හඳුනාගැනීමේ හෝ ආමන්ත්රණය කිරීමේ පහසුව සඳහා මනුෂ්යයින්ට සතුන්ට ගහ කොල ඇතුලු සොබාදහමේ සියලුම දේට නම් තැබීමට මිනිසා පෙලඹුනේ අනාදිමත් කලක සිටයි.
ඇතැම්විට අපහාසයට පවා නම් යොදාගත්ත අවස්ථා ඕනතරම්. උඩරට හිටපු ‘ අප්පොලා, මැණිකෙලා’ ට අවඥාකිරීමට පහතරට ඇත්තන් කලේ තමන්ගෙ ගෙදර වැඩකාරිට ‘මැණිකා’ කියාත් කුස්සියේ උයන පිහන තැනැත්තා ට ‘අප්පු ‘කියාත් නම් තැබීමයි. අපහාසයට නම් දැමීම ගැන ලෝකමට්ටමින් තරඟයක් තිබ්බොත් ලංකාවෙ අය තමා පලමුවෙනියො!
මුල් කාලෙ සියදෝරිස් . එරමානිස් වගේ නම්
පස්සෙ කාලෙක එඩ්වඩ්, ඩයස් වගේ වෙනස්වෙලා මෑතක ඉඳන් හොඳ සිංහල නම් දාන්න හැමෝම උත්සුක වෙනව.මේකට හුගාක් මුල් වුනේ අපේ රටේ හෙල හවුලෙ උදවිය.
මේ හෙලහවුලේ ක්රියාකාරී සාමාජිකයෙකු වරක් තම බිරිඳ සමග මංගල උත්සවයකට සහභාගිවුනු අවස්ථාවක පැරණි මිතුරකු මුණගැසුණා. ඉතින් මේ මිතුරාට තම බිරිඳ හඳුන්වල දුන්නා.
‘මේ මගේ සහකාරිය සඳා’
‘සඳා!!’ යාලුව විශ්මයෙන් වගේ ඇහුව .
‘නෑ, මෙයාගෙ නම චන්ද්රා, මම හෙල ඌරුවට සඳා කියන්නෙ ‘
ඔන්න යාලුවගෙ බිරිඳ ත් ආවා.
‘මේ මගේ වයිෆ් ඉඳා’
‘ඉඳා!!! මොකක්ද. ඒ නම?’
‘නෑ නෑ මෙයාගෙ නියම නම ඉන්ද්රා, මන් හෙල ඌරුවට ඉඳා කිව්වෙ! ‘
මේ විදියට අපේ සිංහල නම්වලට හුරුවුනු අයගෙන් සමහර දෙනා මුලකුරු වලටත් සිංහල අකුරු දැම්ම. දි. ග. සෝමපාල වගේ.
ඒ වගෙ දාපු නමක් තමයි අතකස කියන්නෙ .ඔය කවිසමාජ හරිම ජනප්රිය කාලෙ ‘අ.ත.ක.ස’ කිව්වම නොදන්න කෙනෙක් නෑ. අතකස කියන්නෙ ‘අගනුවර තරුණ කවි සමාජය’ කෙටියෙන් හඳුන්වන නම.
මේ කාලෙ ඉතින් රටපුරා කවිසමාජ ඇතිකරපු නිසා පුත්තලමේ කල්පිටියෙ කවි සමාජයක් පිහිටුවපු කවියො ටිකකට හිතුනා අතකස වගේ නම දාන්න! එහෙම හිතල ලියන්න ගියාම තමා තරු පෙනුනේ!
මේ විදියට සිංහල වගේම ඉංග්රීසි බසින් කියවෙන මේ මුලකුරුවලට සමහරු වෙනත් නම් පටබැන්ද!
ඔබ හැමදෙනාම වගේ අහල ඇති ශ්රේෂ්ඨ නාට්යවේදියකු වන ආර්. ආර් . සමරකෝන් මහතා ගැන . එතුමගෙ නාට්යවල රඟපාපු සමහර අයවත් දැනන් හිටියෙ නෑ ආර් ආර් කියන්නෙ ඇයි කියල. දවසක් මේ සමරකෝන් මහතා ඇතුලු නාට්ය කණ්ඩායම දුර පලාතක නාට්ය දර්ශනයකට යනකොට කෙනෙක් ඇහැව්ව:
‘මොකක්ද මේ ආර් ආර් කියන්නෙ? ‘
‘ආර් ආර් කියන්නෙ රම්යාට රැවටුණු කියන එක’ එතන හිටිය කටකාර නළුවෙක් කිව්ව!
