ආදි මානවයා ශිෂ්ටාචාරගත වූ දා පටන් ඇති වූ පාරම්පරික කුඹල් කර්මාන්තයේ ශිල්ප ක්රම වර්තමානයේ ද පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. මැටි කර්මාන්තය වූ කලී සර්වකාලීන උපයෝගිතාවයකි.
ශ්රී ලංකාවේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කීරදෙණිය කෝරළයේ මී ගහතැන්න බටහිර පත්තුවේ මුහුදු මට්ටමින් අඩි 500 ක් තරම් උසකින් කහඹිලියාගම හෙවත් කහඹිලියාගොඩ ග්රාමය පිහිටා ඇත. කෑගල්ල නගරය පසු කොට කොළඹ නුවර මාර්ගයේ කරඬුපන හන්දියෙන් හැරී රඹුක්කන නගරයට පිවිස කටුපිටිය හරහා කුරුණෑගල රඹුක්කන මාර්ගයේ කිලෝමීටර හතක් පමණ දුර ගිය විට මීදෙණියවත්ත බටහිර දෙසට වන්නට කහඹිලියාගම ග්රාමය හමු වේ.
කහඹිලියාගම ගම් පියස ඉපැරැණි අතීතයකට නෑකම් කියන අතර අදටත් සාම්ප්රදායික මැටි කර්මාන්තයේ නියැළෙන්නන් දැකිය හැකිය. මුලාශ්රගත තොරතුරු හා ජනශ්රැති තුළින් කුඹල් කර්මාන්තය පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙතත් ග්රාමයකට මුලික අවධානය යොමු කිරීම අල්ප වශයෙන් සිදු වී ඇත. පාරම්පරික මැටි කර්මාන්තයට උරුමකම් කියන කහඹිලියාගම ආශ්රිත ව සිදුකළ අධ්යයනය තුළින් කෙරෙන අනාවරණයකි.
කහඹිලියා නම් වු තෘණ ශාකය විශාල වශයෙන් ව්යාප්තව පැවති හෙයින් කහඹිලියාගොඩ යැයි ව්යවහාරය වී කාලයාගේ ඇවෑමෙන් කහඹිලියාගම ලෙස ජනප්රවාද ගත වන්නට ඇති බව මතයකි.
කුඹල් ප්රජාවගේ ඉපැරැණි ගම්මානයක් වන මෙම ගම් පියසෙහි අතීතය, දඹදෙණිය යුගය දක්වා ඈතට විහිදී යන්නකි ඈත අතීතයේ සිට කුඹල් කර්මාන්තයෙහි වර්ධනය ක්රමයෙන් ඉදිරියට පැමිණියේ බොහෝ අභියෝග මධ්යයේය එසේ වුවත් දඹදෙණිය යුගය වන විට ස්වාධීනව නැගී සිටීමට කුඹල් ප්රජාව සමත් විය.
පළමු වන වික්රමබාහු රජු ඇවෑමෙන් ඔහු පුත් දෙවන ගජබාහු රජු රජ විය. හුදකලාව බදුලූතලා ගමට ගිය පළවෙනි පරාක්රමබාහු කුමරු විසින් එහි සිටි සංඛ නම් සෙනෙවියා මරා දැම්මේය. පළවෙනි පරාක්රමබාහු රජුට රාජ්යය ලබා ගැනීමට උපකාර කළේ කුඹල් තරුණයන්ය. පරාක්රම මහාදිපාදයන් රටට ඉමහත් සේවයක් කළ අග්රගණ්යයේ නායකයෙකු සේම රට ස්වයංපෝෂිත කිරිමේ වැඩ පිළිවෙළට කුඹල් ජන සහයෝගය ද ලබා ගත්හ. නමුත් කුඹල් ජනතාව රජුගේ දිග් විජය ප්රතිපත්තියට රුකුල් නොදුන් අතර ඔවුන් මැටි කර්මාන්තය දියුණු කිරිමට වෙහෙසී කටයුතු කළහ. පළමු වන පරාක්රමබාහු රජු ද කලක් කුඹල් ජනතා ඇසුරෙහි සිටිය බැවින් ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත විය. එසේ හෙයින් රජු ඔවුන්ව රටේ සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමේ ප්රතිඵලයක් ලෙස ඔවුන් ලවා වටිනා නිර්මාණ කරවිමට පෙළඹවීය. එකම අඩුව වුයේ ඔවුන් රාජ්ය සේවයෙන් දුරස් වීමය. රාජ්ය මැදිහත් වීම යටතේ කුඹල් ප්රජාවගේ සහය ඇතිව කළ සියලූ දෑ පොළොන්නරු යුගය අවසන් භාගයේ කාලිංග මාඝ විසින් විනාශ කරන ලදී.
