පැමිනිල්ල (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“කූඩුවට දාන්නද සර්”  තරුණයන් කීප දෙනෙක් විසින් පොලිසියට ඇදගෙන එන ලද ගමේ දිස්පැන්සරියේ දොස්තර වරයා ඔවුන් අතින් තමා භාරයට ගත් තරුණ පොලිස් නිලධාරියා ඇසුවේ මේ දොස්තර වරයා පොලිස් පරීක්ෂක වරයාගේ ගජ මිතුරා බව දන්නා බැවිනි.
“නෑ! එපා…. ඉස්සරලා පැමිනිල්ල පොලිස් පොතේ ලියාගෙන ඉමු!”පොලිස් පරීක්ෂක වරයා කීවේය.
ඒ වදන් ද සමඟ තමා කකුල් පණ නැතිව ඇද වැටෙයිදෝ සිතමින් සිටියා සේ දොස්තර වරයා අසල වූ අසුනකට බර විය​.
මැදිවියේ සිටි කඩවසම් දොස්තර වරයාගේ මුහුණේ පැත්තක් ඉදිමිලාය.නලල ගෙඩි ගැහිලාය.කමිසයට වැදුනු බුලත් කෙල පහරක් තවමත් වියලී නැත.
ඒ කෙල පහර ගැසුවේ මාස හයකටත් අදික කාලයක් සතයකුදු නොගෙවා දොස්තර වරයාගෙන් බෙහෙත් ලබාගත් ගැහැණියකි.
“උඹ මේ විදිහට මිනිස්සුන්ට නොමිලේ බේත් දීලා උඹ ජීවත් වෙන්නේ කොහොමද?” වරක් ඔහු දොස්තර වරයාගෙන් ඇසුවා පොලිස් පරීක්ෂක වරයාට මතකය.
“මේ දුප්පත් මිනිසුන්ගෙං සල්ලි ගන්නෙ කොහොමද බං? මේ මිනිස්සු එදා වේල හොයා ගන්නෙත් අමාරුවෙන්!”දොස්තර වරයා කීවේය.
“අනික මම මේ වැඩෙන් පුදුමාකාර ආත්ම තෘප්තියක් ලබනවා. දෙයියන් ගෙ පිහිටෙන් අපිට අහේනියක් නෑනෙ.”
ඔහු කවදත් එහෙමය. වැඩ කලේ ආත්ම තෘප්තියට මිස තාන්න මාන්න වලටවත්, මුදල් වලටවත් නොවේ.පොලිස් පරීක්ෂක වරයා පාසැල් වියේ සිටම තම මිතුරාට ගරු කලේ එබැවිනි.
අදද පොලිසියේදී තමා දුටු විට තිගැස්සී තමා දෙස බැලුවා විනා දොස්තර වරයා තම නිදහස වෙනුවෙන් වචනයකුදු කතා කලේ නැත.
තමා දෙස එක එල්ලේ බලා සිටියද ඒ බැල්මේ බිය කියන දෙයක් ගෑවිලාවත් නෑ නේදැයි පොලිස් පරීක්ෂක වරයාට සිතුනි.ඉස්කෝලේ යන කාලේවත් ඒ බැල්මේ බිය කියන දෙයක් නොවූ බව පොලිස් පරීක්ෂක වරයාට මතකය​.
එහෙත් ළමා දූෂණ පැමිනිල්ලක්!
අවංක, කරුණාවන්ත​, ගුණ ගරුක අයෙක් ලෙස සැවොම එකහෙලා පිලිගත් තමාගේ මිතුරාට එරෙහිව දැරියකට ලිංගික අඩන්තේට්ටම් කිරීම සම්භන්ධ පැමිනිල්ලක්!
කොහොමද මේ විදිහට බලනකොට මිනිස්සුන්ව විස්වාස කරන්නේ!
“අනේ ඇත්තට කිරි සප්පයෙකුට නේද මෙහෙම කලේ…”
“මදැයි අපිත් දොස්තර දොස්තර කියලා දෙයියන්ට වගේ සැලකුවා!”