ආර් ආර් විවාහවෙලා හිටියෙ අපි කාගෙත් ආදරය දිනාගත් ප්රවීන නාට්යවේදිනියක වන රම්යා වනිගසේකර මහත්මිය සමග. මේක අහපු රම්යටත් හිනාව නවත්තගන්න බැරිවුණා කියල මේ කතාව පුවත්පතකට ලියපු ලේඛකය ලියල තිබ්බ.
ඔය වගේ අපේ පැරැන්නො ඇතැම් අයට හා සමාජවලට අපහාසයක් වගේ පේන සමහර නාමවලටත් වෙනත් නම් ආදේශ කලා. විශේෂයෙන් වැඩවසම් යුගයේ ඇතැම් රාජකාරි වල යෙදුණු ඇත්තන්ට තිබුණු නම්වලට. ඒ ව්දියටයි ඔය ආචාරි, ගුරුන්නාන්සේ , හේනෙමාමා වගෙ යෙදුම් ව්යවහාරයට ආවෙ .
වලන් හදන අයට පණ්ඩිතයන් කිව්ව.බොහෝදෙනකු වැරදියට අර්ථකථනය කරන ‘පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්න බෑ’ කියන කතාව අදාල ඔය වලන් හදන අයට මිසක් උගත් අයට නෙවෙයි. වලන් කදක් අරන් ඒ දණ්ඩෙ යන්න බැරි නිසා.
සමහර අයට අපි කාඩ් එකක් විදියටත් පණ්ඩිතය කියනවනෙ. ඒ වගේ කාඩ් විශ්ව විද්යාලයේ ඕනතරම්. මන් ගිය විශ්වවිද්යාලයේ එකම බැච් එකේ සිල්වල ගොඩක් හිටිය . ඉතින් මේ අය වෙනම අඳුනගන්න සිල්වාට මුලින් විශේෂණ පදයක් දැම්ම. එක්කෙනෙක් හිටිය නම ඇනී ද සිල්වා. විශ්වවිද්යාලයෙ ඇනෙනව කියන්නෙ එක්කො විභාගෙ ෆේල් වෙනවට නැත්නම් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහල ෆේල් වෙනවට . මෙයා අහන අහන කෙල්ලගෙන් ෆේල් .ඉතින් නිකම්ම ඇනී ද සිල්වා උනා!.
මෙහෙම කාඩ් එකක් තිබ්බ මුත්ත කෙනෙක් හිටිය අපි පුංචි කාලෙ අපේ ගමේ. මෙයාගෙ නම බාරොන් , මෙයා ඉන්න තැන කවුරුත් බාරොන් අයිය, බාරොන් මාම, බාරොන් මුත්ත කියල කතාකලාට නැතිතැන ඒ කවුරුත් මෙයාට කිව්වෙ ‘ලබු මුත්ත’ කියල .
අපි ඒ කාලෙ අවුරුදු දොලහ දහතුන වගෙ වයසෙ ,අපිට නෑදෑයො කවුරුවත් මෙයාට ලබුමුත්ත කියන හේතුව කිව්වෙ නෑ.
මේ ගමේ කොනකට වෙන්න තිබ්බ ලොකූ නුගගහක්. මිනිස්සු එතෙන්ට නොයෙකුත් පූජාවන් එහෙමත් කලා. ඉතින් මේ ලබුමුත්ත මෙතන සුද්දකරල ගහවටේ තාප්පයක් බැඳල තරමක බුදුගෙයක් එක්ක මල් ආසනයක් හැදුව තමන්ගෙ වියදමෙන්!. ලබුමුත්තට ලමයි නෑ . ඒ කියන්නෙ කසාදයක් කරගෙනත් නෑ.ඉතින් මේකට සෑහෙන්න වියදම් කරල පිලිවෙලට වැඩේ කලා. වැඩ ඉවරවෙලා පන්සලේ හාමුදුරුවන්ගේ උපදෙස් අරන් නමකුත් හදාගත්ත .පන්සල් වගේ තැන්වලට ආගමික භක්තිය මුල්වෙන ආකාරයට තමයි නම් තියන්නෙ.
