මං චූටී කාලේ අපේ අම්මට හරි ලස්සන පුරුද්දක් තිබ්බා. ටව්න් එකට ගියොත් ලස්සන පැන්සලක් දැක්කොත් ඕක මට ගෙනත් දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට පැන්සල් එකතුවක් ලැබුනා.
ඉතින් ටික ටික ලොකු වෙද්දි මං ළඟ එක එක ජාතියේ පැන්සල් ගොඩාක් එකතු උනා.
දැන් නම් අම්මා මට පැන්සල් ගෙනත් දෙන්නෑ. හැබැයි මං බුක් ශොප් එකට ගියාම ලස්සන පැන්සලක් දැක්කොත් ඕක උස්සන් එනවා.
ලියපු නැති අලුත් පැන්සල් වගේම පරණ චූටී කොට පැන්සලුත් කාලේත් එක්ක ඔය එකතුවට එකතු උනා.
ඔය ගෙනාපූ පැන්සල් වලින් සමහර පැන්සල් අද මං ළඟ නෑ. ඒවා නැති වෙලා. නැත්නම් ලස්සන නිසා කව්රු හරි ඉල්ලගෙන. එහෙමත් නැත්නම් මම කාට හරි තෑගී දීලා.
එතන තියෙන පැන්සල් වලින් සමහර ඒවා ලියන්න ගන්න බෑ. හේතුව මගේ අතින් බිම වැටිලා දැන් කොච්චර උල් කරත් තුඩ කැඩෙනවා.
තවත් සමහර පැන්සල් කඩෙන් ගෙනාපූ දවසේ ඉඳලම ලියන්න බෑ. අම්මා නම් කිව්වේ ඒවා බාලයි කියලා. හැබැයි ඒවා තමයි ගොඩක් වෙලාවට ලස්සනම පැන්සල්.
සමහර පැන්සල් ලියලම ඉවර වෙලා. චූටී කෑල්ලක් විතරයි ඉතුරු. ඒවාගෙන් ආයේ ලියන්න බෑ.
හිටපු ගමන් නැති වෙලා ආයේ හම්බෙලා පාවිච්චි නොකර එකතුවට එකතු කරපු භාග පැන්සල් එහෙමත් ඔතන තියෙනවා.
ඔය අතරේ දැනුත් ලියන පැන්සල් දෙකක් විතර මගේ පර්ස් එකේ වෙනම තියෙනවා.
ඉඳ හිටක අරන් ලියන පැන්සල් එහෙමත් ඔතන නැත්තේ නෑ.
එක පැන්සලක් තියෙනවා ලොකූ ගානක් දීලා ගත්ත හැබැයි කිසිම හැඩයක් නෑ. ඒත් වටිනවා ඉතින්.
ආ තව කහ පාට පැන්සල් හයක් තියෙනවා තාත්තා ගෙනත් දීලා. විභාග වලට අරන් යන්න කියලා ගෙනත් දීපූවා. විභාග ඉවර උනාම එකතුවට එකතු උනා.
ඊයේ රෑ කාමරේ අස් කරනකොට ඔය පැන්සල් එකතුව දැක්කාම මට හරි අපූරු දෙයක් හිතුනා.
සත්තකින්ම මං ඒ වෙලාවේ හිටියේ එක්තරා බැඳීමක් ගැන වේදනාවකින්
එතකොට ඔය පැන්සල් ටික දැක්කා මට හිතුනා අපේ ජීවිත වල ඉන්න මිනිස්සු කියන්නෙත් ඔය පැන්සල් වගේ නේද කියලා.
එතකොට ඔය පැන්සල් එකතු කරලා තියෙන පෙට්ටිය හරියට අපේ ජීවිත වගේ.
අපේ ජීවිත වලත් ඉන්නවා අර පෙට්ටියේ තියෙන පැන්සල් වගේ විවිධාකාර මිනිස්සු.
