” පණ ඇති භහුකාර්ය උපකරණ ඔබේ රාජකාරි පහසු කරවයි”
– නිල්මිණි හෙට්ටිආරච්චි –
අයියාට අනුව අපගේ අම්මාත් තාත්තාත් එකව ගැයූ යුග ගීතයේ ශ්රැති අස්ථාවර වූ අවස්ථා දෙකක් ඇත. එහි අන්තනෝමතික ප්රතිඵලය ලොවට දායාද වූයේ අයියා සහ මම වශයෙන් ය. කට ඇති පුතත් රුව ඇති දුවත් නිවසට වාසනාවන් වන බවට අතීතයේ කතෘ අඥාත පඬිරුවනක විසින් දෙසාබාන ලද කියමන ඔස්සේ යමින් ඔවුන් දැරූ ප්රයත්නය පූර්ණ වූයේ “රුව ඇති පුතත් කට ඇති දුවත්” වශයෙන් පැරණි කියමන භින්න කරමිනි.
වෙනත් ග්රහ ලෝකයක චන්ද්රයෙකු බඳු මුහුණටත්, තටු කැපූ දේවදූතිකාවක වැනි සිනහවටත් වසඟ වූ ගුරු දෙගුරුන් ඇතුළු සියල්ලෝ මෙම “විකිරණශීලි ජීවියා” පිළිබඳ තේරුම් ගන්නා විට පෙරහැරවල් හත අටක්ම ගොස් අහවර වී තිබුණි. ( පළමු වසර භාර ගුරුතුමිය මා නෙරපා දමා මට ඉගැන්වීම ප්රතික්ෂේප කරද්දි මාගේ විශේෂ කුසලතා සහ අවශ්යතා වටහාගත් ගරු විදුහල්පතිතුමා විසින් තම කාර්යාලයේ රඳවාගෙන මට ඉගැන්වූ බවත් මගේ ක්රියාකලාපය උපේක්ෂාවෙන් විඳ දරාගෙන අද මා නැඟී සිටින ශක්තිමත් පාදම මට නිර්මාණය කරදුන් බවත් මා සිහිකරනුයේ ගෞරවය මුසු ආදරයෙනි )
මගේ චින්තනයට අනුව නම් මා අබ මල් රේණුවක තරම් වත් දඟ වැඩක් නොකළ අතර මා නිරන්තරයෙන් උත්සාහ කරන ලද්දේ යමක් සඳහා තවත් ක්රමයක් උත්සාහ කර බැලීම පමණි. අවාසනාවකට ඒ සියල්ල කඩාකප්පල්කාරී ක්රියා ගිනුමට පමණක් ම බැර විය. මෙය පස් වසරක ප්රාථමික අධ්යාපන කාල සීමාව තුළ දී ගුරුවරුන්ට අනුව මා ඔවුන්ට කොරහක් පුරවා දුන් කලබැගෑනි ගොන්නෙන් ඔවුන් තවමත් නොදත් එක් පිදුරු ගහක් පමණකි. එය සිදු වූ අකාරය පිළිබඳව දිවංගතවනතුරු වත් ඔවුන්ට දැන ගැනීමට නොහැකි වීම පිළිබඳව මා හට නම් ඇත්තේ ප්රීතිය මුසු වූ සන්තාපයකි.
වර්ෂ දෙදහස්තුනක් වූ දුරුතු මස අවසාන සතියේ සිකුරාදා දින මම ටවුමේ බාලිකාව වෙත ද්වීතියික අධ්යාපනය හැදෑරීමට යාම පිණිස එතුවක් අධ්යාපනය ලැබූ විදුමවගෙන් අස්වීමේ සහතිකය ලබා ගැනීමට නියමිතව සිටියෙමි. මාගේ නික්මයාම සැමරීමට අනෙකුත් ගුරුභවතුන් තම විවේකාගාරයේ දී පිසිනා තුරුවත් ඉවසාසිටීමට නොහැකිව අමුවෙන් හාල් කා පොල් කිරි බීමට සූදානම්ව සිටින බව උදේම පන්තිභාර ගුරුතුමිය මා හට දන්වා සිටිමින් එවකට මා පන්ති නායිකාව වූ නිසා අවසන් වතාවට පන්තියට වඩා මට සෙවණ සැල සූ විදුහල්පති කාර්යාලය වෙත නාමලේඛනය ගෙන ගොස් තැබීමට භාර කරන ලද්දේ මගේ හතර බීරි ප්රශ්න වලින් මිනිත්තු කීපයකට හෝ ගැළ වීමට විය යුතු ය.
