නොවැම්බරයේ පාලු සැන්දෑවක දී. ලෝකය පුදුම ආකාරයෙන් වෙනස් වී යනවා. ඊයේ පෙරේදා තිබූ සියල්ල අද වෙනකොට එහෙම පිටින්ම වෙනස් වෙලා. ආයේ කවදාක්වත් ඊයේ හෝ පෙරේදා දවසක් එන්නේ නෑ.
ආයෙත් ලබන්නේ හෙට හෝ අනිද්දා දවසක්. හෙට හෝ අනිද්දා ඊයේ සහ පෙරදා තරම් සුපුරුදු නෑ. ඊයේ හා පෙරේදා කොයි තරම් තිත්ත- වේදනාකාරී අඳුරු- කටුක දවස් වුණත් නොදුටු හෙට හෝ අනිද්දා ට වඩා යහපත් කියලා මට හිතෙනවා.
වසර කීපයකට පස්සේ ගෙදර පැත්තේ ගිහින් ආවේ. අනේ මං ඒ පැරණි පරිසරයෙන් ඉබේම කොන් වෙලා ගිහින්. ඒ දැයි කියා හිතෙනවා. අමුණ පාවුලේ පීල්ල පාළු වෙලා වගේ.
කොයිතරම් දවසකින් ද අමුණ පාවුලේ පීල්ලේ සීතල දිය වැලට ඔලුව ඇල්ලුවෙ?. පහුගිය කාලේ මට මතකයි ඔය පීල්ලෙන් දිනකට දෙවරක් නාපු දවස් ද තිබුණා. ආයෙත් එහෙම කාලයක් එයි ද කියලා හිතන්න අමාරුයි.
පීල්ල ළඟ පිරී සිටිය අයගෙ සිනා හඬ! ඉඟිබිඟි !! ඒ සියල්ල අතීතයට එක් වෙලා ගල් වෙලා ගිහිල්ලා. ඒ වටාපිටාව ආයෙ මේ කපේදි අහන්න හෝ දකින්න ලැබෙන එකක් නෑ. අනේ කීදෙනෙක් දැන් පිහිල්ල අත්හැරලා ගිහිල්ලද?
. කාලෙකට ඉස්සර මට මතකයි ලබා මහප්පලා ගේ ගෙදර හිටපු සුමනා. සුමනා හරි ලස්සන හැඩකාර කෙල්ල. ඒ දවස්වලම ආරංචි වුණා කොහේදෝ මිනිහෙක් එක්ක හොරෙන් ගියා කියලා. සුමනා කෙල්ල ඊට පස්සේ පීල්ලට ආවේ නෑ. අලවල අක්කලගෙ දිහාවෙ කෙල්ලො ටික ම මේ පීල්ලෙන් ම තමයි නෑවේ. කරුණයි – විමලයි – සුද්දියි……. උන් දැන් කොහේද? එකාගේ දැන් ළමයි දෙතුන් දෙනා ඇති. එකෙන් නියදුරුපොල පැත්තෙ ලු. අනෙකා කඩවත පැත්තේ ලු. මෙහෙ පාරේ දැන් යන්නත් අමාරුයි. ඉස්සර කජු ගස් යට – අඹ ගස් යට – අපි එක්ක නටපු – දුවපු – ගහගත්තු රණ්ඩු වුණ හැටි!
ඒ කෙල්ලො කණ්ඩායම දැන් ගම පැත්ත ගැන බලන එකක් වත් නැතුව ඇති.උන් ඔක්කොම අලුත් ජීවන රටාවල පැටලිලා ඇඹරිලා ගොහින් ඇති.
පාළු අරඹේ කෙල්ලො ටිකත් දැන් පීල්ලෙන් ඈත් වෙලා.
ගෙදර ගාව කුඹුරේ ඉස්මත්තේ අලුත බැන්ද අලුත් ලිඳට ඉතිරි වෙලා හිටපු ඔක්කොම වගේ රොක් වෙලා. ඒ නඩයත් මට හිතෙන්න අලුත් ලිදට එකතුවෙලා.. බාස් උන්දලාගේ ගෙදර කට්ටියත් අලුත් ලිඳට එකතුවෙලා. පහුගිය කාලේ උඩහා තේමිස් බාස්ලාගේ ලොකු දූ මැණිකාත් මේ පීල්ල අත්හැරලා ගිහින් දැන් පුංචි ලිදක් හදාගෙන ලු.
එහෙනම් දැන් කවුරුවත් නාන්න එන්නේ නෑ
පීල්ල පාලු වෙලා. උණ බටේ දිග ගලා හැලෙන සීතල දිය ධාරාවට ඔලුව අල්ලන්න වෙනදා කට්ටියම පෝලිමේ හිටිය. ඒ දවස් වල මාසයකට වරක්වත් පීල්ලෙ ළිඳ කට්ටියම එකතුවෙලා ඉහල දානවා. මාස ගණනකින් ලිද ඉඳලා නෑ ළිඳ ඉහපු බවක් පේන්න නෑ. වතුර ටික බැහැලා යන කානුවේ කට මං කී දවසක් සුද්ද කරල ඇත්ද? දැන් ඒ කානුවත් තියෙන බවක් වත් හොයාගන්න අමාරුයි. හොඳටම තණකොළ වැවිලා. ඉස්සර අපි දුව පැනපු ගල්කුළු මත අද අඟල් ගණනක් දිය සෙවල තට්ටු බැඳිලා. අඩිය තියන්න බෑ ලිස්සනවා. වෙලට ගිය ගොවියෙක් හෝ කොම්පැනි වත්තේ වැඩ කළ කිසිවෙක් හවස් කරේ කලාතුරකින් පිහිල්ලට නාන්නට එනවා. ඇවිත් පුහු පොල් ගෙඩියකින් සකසා වතුර එන උණ ලී පීල්ලට සවිකර තිබූ මූඩිය හැර සෙමින් එන වතුර පහරට හිස අල්ලනවා.
තවත් ටික කාලයක් යනකොට පීල්ලෙන් නාන්න එන කවුරුවත් නැති වේවි. පීල්ලත් දැම්මම පුපුරලා – ඉරිතලලා ගිහින්. රජ කාලේ ඉඳන් පැවතෙන පීල්ල රජ කාලේ වගේම අතීතයේ සිහිවටන තුළ හිර වෙලා – අමතක වෙලා යාවි. පහුගිය කාලේ පීල්ලෙන් නාන්න හුඟක් කට්ටිය ඉන්න කාලේ නම් පිලට තිබුණේ හරි සැලකිලි. වෙලාවට ලිඳ ඉහිනවා. අලුත් මූඩි සවි කරනවා.
කානු සුද්ද කරන්න ඕනෑ තරම් උදවිය හිටියා. දැන් පීල්ලෙන් නාන අය අඩු වෙලා.. කාට කාටත් පීල්ලේ උවමනාවක් අඩුවෙලා වගේ. ඒ නිසාම පීල්ලෙ අනාගතය ගැන හිතාගන්න අමාරුයි. මං පීල්ලෙන් නාගෙන ඒ දෙස සානුකම්පිතව මොහොතක් වෙලා බලාගෙන සිට අඳුර වැටෙන සැන්දෑවේ නිවස පැත්තට පා තැබුවා
උපුටා ගැනීම: Dhammadesha Ambalampitiya