යාලු වෙලා හිටිය අවුරුදු හතටවත් එක වහලක් යට උන්නු පහුගිය අවුරුදු තුනටවත් එක වතාවක්වත් නයනි ජීවක අඬනවා දැකලා තිබ්බෙ නෑ.
ජීවකනම් ඇති පදම් දැකලා තිබ්බා නයනි අඬනවා.ඒ කාලෙ පොඩි දේටත් නයනිට ඇඬුනා.නයනිව තරහ ගස්සන්න ඕනෙ උනාම ජීවක කිව්වෙ නයනිගෙ කඳුලු ග්රන්ථිය තිබ්බේ සෑහෙන පල්ලෙහායින් කියලා.
ඒ කාලෙත් මේ කාලෙත් යාන්තමට හිත රිදුනම අඩුවැඩි වශයෙන් නයනි ඇඬුවා.හැබැයි ජීවක අඬන්න හිතුවෙවත් නෑ.
කඳුළුයි දුකයි ගෑණු ජීවිතවල එකට පෑහුණාට පිරිමි ජීවිතවල කඳුළු හැලුණොත් හැමෝම බැලුවෙ කොන්ද පණ නැති පෙන්දෙක් දිහා බලන සමච්චලෙන්.ඉතින් මීට කලියෙන් ජීවකට අඬන්න ඕන කමක් තිබුනද නැද්ද කියලා ටක්කෙටම නොදන්නවා වුනාට මීට කලියෙන් ජීවක මතක ඇති කාලෙක අඬලා නැති විත්තිය නයනිට සහතිකයි.
එහෙව් ජීවක අඬනවා.
“අඬන්න එපා ජීවක.පිරිමි අඬන්න හොඳ නෑ.”
නයනි කියපු දේ ඇහුනෙ නැති විදිහට ජීවකගෙ ඇස්වලින් තවත් කඳුළු ගැලුවා.
වෙනදට නම් ජීවක අඬනවා නෙවෙයි හයියෙන් හුස්මක් බිමට අත ඇරියත් නයනි කලබල වෙනවා.
ඒත් අද ජීවක අඬද්දිත් නයනි හිත තද කරගෙන බලාගෙන උන්නෙ වෙන කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුනෙ නැති නිසා.
ජීවක ඇත්තටම පුදුමාකාර හොඳ හාදයෙක්.මේ පොළවට ඒ ජාතියෙ මිනිස්සු හොඳ වැඩි ද මන්දා කියලා නයනිට හිතුනෙ වතාවක් දෙවතාවක්ම නෙවෙයි.ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් ගිය කාලෙ විතරක් නෙවෙයි රස්සාවට ගියාට පස්සෙත් හැමදාම ජීවකට ඉබේම භාර වුනේ අනිත් උදවියගෙ දුක්ගන්නාරාළ පට්ටම.
සමහරවිට ඉස්සරෝම කාලෙ නයනිගෙ හිතේ ජීවක ගැන ආලවන්තකමක් පටන් ගන්න ඇත්තෙත් ඔය හැම මනුස්සයෙකුගෙම දුකට බටර් වෙලා වැක්කෙරෙන හිත හින්දා වෙන්නත් ඇති.
පැයක් හමාරක් වැඩ කරලා කලින් පනින මිනිස්සු හිටිය ඔෆීසියේ වෙලාවට කලියෙන් ගිහින් ඕෆ් වෙන වෙලාවත් පැනලා තව ෆයිල් දෙකතුනකුත් උස්සාගෙන ගෙදර ආවෙ ජීවක විතරක්ම වෙන්න ඕනෙ.පුළුපුළුවන් හැමවෙලාවෙම කාගෙන් හරි කීයක් හරි කඩාගන්න උන් හිටිය ඔෆීසියේ,වැඩෙත් කරලා දීලා තනියෙන් ආපු අම්මෙක්ට ගමන් ගාස්තුවත් අතමිටමොලවලා ගෙදර යවපු හැටි හවස ගෙදර ඇවිදින් ප්ලේන්ටියක දිය කරලා නයනිත් එක්ක බෙදා ගනිද්දි ජීවකගේ ඇස් දියමන්ති කැට වාගෙ දිලිසුණා.