මේකට නම තිබ්බෙ ‘න්යග්රෝධාරාමය’ කියල . නුගගස නිසා ඒ නම දාල තියෙන්නෙ . ඉතින් මේක විවෘත කරන්න පිංකමක් ලෑස්ති කරල පංසලේ ලොකුහාමුදුරුවන්ටත් පිරිත් කියන්න ආරාධනා කරල තිබ්බෙ දැන් අර නම ගහපු බෝඩ් එකක් සුදු රෙද්දකින් වහල තියෙනව.
අපිට හිතුනා මේ ස්ථානය ලබුමුත්තගෙ නමින් නම් කරන්න ඕන කියල . ඉතින් අපි කොල්ලො ටික කාඩ්බෝඩ් කෑල්ලක ලැකර්වලින් නම ලියල හංගගෙන හිටිය අවස්ථාව එනකම්. ලබුමුත්ත ගියා හාමුදුරුවෝ වඩම්මගෙන එන්න. ඔන්න වෙලාව! අපි කාටත් නොදැනෙන්න අර ‘න්යග්රෝධාරාමය’ වැහෙන්න අපේ බෝඩ් එක අලවල අර රෙද්දෙන් වහල මාරු උනා.
දැන් හාමුදුරුවෝ පිරිත් දේශනා කරනව ඒ අතරෙ සුබමොහොතින් ලබුමුත්ත අර රෙදිකෑල්ල අනිත් පැත්තට දාල නාම පුවරුව විවෘත කලා!
නම දැක්ක විතරයි ලබුමුත්තට මාරාවේස උනා!. කුණුහරුප වරුසාවයි, ගැහුව පිරිත් පැන් කලේ තිබ්බ පුටුවට පයින් !. හාමුදුරුවෝ සද්ද නැතුව නැගිටල වැඩියා පංසල පැත්තට .මිනිස්සුත් එහාට මෙහාට වෙලා ගියා යන්න.
එදා ඒක අපිට ලොකු විනෝදයක් උනාට පස්සෙ තේරෙන වයස ආවම අපිට ලබුමුත්ත ගැන වගේම අපි කල වැඩේ ගැනත් කණගාටුවක් දැනුනෙ. වෙන කාගෙන්වත් සම්මාදම් නොකර, එදා හැටියට ඉඩම් අක්කර හත අටක් ගන්න පුලුවන් තරම් මුදලක් වියදම් කරල, වෙන මිනිස්සු අනුන්ගෙ මුදලින් හදපු ඒවටත් තමන්ගෙ නම ගහ ගනිද්දි මුදල් වියදම් කරපු තමන් ගැන කිසිම සඳහනක් නොකර, නිස්සරණධ්යාසයෙන් ම පින් වැඩක් කරපු ලබුමුත්තට ඒ පිංකම සම්පූර්ණ කරගන්න දුන්නෙ නෑනේද? කියල.
පස්සෙ අපි රස්සවල් කරනකාලෙ දවසක යාලුවො එකතුවෙලා කතාකරගෙන එතන අපේ වියදමෙන් අලුත්වැඩියා කරල ‘ . . බාරොන් උපාසක මහතා විසින් ස්වකීය ධනපරිත්යාගයෙන් ඉදිකර පූජාකරණ ලදී’ කියල පුවරුවක් බිත්තියෙ ගැහුව.
අද ලබුමුත්ත ජීවතුන් අතර නැති උනාට අපි දාපු නම නිසා නුගගහ ගැන කතාකරන ඕනම කෙනෙකුට අර පුවරුව නැතත් ලබුමුත්ත මතක් වෙනව.මොකද ගමේ කාටවත් අර හාමුදුරුවෝ දාපු නම කියවගන්න බෑ!!
උපුටා ගැනීම: Channa Witha