මෙවැනි වතාවරණයක් පැවති යුගයේ ලම්භකර්ණ වංශික රජෙකු වූ තුන්වන විජයබා රජු දඹදෙණිය මුල් කරගෙන රාජ්යත්වයට පත් විය. එතුමා ශාසනය ප්රතිෂ්ඨාපනය කොට දඹදෙණිය විජයසුන්දරාමය හා සිරිගල විජයබා පිරිවෙන කුඹල් ජනයාගේ සහාය ඇතිව ගොඩනැංවීය. ඉන් අනතුරුව රාජ්යත්වයට පත්වන කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත නමින් ප්රකට දෙවන පරාක්රමබාහු රජු දඹදෙණියෙ හි දළදා මැදුරක් කරවා දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කරවීය. දළදා වහන්සේට සෘජුවම වතාවත් කිරිමේ අවස්ථාව කුඹල් ප්රජාවට හිමි වූයේ මෙම අවධියේ දී ය. එපමණක් නොව දෙවන පරාක්රමබාහු රජුගේ කාලයේ රට දුර්භික්ෂයකට මුහුණ පෑ අතර රජු රටේ තැනින් තැන පින්කම් කරවා සංඝයා වහන්සේලා ලවා පිරිත් කියැවීමෙන් මෙම දුර්භික්ෂය නැති කළ බවට සාහිත්ය මූලාශ්රයෝ සාක්ෂි දරති. ආරම්භක පින්කම කරවා ඇත්තේ කහඹිලියාගම ග්රාමය මූලික කොටගෙනය. මෙය කුඹල් ප්රජාවගේ සහභාගිත්වයෙන් කළ විශාලතම පින්කම ලෙස සැලකිය හැකිය. එසේ පැවැත් වූ පින්කම්වලින් රටේ පැවති සියලූ දුර්භික්ෂ හා වස්දොස් දුරු වී ගිය බව මහාවංශයේ සඳහන් වේ.
ශ්රී ලංකාවේ මැටි කර්මාන්තයේ ප්රභවය පුරාවිද්යාත්මක සාධක අනුව මෙගලිතික යුගයේ ඇති වී පසුව පියවරෙන් පියවර දියුණුවට පත් වී ඇත. ඒ අනුව අපට නිගමනය කළ හැක්කේ ආර්යයන් ලංකාවට පැමිණෙන විටත් මෙරට ජීවත් වු ජනයා මැටි කර්මාන්තය පිළිබඳ දැන සිටි බවය. ප්රථම ආර්යය සංක්රමණිකයින් වු විජය සමඟ පැමිණි පිරිස මෙරට සංස්කෘතිය වෙනස් කිරීමට සමත් විය. ඒ අනුව ලංකාවට ඉන්දියාවේ පැවති දියුණු මැටි මෙවලම් තාක්ෂණය ලැබෙන්නට ඇත. ඉතිහාස කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී නාගරික සංස්කෘතියක තොරතුරු හෙළි වන්නේ පණ්ඩුකාභය රඡුු කාලයේ සිටය. නගරයේ සැකැස්ම තුළ දී විවිධ පුද්ගලයන් සඳහා වු ගෘහයන් නිර්මාණය කළ බව මහාවංශය සාක්ෂි දරයි. ථුපවංශයෙ හි මැටි නවනීත යනුවෙන් හඳුන්වා ඇති අතර අනුරාධපුර යුගයේ පැවති උළු කර්මාන්තය හා ගඩොල් කර්මාන්තය පිළිබඳ ද සඳහන් වේ. උළු ගඩොල් සකස් කර ගැනීමට සුදුසු මැටි ලබා ගත් ආකාරය ද එහි විස්තර වේ. දේවානම්පියතිස්ස රජු නගර සීමා ලකුණු කිරීමේ දී කුඹල් ජනතාවට මැටි ලබා ගැනීමට ස්ථානයක් ද වෙන්කර තිබූ බවට සාහිත්ය මූලාශ්ර තුළින් පිළිබිඹු වේ.