“උපාසක බළල්ලු තමා මීයො දෙන්නා දෙන්නා අල්ලන්නේ!”
“තූ නොදකින්….”
“අච්චර ලස්සන සීදේවි නෝනා කෙනෙකුත් ඉන්දැද්දි!”
“ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ!”
“කොච්චර කාලයක් මේ වැඩේ කරගෙන ගියාද කවුද දන්නේ!”
මිනිසුන්ගේ කසු කුසු තවමත් නතර වී නැත. ඔවුන් නඩුවද අසා තීන්දුවද දී අවසන් ය.
විස්සකට අදික පිරිසක් දැරියකට සිදුවූ මේ අවනඩුව හේතුවෙන් පොලිසියේ මිදුලේ රැඳී සිටිති. දහදෙනෙක් පමණ ඇතුලේය.
“හා හා දැන් ඔය කතාව නවත්තලා පැමිනිල්ල කියනවාද සර්ට ලියාගන්න​.”තරුණ පොලිස් නිලධාරියා කෑගැසුවේය.
තරුණයින් කීප දෙනෙක් සෙනඟ පීරාගෙන ඉදිරියට පැමිණියහ​. ඔවුන් දැකලා පුරුදු බවට මතකයේ ඇතත් පොලිස් පරීක්ෂක වරයා ඔවුන් නම් වශයෙන් හඳුනන්නේ නැත. ඒ ගොඩේ සිටි සුදු, උස තරුණයා මුලින් කතා කලේය​.
“සර්, මගේ නම ශාන්ත​. අපි අද පන්සලේ තොරණට ආදාර එකතු කරන්න ගියා. මේ දොස්තරයත් රුපියල් පං දාහක්ම ලියලා තිබ්බා. ඒකයි අපි දිස්පැන්සරියට ගියේ. එතකොටයි අපි මේක දැක්කේ….”
“මොකක්ද දැක්කේ?”පොලිස් පරීක්ෂක වරයා ඉවසිල්ලෙන් ප්රශ්න කලේය.
” මේ මිනිහා අර ගෑනු දැරිවිගේ ඇඳුමෙ කර හැදුවා…අපි එන්න ඉස්සරලා මොනවා කර කර හිටියද දන්නේ නෑ සර්!”
“අපිට උන් හිටි තැන් අමතක වුනා සර්!” තවත් තරුණයෙක් කතාවට කට දැම්මේය.
“අනෙ අප්පේඒඒඒ!”ගැහැණියකගේ හඬ පිටුපසින් ඇසුනි.
“මැරෙණ කල් නෙලන්න තිබුණේ.”තවත් කවුදෝ හඬ නගා කීවේය.
“හා හා උඹලගෙ කතා නවත්තපල්ලා. ඇයි මේ නෙලලා තියන තරම මදිද​?”තරුණ පොලිස් නිලධාරියා ගෝරනාඩු කලේය.
“කවුද එතකොට ගැහුවේ?”පොලිස් පරීක්ෂක වරයා ප්රශ්න කලේය.
“අපි ඔක්කොම සර්. මේක දැක්කමඅපිට වාවන්නෙ නැතුව ගියා. පොඩි දරුවෙක් නේද?” තරුණයා කතාකලේ ආවේගයෙනි.
“පස්සෙ පහල කඩේ මුදලාලි කීවා මේ මිනිහට ගහලා අපිත් හිරේ විලංගුවේ යයි. ගහන එක නවත්තලා පොලිසියට ගෙනියන්න කියලා.”
“කෝ එතකොට දරුවා?”
“දරුවා බයවෙලා වගේ හිටියේ සර්. පැනලා දිවුවා මයෙ හිතේ.” ඒ ගොඩේ සිටි තවත් තරුණයෙක් පොලිස් පරීක්ෂක වරයා ඇසූ ප්රශ්නයට පිලිතුරු බැන්දේය.