චූටී කාලේ මිනිස්සු එකතු උනේ ඉබේම, හරියට අම්මා පැන්සල් ගෙනත් දුන්නා මං එකතු කරා වගේ ඒත් අපි ලොකු වෙද්දි ජීවිතේට මිනිස්සු එකතු කරගන්නවා ඒක හරියට දැන් මං පැන්සල් ගන්නවා වගේ.
පරණම බැඳීම් වගේම අලුත් බැඳීම් ජීවිතේ තියෙනවා. ආන්න ඒම එක එක කාල වල එකතු උන මිනිස්සු ගොඩක එකතුවක් තමයි ජීවිතේ
කොයිතරම් පරණ උනත් අයින් නොකරපු තාමත් ජීවිතේ එදා වගේම ඉන්න මිනිස්සු ඉන්නවා.
කව්රු හරි අපේ ජීවිතෙන් ඈතට අරන් ගියපු මිනිස්සු වගේම අපිම අතෑරලා පරිත්‍යාග කරපු මිනිස්සුත් ඉන්නවා.
බිම වැටිලා ලියන්න බැරි උන පැන්සල් වගේ අත් වැරදීමකින් හිත රිදුන නිසා ජීවිතෙන් ඈත් මිනිස්සුත් ජීවිතේ එමටයි.
සමහර මිනිස්සු ඉන්නවා පිටින් ගොඩාක් හොඳ රුපයක් නඩත්තු කරනවා හැබැයි ඇතුලාන්තය හොඳ නෑ. අර ලස්සන උනත් ලියන්න බැරි බාල පැන්සල් එයාලට සමානයි.
ලියලා ඉවර වෙලා අයින් කරපු පැන්සල් වගේ අපි එක්ක ඉඳලා ජීවිතේ දාලා ගියපු මිනිස්සුත් ඉන්නවා.
අහම්බෙන් වගේ ඇවිත් ආයේම යන්න ගියත් මතක ගොඩාක් ඉතුරු කරපු මිනිස්සු නැති වෙලා හම්බ උන පැන්සල් වගේ.
ඔය කොයිතරම් පැන්සල් තිබුණත් අපි ලියන අපි ආසම පැන්සල කියන්නේ ජීවිතේ අපිට ඉන්න වටිනම මනුස්සයා. හැබැයි දවසක එයාට උරුම වෙන්නෙත් පැන්සල් පෙට්ටියේ චූටී ඉඩක් විතරයි.
හැඩයක් නැති උනත් හිත හොඳ වටින මිනිස්සු ගනන් වැඩි පැන්සල් වගේ.
ජීවිතේ එක මොහොතකට මුණ ගැහුන මිනිස්සු ඉන්නවා කවදාවත්ම අමතක කරන්න නොහිතෙන හිතේ ගැඹුරෙම තියන් පරිස්සම් කරන එයාලා හරියට අර තාත්තා විභාගේ ලියන්න ගෙනත් දීලා මං ලියලා අරන් තියපු පැන්සල් වගේ.
ඉතින් ජීවිතේ හැටි එහෙමයි. එක එක ජාතියේ මිනිස්සු ගොඩක් අපි එකතු කරනවා මේ කාලේ ඇතුලේ.
ඒ හැම කෙනෙක්ම ලස්සන මතකයක් ඉතුරු කරයි ඔයාට.
ඒ නිසා හැම මනුස්සයෙක්ටම ආදරණීය වෙන්න.
හැම මනුස්සයෙක්ටම සෙනෙසින් සමු දෙන්න. මොකද දිගු කාලීන අමනාපකම් තියාගන්න බැරි තරම් ජීවිතේ කෙටියි.
එහෙම උනොත් මං පැන්සල් එකතු කරපු පෙට්ටිය දිහා බලලා ලස්සනට හිනා වෙනවා වගේ දවසක ජීවිතේ දිහා හැරිලා බලලා ආ ගිය මිනිස්සු ගැන සතුටු වෙන්න පුලුවන් වෙයි.
“ජීවිතේ කියන්නේ ආ ගිය මිනිස්සුන්ගේ මතක ගොන්නකි”
උපුටා ගැනීම: තාරා ( සිත්තරාවී )