මහින්දාගමනයත් සමඟ කුල දහ අටකට අයත් ශිල්ප ශ්රේණි මෙරටට පැමිණි බව ඉතිහාසයෙහි සඳහන් වේ. මහාවංශයෙහි මහාබෝධිය වැඩම වීම පිළිබඳ විස්තර කිරීමේ දී කුඹල් කුලයට අයත් පිරිස් පිළිබඳව ද සඳහන් වේ. ක්රි.පු 03 වන සියවසේ එතරම් දියුණුවක් දක්නට නොලැබුණු මැටි කර්මාන්තය ක්රි.ව 4-5 සියවස් වන විට ඉතා දියුණු තත්ත්වයක පැවතී ඇත. මුල් යුගය වන විට විදේශීය මැටි භාණ්ඩ පවා පරිහරණය කරමින් තාක්ෂණික වශයෙන් උසස් ශිල්ප ක්රම අනුගමනය කර ඇති බව පෙනී යන කරුණකි. පොළොන්නරු යුගය වන විට මැටි කර්මාන්තය ඉතා දියුණු තත්ත්වයක පැවතී ඇත. හස්ත කර්මාන්තය ලංකාවේ තැනින් තැන වර්ධනය වීමත් සමඟ කුඹල් ජනපද ද බිහිවීමෙන් ඒ බව ගම්ය වේ.
ක්රි.පු යුගයේ සිට විවිධ කලා ශිල්ප අනුව ඒවා පුරුදු පුහුණු කළ ශිල්පීන් හා කලාකරුවන් උස් පහත් යැයි සම්මත කරගත් කර්මාන්තයන්ට බෙදා වෙන් කළහ. එම ශිල්ප ශ්රේණීන්ට අයත් පවුල්වල සාමාජිකයන් එකිනෙකා හා සහයෝගයෙන් යුක්තව මෙම කර්මාන්තයෙහි නියැළුණහ.
වර්තමානයේ ද කහඹිලියාගම ජනතාව තම ප්රධාන ජීවනෝපාය මාර්ගය ලෙස වළං තැනීම සිදු කරන අතර සුළුතරයක් මීට අමතරව කෘෂී කර්මාන්තයේ නියැළී සිටින බව සඳහන් කළ හැකිය. මෙම ප්රදේශය තදාශ්රිතව කෘෂිබෝග වගා කටයුතු සිදු කෙරේ. එහි දී වී ගොවිතැන සිදුකරන අතර යල හා මහා කන්නය වශයෙන් වගා කටයුතු සිදු කරනු ලැබේ. එසේ හෙයින් මෙහි වාසය කරන්නන් කෘෂිකර්මාන්තය මත යැපෙන පිරිසක් බැව් සඳහන් කළ හැකිය. ඔවුන් කෘෂිකර්මාන්තයේ නියැළෙනවා සේම තමන්ට පාරම්පරිකව හිමි වූ කුඹල් කර්මාන්තය ද ජීවනෝපාය මාර්ගයක් වශයෙන් සිදු කරති. නමුදු නව උගත් පරපුර නගරයට ඇදී ඒමත් සමඟ කුඹල් කර්මාන්තය පසුබැසීමට ද හේතු සාධකයක් වී ඇත.
භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී මැටිවල භෞතික හා රසායනික සංයුතිය ප්රදේශයෙන් ප්රදේශයට වෙනස් වන්නකි. තද බව වර්ණ කැට සහිත බව ආදි ලක්ෂණ අනුව මෙන්ම එහි අන්තර්ගත ඛණිජ කොටස් අනුව ද මැටි වර්ග කෙරේ. ගම්බද කර්මාන්තකරුවෝ පළපුරුද්දෙන්ම ලබා ගත් දැනුම අනුව මැටි වර්ග තෝරා ගනිති. කහඹිලියාගම ජනයා තම නිෂ්පාදන සඳහා අතීතයේ දී මැටි ලබා ගෙන ඇත්තේ යාබඳ ප්රදේශයන්ගෙනි. නමුදු වර්තමානය වන විට මැටි ලබා ගැනීම සඳහා බොහෝ විට මොවුනට දුර බැහැර ප්රදේශ කරා යාමට සිදු වී ඇත. උසස් මැටි භාණ්ඩ නිපදවීම සඳහා මැටිවල භෞතික හා රසායනික සංයුතිය පිළිබඳ සියුම් පරීක්ෂණයක් කළ යුතුය. මැටි භාණ්ඩවල උසස් බවත් එහි පැවැත්මටත් මැටිවල සංයුතිය බලපායි. නමුත් මොවුන් ඒ සඳහා විද්යානූකූල පදනමින් තොරව ඔවුන්ගේ සාම්ප්රදායික දැනුම උපයෝගි කරගෙන භාණ්ඩ නිෂ්පාදනයට මැටි යොදා ගනී.
භාවිත කරන මෙවලම් පිළිබද අවධානය යොමු කිරීමේ දී පාරම්පරික ක්රම භාවිත කිරීම කහඹිලියාගම වැසියන්ගේ ප්රධාන ලක්ෂණයකි. සකපෝරුව තනා ගැනීම මැටි බඳුන් නිපදවිමේ නව ප්රවණතාවයක් එක් කළ අංගයකි. ක්රි.පූර්වයේදී සොයා ගන්නා ලදැයි සැලකෙන සකපෝරුව කුඹල් කර්මාන්තයේ යොදා ලද ප්රථම යන්ත්රය වේ. සකපෝරුව හැඩයෙන් මේසයක් මෙන් තිරස්ව කැරකෙන සේ සවිකරන ලද රෝදයක් බඳුය. ඉතා පැරැණි සකපෝරුව මධ්යයේ හෙලූ මැටි පිඬක් කැරකෙන විට අවශ්ය හැඩය සකස් කරනුයේ අතින් ය. ඉතා පැරැණි සකපෝරුව අතින් කරකවන ලද නමුත් පසුව කකුලෙන් කැරකවීම සකස් කරගන්නා ලදී. කල් ගතවත්ම මෙම සකපෝරුව විදුලියෙන් ක්රියා කළ හැකි පරිදි නිර්මාණය කොට ඇත. භාණ්ඩ තැනීම සඳහා මැටි කාර්මිකයන් විසින් සකපෝරුව වේගයෙන් කැරකැවෙද්දී එහි මැද තැබු මැටිපිඬෙන් අවශ්ය හැඩය ලබා ගැනීමට තරම් මැටි කාර්මිකයෝ පළපුරුද්දෙන්ම දක්ෂයෝය.
මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී විවිධ ක්රම යොදා ගනිති. අතින් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ක්රමය ඉතාම සරල ක්රමය වේ. මැටි ගුලියක් අත්ල මත තබා මහපට ඇඟිල්ලෙන් මැටි ගුලිය තෙරපා විවරයක් සාදා ගනියි. ඉන්පසු ඇඟිලි උදව් කරගෙන විවිධ හැඩවලට භාණ්ඩ නිර්මාණය කළ හැකිය. මෙය මැටි භාණ්ඩ තැනීමට යන්ත්ර සුත්ර සොයා ගැනීමට පෙර පැවති ක්රමය වේ. කහඹිලියාගම ගම්මානයේ ජනයා තවමත් මෙම ශිල්ප ක්රමය ප්රයෝජනයට ගන්නා ආකාරය දැකිය හැකිය. මැටි දරණු ක්රමයට සමාන ඝනකමින් යුත් තැටි දරණු එක මත එක සිටින ආකාරයට තබා විවිධ හැඩැති භාණ්ඩ නිපදවයි. සකපෝරුවෙන් වැඩ ගැනීමටත් ඒ ගැන වඩාත් සැලකිල්ලෙන් සිටිය යුතුය. මේ සඳහා පුහුණුවක් ද අවශ්ය වේ. මැටි භාණ්ඩ තැනීමට යොදා ගන්නා අච්චු සාදා ගන්නේ පැරිස් බදාමයෙනි.
