පරණ බඩු හා උම්මා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පරණ බඩු වලට දෙනවා අලුත් බේසමක්, පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසමක්” කියාගෙන ගෙවල් ගාවින් යනකොටම මං හැමදාම “උම්මමා!!” කියල කෑ ගහනවා.
“උම්මමා” ඒ කියන්නේ තම්බි slang එකෙන් ආච්චිට. හරියටම කියනවනං අම්මගේ අම්මට. තාත්තගේ අම්මට කියන්නේ “වාපුම්මා” කියලා.
මගේ “වාපුම්මා” ඒ කියන්නේ තාත්තගේ අම්මා නැතිවෙලා ගොඩක් කල්. ඉතිං හිසරදේටයි ඇඟේ අමාරුවටයි පැනඩෝල් වගේ මට ඉන්න එකම ආච්චි මෙයා.
උම්මමා වෙනුවට මං සමහර වෙලාවට මෙයාට කතා කරන්නේ “බඩී” කියලා.
උම්මමාට දැං වයස 86යි. තාම හරිම ශක්තිමත්. ඕන දේකට ඔට්ටුයි. පවුලේ කඩකුට්ටි මමයි එයයි ගොඩක් එකමුතුයි. අපි දෙන්නාගේ එකමුතුව මගේ වට්ස්ඇප් ⁣ස්ටෝරීසුයි ඉන්ස්ටාග්රම් ස්ටෝරීසුයි දකින එක්කෙනෙක් නං හොඳටම දන්නවා.
මං පුන්චි කාලේ ඉඳං මාව ගොඩක්ම බලා ගත්තේ එයා. තාම මගේ ඔලුවට තෙල් දාලා මසාජ් කරන වැඩේ ඉදං මගේ ඇඳ අස් පස් කරන වැඩේ වෙනකං කරන්නේ එයා.
අපේ ආච්චිට නූල් ගොතන්න පුළුවං. නිකං නෙමෙයි සුපිරියටම පුළුවං. අපේ ගෙදර තියෙන හැම මේසයක්, පුටුවක් විතරක් නෙමෙයි TV එක උඩට දාලා තියෙන්නෙත් ආච්චිගේ ⁣ගෙතුමක් තමයි.
ඉස්සර එයාගේ නංගි ආච්චිගෙන් ගොතන්න ඉගෙන ගන්න ඕන කියල අහපු වෙලාවක එයාට උගන්නද්දී එක වෙලාවක මළ පැනලා ආච්චිගේ නංගිගේ නළල හිල් වෙන්නම ගොතන ඉඳිකට්ටෙන් ඇනපු චරිතයක් තමයි අපේ ආච්චි.
එයා ඒ කතා කිව්වම අපි එයාට මොකක් හරි විහිලුවක් කරන⁣වා හැමදාම.
ඉතිං දවසක් අපේ ගේ ගාවිං ට්රක් එකක් ගියා, “පරණ බඩු වලට දෙනවා අලුත් බේසමක්, පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසමක්” කියාගෙන. මාත් ඉතිං “උම්මමා!!” කියලා කෑ ගහලා ආච්චිට කතා කලා.
මෙයත් ගොඩක් වේගෙන් දුවගෙන ඇවිත් “ඇයි? ඇයි? මොකද?” කියල අහද්දී මං කිව්වා “පරණ දේවල් වලට අලුත් බේසමක් දෙනවලු, අර වාහනේට නග්ගලා මං බේසමක් ගන්නද?” කියලා.
මගේ කරුමෙට මං කතා කරද්දී ආච්චි ඉඳලා තියෙන්නේ උයන ගමන්. අතේ තිබ්බේ පොල් කටු හැන්දක්. දුන්නේ නැද්ද ඒකෙං පිටේ පාර හිටින්නම. මේ සිද්ධිය වුනේ දැං අවුරුදු දෙක තුනකට කලිං. තාම ගේ ගාවිං අර ට්රක් එක යද්දී මං එයා දිහා හොර ඇහිං බලලා හිනා වුනාම එයත් හිනා වෙනවා.
අම්මට හොරෙන් මගේ ගොඩක් වැඩ කරල දෙන ආච්චි දවසින් දවස වයසට ගියත් තාමත් මට තියෙන ඒ ආදරේ අඩුවක් නං නෑ. ඇත්තටම අද ආච්චි ගැන ගොඩක් දේවල් ලියන්න හිටියට උදේ ඉඳං ගොඩක් වැඩ කරපු නිසා අමතක වෙලාම ගියා. දැං මතක් වුනේ දැං ටිකකට කලිං ආච්චි මට මසාජ් එකක් දාලා මට එයාගේ ඔඩොක්කුවේම නින්ද ගියා.
දැනුයි නැගිට්ටේ.. පැය 4ක් උම්මමාගේ ඔඩොකකුවේම නිදි. 🙈
~ නානා
– තම්බියෙක්ගේ ඩයරිය
උපුටා ගැනීම : Saajid Nazmi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!