මාගේ ආදරණීය ගුරුපියාණන් සුපුරුදු හෘදයාංගම සිනහවෙන් මා පිළිගෙන මාගේ වෙන්වීම ඔහුට අප්රමාණ දුකක් බවත්, මා හොඳම හොඳ දරුවෙකු බවත් හැඟීම්බරව පවසා අවසාන වතාවට ගුරු විවේකාගාරයේ අනවශ්ය කඩදාසි තොගයක් පසෙක ගොඩ ගසා ඇති බව පවසා එය ඉවත් කිරීමේ රාජකාරිය මට පැවරී ය.
කසළ වල පාසලේ අනෙක් කෙලවරේ ය. මීටර් පන්සියයක් පමණ දුර ඒ සඳහා මා වරකට ගමන් කළ යුතු ය. කඩදාසි තොගය ද සිතුවාට වඩා වැඩිය. පළමු වර ගමනේ ගොස් එන මා හට මරණ දැන්වීමක් උලා කමින් සිටි එළු නාම්බෙකු දැක ගණදෙවි නුවණ පහළ විය. සති දෙකකට පමණ පෙර ගමේ මස් කඩයේ කොක්කේ එල්ලීමට ගෙන ආ මෙම රම්බෝ වර්ගයේ එළුවා මස් මරන්නාගේ පශ්චාත්භාගයේ මඩකලපුවට කිට්ටුවෙන් තම අංපාර සනිටුහන් කර තම මරණයෙන් ගැළවුම ලැබූ අතර එතැන් සිට අනෙකුත් කොළ වර්ග සමඟ කඩදාසි ද සමෝසමේ අනුභව කරමින් හංදියේ චන්ඩියා වී සිටියේ ය. මරණයක් භූමදානයටත් පෙර මරණ දැන්වීම් උලා කෑ මෙම පරිසර හිතකාමී ජීවියාව ජෝන් කොතලාවල මහතා ස්වකීය වලෙන් නැඟිට විත් “නෛනගේ සූදුව පාට් ටූ” පෙන්වා ආං බාං කරති’යි ගම්මු බලාපොරොත්තුවෙන් සිටියහ.
මම සෘජුවම එළුවා සමඟ කතා කොට ඌගේ ආහාර ගැටළුවත් මාගේ රාජාකාරියත් විසඳාගැනීමට තීරණය කළෙමි. ගුරුවරුන්ට වඩා එළුවා මා විශ්වාස කළේ ය. බෙල්ලේ වූ කඹ කොටයෙන් අල්ලාගෙන අතිජාත මිත්රයෙකු පරිද්දෙන් ඌ කැඳවාගෙන පාසලේ ගොවිබිම ඔස්සේ කාටත් නොපෙනෙනු පිණිස විවේකාගාරය දක්වා රැගෙන යනු ලැබුවේ වැස්සකට වත් පාසලට ගොඩ නොවූ ඌ බෑ බෑ කියමින් තම සබකෝලය ප්රකාශ කරද්දී ය.
එළුවාට කඩදාසි ගොන්න පෙන්නවා එය භුක්තියට පැවරූ මම උගේ කාර්යය පාඩුවේ කරගැනීමට ඉඩ දෙනුවස් දොර පියන ද අඩවල් කර පන්තිය බලා ඉගිලුනෙමි. මා එහි යනවිට අම්මා අස්වීම සහ මා රැගෙන යාමට පැමිණ සිටි අතර පන්තිභාර ගුරුතුමියගේ පස්වනක් ප්රීතියෙන් ඔද වැඩුණු සිනහව දුටු මට මතක් වූයේ පිපිරෙන බට්ටා වැලකි. අස්වීමත් මාත් රැගෙන නිවස බලා යාමට පාර පැනීමට මත්තෙන් අම්මා වට පිට බැලුවේ වාහනයකට වඩා නොමිලේ අංපාර පෙන්වනු ලබන එළුවා කොහෙන් හෝ මතුවේ දැයි බියෙනි.
මට එම සිදුවීම අමතකව ගිය අතර පසු කලෙක ආරංචි වූයේ අයාලේ ගිය එළුවෙකු පැන මේසය මත නැගී නොමසුරුව බෙටි වපුරමින් ගුරුවරුන්ගේ දින සටහන්, වාර සටහන් ඇතුළු එකී මෙකී නොකී වටිනා කියන ” කඩදාසි” තොගයක් ගිලදමා ගුරුවරු දෙදෙනෙකු හට අංපාර ද පෙන්වා සිටි බවය. සමහර විට එම අසරණයාගේ කුසගින්න නිවෙන්නට බිම තිබූ කඩදාසි මදිවන්නට ඇත.
~ ජමීලා ~
උපුටා ගැනීම: Nilmini Hettiarachchi