අච්චුවලින් භාණ්ඩ නිපදවන ආකාර දෙකකි. අච්චුව මත මැටි තහඩුවක් තබා එය අතින් අච්චුවට තද කිරීම එක් ක්රමයකි. අනෙක් ක්රමය නම් අචිචු වටා මැටි මිශ්රණය වත් කීරීමය. මෙසේ වත්කරන මිශ්රණය වාත්තු මිශ්රණයයි. එය සාදා ගන්නේ සිලිකා වැලි පෙල්ස්පාර් ඩොලමයිට් හා ග්රෙග් ජලය සමග මිශ්ර කර බොල් මිල් යන්ත්රයෙන් පැය හතරක් පමණ අඹරා ගැනීමෙනි. පසුව කෙයොලින් බෝල මැටි අමු මැටි හා ජලය පෙර සඳහන් කළ මිශ්රණයට දමා නැවත පැය දෙකක් පමණ අඹරා ගනියි. එසේ සාදා ගන්නා වාත්තු මිශ්රණය අච්චුවලට වක් කිරීමෙන් අච්චුවේ හැඩයට භාණ්ඩය සාදා ගත හැකිය. මඳක් වියළා ගෙන පසුව විවිධ ප්රමාණයේ අත්සක උපයෝගි කොටගෙන වළං අඩිය සැකසීම සිදු කරති.
මැටි ආශ්රිත නිපදවෙන භාණ්ඩ රාශියක් වේ. ගෘහ උපකරණ, කලාත්මක මැටි භාණ්ඩ නිපදවීම, ගොඩනැගිලි ඉදිකරන ගඩොල් වර්ග හා ගොඩනැගිලි සෙවිලි කිරීම සඳහා නිපදවන උළු ආදිය භාණ්ඩ නිෂ්පාදනය ඒ අතර විශේෂ වේ.
භාණ්ඩ අලංකාර කිරීමේ දී සකස් කරගන්නා ලද භාණ්ඩ වියළෙන්නට තබා කැටයම්, මුද්රා හා දියර චිත්ර යන ශිල්ප ක්රමයන් යොදා අලංකාර කිරිම සිදු කරති. විශේෂයෙන් පලාපෙති සුලිය බිංදුව කුරුල්ලන් කොළ හා මල් මොස්තර ආදිය යොදා ගැනිම දැකිය හැකිය.
මැටි භාණ්ඩ නිපදවීමෙන් අනතුරුව ඒවා වියළීම සිදු කරයි. ඒවා තද අව්වේ වියලීම සිදු නොකරන අතර මඳක් රස්නයේ අව්වේ තැබීම හෝ බොහෝ විට මඳ පවනේ වියලීම සිදු කරති. පැත්තෙන් පැත්ත හැරවීමෙන් දින තුනක් පමණ වියළා පිලිස්සීමට සුදානම් කරති.
මෙහිදි වියළා ගත් මැටි භාණ්ඩ පිලිස්සීමේ දි මූලික වශයෙන් පෝරණු සැකසිම වැදගත් තැනක් ගනී. මෙම කහඹිලියාගම වැසියන් පිටත සැකැස්ම සකස් කිරිමේ දී දර දැමීමට කවුළු තුනක් සකස් කර ගනී. පොළොව සමතලා කොට ගඩොලින් දික් ආකාරයට බැමි තුනක් බැඳ පසුව එම බැම්ම දිගේ තනි ගඩොලින් අඩි 3-4 ක් උසට ගඩොල් නැංවීම සිදු කරයි.