“නෑ සර් මං දරුවා එක්ක ආවා.”පිටුපස සිට කවුදෝ කියනු ඇසුනි.
“කෝ දරුවට එන්න කියන්න මෙහාට​…”පොලිස් පරීක්ෂක වරයා කීවේය.
“යන්න පුතේ යන්න​…බය නැතුව යන්න​….”
“ඔයා බය නැතුව වෙච්ච දේ කියන්න​.”
“ඔය වගේ එවුන්ට දඩුවම් ලැබෙන්න ඕනෙ…”නැවතත් පිටුපසින් කට හඬවල් කීපයක් ඇසුනි.
අවුරුදු දාහතරක පමණ වයස් වූ මලානික පෙනුමැති දැරියක ඉදිරියට තල්ලු විය.
“මොකක්ද ඔය දරුවගෙ නම? ” පොලිස් පරීක්ෂක වරයා කරුණාවෙන් ඇසුවේය.​
“ඉඳුනිල්…”දැරිය බියපත් දෑසින් පොලිස් පරීක්ෂක වරයා දෙස බලමින් පිලිතුරු දුන්නාය.
“ඉඳුනිල් සමන්තා!”
“ඉඳුනිල්, දැන් ටිකකට ඉස්සරලා දිස්පැන්සරියෙදි මොකද වුණේ?”
දැරිය පොලිස් පරීක්ෂක වරයාගේ කරුණාවන්ත දෑස දෙස බලා සිටියාය.
“බය නැතුව කතා කරන්න​.”පොලිස් පරීක්ෂක වරයා කියා සිටියේය.
“අපේ ආච්චි මේ දොස්තර මහත්තයාගෙන් බේත් ගන්නවා. අපෙන් මහත්තයා කවදාවත් සල්ලි ගන්නේ නෑ….”දැරිය කතා කලේ සෙමිනි.
“සල්ලි ගන්තේ නෑ…. මොකටද සල්ලි ගන්නෙ? බලනකොට බේත් දීලා තියන්නේ නිකං නෙවේනේ.”නැවතත් පිටු පසින් කවුදෝ කියනු ඇසුණි.
“උඹලා කට වහපල්ලා දරුවට කතා කරන්න දීලා.” තරුණ පොලිස් නිලධාරියා සැර කලේය​. දැරිය නැවතත් කතා කරන්නට පටන් ගත්තාය​.
“මහත්තයා හැම මාසෙම අපේ ආච්චිට බේත් දෙනවා. පංති ඇරිලා එන ගමන් මම තමා දිස්පැන්සරියෙන් බේත් ටික ඉල්ල ගන්නේ….”
“එතකොට අද ගියෙත් බේත් ගන්නද​?”
“එහෙමයි!”
“ඉතින්?”
“මම බේත් ටික ගන්න අත දික් කරනකොට​….”
“අල්ල ගන්න ඇති….”පිටු පසින් හඬක් ඇසුණි.
“උඹලට කටවල් වහ ගන්න නේද කීවේ.”තරුණ පොලිස් නිලධාරියා නැවතත් ගෝරනාඩු කලේය.
“ඔය දරුවා කතා කරන්න​!”පොලිස් පරීක්ෂක වරයා නැවතත් කරුණාවෙන් කියා සිටියේය.
“මම බේත් ටික ගන්න අත දික් කරනකොට මහත්තයා දැක්කා මගේ අතේ පොක්කලං වගයක් තියනවා….ඒ මොනවද කියලා මහත්තයා ඇහුවා. මම කීවා මම දන්නෙ නෑ….මගෙ බෙල්ලෙයි කරෙයි දෙකේම පොක්කලං ඇවිත් කියලා….”
“ඉතින්?”
“ඉතින් මහත්තයා මගේ ලඟට ඇවිත් මගේ බෙල්ලයි කරයි බලලා මට කීවා ‘දරුවෝ ඔයාට පැපොල හැදිලා’ කියලා………”
පින්තූරය අන්තර්ජාලයෙනි.
උපුටා ගැනීම: Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!