල් අදාලම නැති හුලං ඩිංගකින් විතරක් සෑහෙන්න පුලුවන් රෝද දෙකේ පුට් බයිසිකලේ…මේකත් අර පොල්ල නැති ඉස්සරහා කූඩයක් තියෙන, ඒ කූඩේ නෙක නෙක වර්ණයේ මල් පුරවගෙන සිංදු කියන සුරංගනාවියෝ පදින ලේඩිස් එකක් නෙවෙයි.ඉස්සරහයින් පොල්ල තියෙන පිටපස්සෙන් ලැකේජ් එකක් තියන සීට් එකේ ඉදගගෙන පදින්නත් බැරි ඉස්සි ඉස්සි පදින්න ඕන බයිසිකල් එකක් තමයි අපිට තිබ්බේ.
දැං ඉතිං ඕකේ නැගලා අපි යනවා කතික පුරුදු වෙන්න. පුරුදු වෙලා අහවර වෙලා ඉරබැසගෙන යන සැන්දෑවේ පුංචි කුරුලු කිරිල්ලියෝ කැදලි කරා පියාඹාගෙන යන වටින් පිටින් සැදෑ කලුවර ගලාගෙන එන සොදුරු ගොම්මනේ අපි ඕං ගෙදර එන්න කියලා ගොඩ උනා අපේ නිල යානාවට.ඉතිං ඔතන ඉන්න පුංචිම එකී මං වෙච්චි කොට මට හිමි උන ආසනේ තමයි බයිසිකලේ ඉස්සරහා.එතකොට පුංචි සහෝදරී ඉදගත්තා පිටිපස්සෙ ලැකේජ් එකේ.දෙවෙනි සහෝදරී බාගයක් දුර සීට් එකේ ඉදගනිමිනුත් බාගයක් දුර හිටගනිමිනුත් පාගනවා බයිසිකල් එක.අපි බබාලා සේ ඉදගෙන පාඩුවේ සැදෑ අදුරේ අසිරිය විදිනවා.
ඔයාකාරෙන් ටික දුරක් අපේ යානාව එන ගමන්,මගදි තියෙනවා එකදාස් නවසිය බරගණන් වල ඉදලා හැදී වැඩෙන සියඹලා ගහක්.ඒ ගහ ඉස්සරහයින්ම පුංචි පල්ලමක් තියනවා පහල ගෙවල් වලට යන්න. මහ විසාලෙට නෙවෙයි වැස්සට පස් හෝදන් ගිහින් වගේ සාමාන්ය තරමේ පල්ලමක් ඒක.දැං ඉතිං ඔතනට එනකන්ම අපි තුන්දෙනාම බයිසිකලේ වාඩිවෙලා හිටියත් ඔතන පල්ලම පාස් කරනවත් එක්කම මට තේරෙනවා ලැකේජ් එකේ හිස් බවක්.ඒක සාංකාවට දැනෙන එකක්ද නැත්තං සැබෑවට දැනෙන හැගීමක්ද කියලා බලන්න පිටිපස්ස හැරෙද්දි දෙයියනේ කියලා චූටි සහෝදරී පල්ලම දිගේ පල්ලම් බහිනවා,නිකනුත් නෙවේ රෝල් වෙවී..
“දෙවෙනී ඒ දෙවෙනී රෝල් වෙනවා රෝල් වෙනවා.චූටි බයිසිකලේ නෑ.පල්ලමේ රෝල් වෙනවා…..”
බය භිරාන්තවෙලා මං කෑගහනවා.
“හරි හරි මං දැක්කා. කෑගහන්න එපා යකෝ අර ගෙවල් වල මිනිස්සුන්ට ඇහෙයි.ඉස්සරහට ගිහින් බලමූ…”
වගේ වගක් නැතුව එයැයි බයිසිකලේ පාගනවා.
අපොයි..!
අපේ සුන්දර පොඩි සොහොයුරිය පල්ලම පල්ලේ වැටිලා. අනේ ඉතිං ලොකු සහෝදරී ඒක දැක්කත් නොදැක්ක ගානට ඉස්සරහට යනවා. කවුරුත් නැති තැනක යානාව නවත්තන්න.
ඉතිං අරහේ අරුන්දෑ තනියම වැටිලා තනියම නැගිටලා දනිස් පිහ පිහ හොටු සූර සූර කදුලු වැල් අතරින් දුවගෙන එනවා.ඇත්තමයි සහෝදර මිත්ර වරුනි ඒ දර්සනේට හද කම්පා කරනවා සත්තයි.ඒ තරමට රසවත්.
“ඇයි අප්පා ඕගොල්ලෝ ආවේ නැත්තෙ මාව නැගිට්ට්වන්නවත්, මාර අය තමයි. මට බෑ පිටිපස්සෙ යන්න”.
මූණ තැලිච්ච ගස්ලබු ගෙඩියක් සේ පරල කරගෙන උන්දැගෙන් දෝසාරෝපණ එමටයි.
අනේ ඉතිං මේ එක දෝසාරෝපණයක්වත් අපෙ ලොකු සහෝදරිගේ එක කනට මන් කියන්නේ කන් දෙකටම නෙවේ එක කනකටවත් ඇහෙන්නෑ. හිකිස් බිකිස් හිකිස් හිකිස්
“කොහොමද වැටුනේ හලො.”
හිකිස් බිකිස්.
“අල්ලගෙන නෙවේද හිටියේ. මේ තුවාල උනේ නෑ නේද?”.
බිකිස් බිකිස් ගගා හිනාවේවි ඉස්සරහටත් නැවෙනවා. පිටිපස්සටත් නැවෙනවා.චූටිගෙ මූණ තක්කාලි වගෙ රතුවෙලා.ඊටත් හපන් දෙවෙනිගෙ හිනාවේ තාලෙට හිනා නොවී ඉන්නත් බෑ..
එතන එයා වෙනම ජෝගියක්.
එව්වගෙන් මෙව්වගෙන් මට මයෙ පඩුපුල් ආසනෙත් අහිමි උනා.දැන් ඉතිං හිත හදන් යමන්කෝ ලැකේජ් එකට.
අනේ අනිච්චේ පව් අසරණී කියලා ඉස්සරහා ආසනේ චූටි සහෝදරීට පුද කරලා මං ඉතිං අර ලස්සන ලැකේජ් එකෙං වාඩිවෙලා දෙවෙනිගෙ සුකොමාල හිනා අතරින් ගෙදරට යනකම් ගියා.
අනේ ඉතිං ඒ කාලේ හරි සුන්දරයි.
උපුටා ගැනීම: Dilmi Kaushalya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!