පොඩි ගෑනුලමයි එකපාරටම ඉස්කෝලෙ එන් නැතුව යනවා., ටික දවසකින් කැවුම් කිරිබත් ටොෆි චොකලට් අරං ආපහු ඉස්කෝලෙ එනවා.. ඒකට පාටි දානවා.. වැඩිහිටියො ආශීර්වාද කරනවා… මොන කෙහෙම්මලක් ද මේ වෙන්නෙ කියල ඒ වයස් වල පිරිමි ළමයි පුදුම කොම්පියුස් වීමකට ලක්වෙනවා. ඇත්තටම අපටත් ඒක උනා. මේකට හේතුව කියල දෙන්න වැඩිහිටියො හරිම ලැජ්ජයි . අනේ මන්දා ඉතින් ඇයි කියල. ඇහුවාම කියන්නෙ “එයා ලොකු ළමයෙක් වෙලානෙ පුතේ” කියල . අපේ හිතේ එතකොට මැවෙනවා අර ඉන්ක්රඩිබල් හල්ක් වගේ ඇඳුම් පලාගන මහා සයිස් වෙලා ඉන්න හැටි. ආපහු ඉස්කෝලෙ ආවාම එහෙමත් නෑ ඉතින් හිටිය සයිස් මයි. එතකොට ඇයි ලොකු උනා කියන්නෙ ?? හරි අසාධාරණ වැඩ මේවා. මේවට එරෙහිව පෙලගැහෙන්න ඕනෙ. ඉතින් අපිත් ටික ටික ලොකුවෙනවනෙ. කෝ අපිට එහෙම පාටි..?
කොහොම හරි ඊටත් වඩා පොඩි පිරිමි ළමයින්ට නිර්භීත වැඩිහිටියො කියන්නෙ ඊටත් වඩා බොරු. “ඇයි එයා මේ දවස් ටිකේ පේන්න නැත්තෙ? කියල ඇහුවාම
එයාට සනීප නෑ.. දෙයියන්ගෙ ලෙඩක්.. ටික දවසක් යනකන් එයාගෙ මූන බලන්න බෑ.. ” ඒ වගේ දේවල් .. ඒකට පක්ෂව වත් විපක්ෂව වත් මං කතා කරන්න යන්නෙ නෑ .සමහර දේවල් කියලත් බැරි නොකියත් බැරි දේවල් නිසා. කොහොම උනත් මේ කතාව මං පොඩිකාලෙ උන දෙයක් නෙමේ , මාත් වැඩිහිටියෙක් වගේ කෙනෙක් වෙලා ඉන්න කාලෙ සිද්ද උන දෙයක් . ඒක හාස්යජනක ද නැද්ද කියල මං දන්නෙ නෑ තීරණය කරන්න ඕගොල්ලොන්ට බාර කරනවා .
අවුරුදු කීපයකට කලින් මං පටිගත කිරීමකට ස්ටූඩියෝ එකට ගියා කුරුණෑගල. නියමිත වෙලාවට ටිකක් කලින් ගියේ. තාම ඇරලා නෑ. හිමිකාර අයියා ගෙදරත් නෑ. අයියගෙ පොඩ්ඩා විතරක් ගෙදර ඉන්නවා. මට ඉතින් කම්මැලි කමටයි කරන්න දෙයක් නැති කමටයි ඌත් එක්ක කියව කියව හිටියා.
” කෝ පුතේ තාත්තා..? “
” එයා ගෙදර නෑ…”
“කොහෙද තාත්තා ගියෙ..?”
“පාටියකට”
“මට කීවෙ නෑනෙ අද පාටි එකක් තියෙනවා කියල ..
මොකද්ද පුතේ ඒ හදිස්සියෙ වැටුනු පාටි එක ..?”
මං ඇත්තටම පුදුමෙන් ඇහුවා.
එතකොට ඌ සුකුමාල ලෙස හිනාවෙලා කීවා
” ඒ ගෙදර අක්කා කෙනෙක්ට පැපොල හැදිලානෙ..”
හිටගන හිනාවෙන්න අමාරු උන නිසා මට ඉඳගන හිනාවෙන්න සිද්දවුනා . පොඩි එකා ඇස් ලොකු කරගන මන් දිහා බලන් ඉද්දි .
උපුටා ගැනීම: Geesara Wijekoon