පිළිස්සීමට වළං ඇසිරීමේ දී එකිනෙක මත ඉහළට සිටින සේ ගබඩා කරන අතර වා කවුළු තැබීම සිදු කරනු ලබන්නේ ඒ අතරට කැඩුණු වළං කැබලිති දැමීමෙනි. මෙම ගම්මානයේ දහයියා, දර, පොල්ලෙලි ආදිය උපයෝගි කර ගනිමින් වළං පිලිස්සීම සිදු කෙරේ. කෙසේ නමුත් මුල් කාලයේ දී වළං එක මත එක තබා පිදුරු ආදිය දමා පිළිස්සීම කොට ඇත.
ඔවුන් තමන්ගේ වැඩ කටයුතු කරන විට කාන්සිය විඩාව මග හරවා ගැනීමට කවි ගයනා කළහ. ඔවුන් ඒවා පොත් පත් ඇසුරෙන් නොව කට වහරෙන් ඉදිරියට ගෙන යති.
“බිඳලා මැටි කඳ බැදගෙන බරටම බඩහැල මිදුලේ ගොඩකර තෙයි
ලිහලා කැට එක විතරට පොඩිකර මා පැදුරේ
අව්වේ වනතෙයි
වියළා ගෙන මැටි ගල් කැට වෙන් කර වනෙන්
කොටා කුල්ලෙන් පොළතෙයි
පොළලා ගත් විට එක පමණට දිය ගහලා අනලා කැටි කරතෙයි
පාරම්පරික කුඹල් කර්මාන්තය පැවති කහඹිලියාගම ග්රාමය ද වර්තමානය වන විට පවුල් නවයකට සීමා වී හමාරය. ලෝකය විශ්ව ගම්මාන සංකල්පයට යොමු වීමත් සමඟ ශිල්පීය කර්මාන්ත ද නවීන පන්නයට හැඩගැසී ඇත. පරම්පරාවෙන් පරම්පරාවට නැතිවී යන අපේ සංස්කෘතික උරුමය සටහන් තැබීම වැදගත් වේ. එසේ හෙයින් කහඹිලියාගම ග්රාමය දඹදෙණිය යුගයේ සිට වර්තමානය දක්වා පැවත ඒම තුළින් ගම්ය වනුයේ අපගේ පාරම්පරික අනන්යතාවයයි.
මැටි කාර්මිකයන් මුහුණපා ඇති අර්බුද අතර කලාන්තරයක් තිස්සේ මැටි ලබා ගැනීම නිසා මැටි නිධි ප්රදේශ අහිමි වීමෙන් දුර ප්රදේශයන්ගෙන් මිලට ගැනීමට සිදුවිම, පිලිස්සීමේ දී අවශ්ය ඉන්ධන ලබා ගැනිමේ ප්රශ්න ඇලූමිනියමි ප්ලාස්ටික් භාණ්ඩවලින් එල්ල වන තර්ජන මැටි ඉවත් කර ගැනීමෙන් ඇතිවන වළවල් මගින් පරිසරයට අහිතකර බලපෑම් ඇතිවීම, පාරම්පරික ශිල්පීන් කර්මාන්තයෙන් බැහැර වීම ආදි කරුණු ප්රධාන වශයෙන් දැකිය හැකිය. මෙම අපහසුතා තිබුණ ද කහඹිලියාගම ග්රාමයේ වැසියන් තම පරම්පරික කර්මාන්තය කෙසේ හෝ ඉදිරියට කරගෙන යාමට දරන ප්රයත්නය ද අගය කළ යුතු කරුණකි. එසේ හෙයින් අපගේ සංස්කෘතියට ඇති වටිනා සම්පත් විනාශයට ඉඩ නොදී ඒවා අධ්යයනය කොට වාර්තා කිරීම හා ඔවුන්ගෙන් පසු පරම්පරාව දිරිගැන්වීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීම කාලෝචිත කරුණකි….
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න