ඉස්කෝලෙ පණු බේත් දෙන දවස කියන්නෙ මරණ මංචකේට ගෙනියන දවස වගේ
ඒ කාලේ පණු බේත් කියල දුන්නෙ පැණියක්.උඩ බලන්න කියල හක්ක දෙපැත්තෙන්ම අල්ලලා උගුරට බිංදුවක් දානවා.ඒක මොන රහක්ද මන්දා.ඒ සුවඳ හරි රහ හරි ඉහ මොළ දක්වාම ගිහින් තමා නතර වෙන්නෙ.බේතක් විදින්න වත් එච්චර බයක් තිබුනේ නැහැ.
‘දවස් තුනක් යනකං ඔය අනං මනං කෑම,ගඩා ගෙඩි බෑ ” පණුබේත් දෙන්න ඇවිල්ලා ඉන්න අය ළමයින්ට ඇහෙන්න කෑ ගහල කියනවා. ඒත් පනු බේත් බීලා එදා අමතක වෙලා ගුණතිලක යි ජයසේන යි මයිල කරල් කාලා.
දෙන්නම දැං පංතියෙ ඉන්නෙ ඕං මැරුණ මේං මැරුණ වගේ.ළමයි සේරම බයවෙලා
මෙන්න බොලේ ඉස්කෝලෙ අරින්න ඔන්න මෙන්න තියෙද්දිම රසිකගෙ පැන්සල් උරේ තිබ්බ මදටිය ඇට හේමලතා කාලා.දෙකක් විතර කද්දි තමා එකපාර අඩන්න ගත්තෙ පණුබේත් බිව්වා කියල මතක් වෙලා.දැං මැරෙන්න උන් තුන්දෙනයි.
ඉස්කෝලෙ අරින බෙල් එක ගැහුවා.ඔන්න අපි ගාථාව කියනවා.හයිස්පීඩ් ගාථා.තේරුමක් නැතුව ඇහෙන හැටියට කයනවා.
“යෝවාද තම්පාවරෝමාණු ජේසූ..සක්ක මුණි භගවා කත කිච්චො
පාරගතේ බල දිරිය සමන්ති..”.(වෙනදට ඔය කෑල්ල කියද්දි සමන්තිට පස්ස නටවන ගුණතිලක දැං මයිල කරල් කාල නිසා කීක් නෑ).අන්තිම පදේ කියන්නෙ පංති කාමරෙන් එලියට යන ගමන්..ඒ හින්දා මට ඒ ටික මතක නෑ.
ඇත්ත කියන්න එපෑයෑ.
ඕකෙ තේරුමවත් ඒ කාලෙ දැනන් හිටියෙ නෑ.
අම්මත් ඉන්න නිසා ගෙදර යන්නෙ ගම මැද්දෙන්.අවුකූටකේ ගම් ගෙවල්වල මිදුලෙ බුදියගෙන ඉන්න බල්ලො ටිකක් හරි” බුං” ගාන්නෙ ළමයි පේලිම අම්මගෙ සාරි පොට යටින් යනවා දැක්කොත් විතරයි.උන් ඒ වෙලාවට කාල බූදි.වෙනදට සියබල අඹ,නාරං,දිවුල් ලෑටි ගගා යන අපි පණු බේත් බීපු දාට ඇවිදින බෝ පැල වගේ.කරුමෙ කියන්නෙ ගස්වල ගෙඩි ඉදිලා පැහිලා පේන්නෙත් ඒ වගේ දවස් වලට..ළමයි රෑන එකා දෙන්න ගෙවල්වලට හැරිලා අන්තිමට ඉතුරු වෙන්නෙ මමයි,අක්කයි,ප්රියානි ඔල්ගයි,තුෂාර සහ දයානි අක්කයි විතරයි..සෙංගල් ඔය පාරෙන් මාළු පැටව් බලලා කකුල් හෝදන් ගොඩ වෙද්දිම මෙන්න එරමිණියා.!!!!
ඉදිලා,පැහිලා බිමට නැමිලා.කෑව ඉතින්
ටිකකින් මතක් උනා.
පණුබේත් !!!!
මතක් උනේ කෑවට පස්සෙනෙ. ඉස්සර වෙලාම අඩන්න ගත්තෙ මමද මංදා.දැං සේරම එරමිණියා ගාල ළග අඩනවා.අම්ම නොහිටින්න එදා අපි මැරෙන්නෙ අඩලා.
ඒ රෑ තමා රෑ.සැරින් සැරේ බැළුව මැරීගෙන එනවද කියලා.
උදේ වෙද්දිත් මැරුනෙ නැති නිසා පුදුම සැනසීමක් තිබ්බෙ. වැඩේ කියන්නෙ පහුවෙන්දා මයිල කාපු උනුත් ඉස්කෝලෙ ආවා.මදටිය කාපු හේමලතාත් ආවා.උනූත් මැරිලා නෑ.
උපුටා ගැනීම: Nilusha Anne