“අනේ මන්දා ජීවක, සමහරවිට ඔය මිනිස්සු ඔයාව රවට්ටලා වැඩ කරගන්නවත් ඇති ඕනතරම්.”
නයනි නෝක්කාඩුවක් නොවෙන ගාණට නෝක්කාඩු කියද්දි ජීවක නෑහුණා වගේ හීනියට විරිත්තලා ප්ලේන්ටියේ ගිලුණා.
ඉතින් ජීවකට විසඳන්න මුලු ලෝකෙම ප්රශ්න ඒ උරපත්ත උඩ ගොඩ ගැහිලා තිබුණා.රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ ප්රශ්න, ගෙදර අම්මලා තාත්තලාගෙ ප්රශ්න, වටේ පිටේ ඇත්තන්ගෙ ප්රශ්න එකී මෙකී නොකී කප්පරක් ප්රශ්න.
නයනිගෙ උරපත්ත උඩ හිටියෙ ජීවක විතරයි.ජීවක මුළු ලෝකෙම මිනිස්සුන්ගෙ ප්රශ්නවලට උදේ හවා උත්තර හොයද්දි ජීවක කෑවද බිව්වද ඇහැ පියාගත්තද උදේට ඔෆීසියට අඳින්නෙ මොන පාට කමිසයක් ද, හෙම්බිරිස්සාව වගේ නම් කොත්තමල්ලි බොන්න ඕනෑ නේද වගේ ප්රශ්නවලට නයනි උත්තර හෙව්වා.
රටේ ලෝකේ ප්රශ්න අස්සේ ජීවකට කරදර නොවෙන්න තමන්ගේ ප්රශ්න පත්තරවලට තමන්ම උත්තර හොයාගන්න නයනි පුරුදු වුනේ කසාද බඳින්නත් කලියෙන්ම ඉඳන්.ඉතින් කලාතුරකින් දවසක ප්රශ්න පත්තරේ දිග වැඩි වෙලා ජීවක ඉස්සරහ කඳුළු හැලුනොත් මිසක නයනිට ප්රශ්න තිබුණ විත්තියක්වත් සමහරවිට ජීවක දැනන් ඉන්න නැතුව ඇති.
ඉස්සර වගේ හැමතිස්සේම දිය වෙලා වැක්කෙරෙන්නේ නැත්තේ මොකද කියලාවත් ජීවකට හිතුනෙ නැත්තෙ ඇයි කියලා නයනි කල්පනා කළා.
ඒ කොහොම වුනත් දැන් ඒ ඔක්කොම දේවල් වෙලා ඉවරයි නෙ.
“මං දන්නවා නයනි, මම වැරදි ඇති.වැරදි ඇති නෙවෙයි,මම වැරදියි.මම ලෝකෙ අනිත් එවුන්ගේ ප්රශ්න ගැන හිතහිතා හිටියා මිසක් ඔයා ගැන හොයා බැලුවෙ නෑ.
ගෙදර මිනිහා හොයලා බලන්නෙ නැතිව වෙන කවුද බලන්නද ගෑණියෙක් ගැන.
ශික්..මම මහ ජරා මිනිහෙක්.මට සමා වෙන්න නයනි.”
හොඳටෝම අවුල් වෙච්චි කොණ්ඩෙ දෑතින්ම ඇද ගන්න ගමන් ජීවක තමන්ටම අවලාද කියනවා.
“නෑ ජීවක, ඔයාගෙ වැරැද්දක් නැතුව ඇති.ඕන වෙලාවක මට ඔයා එක්ක මගේ ප්රශ්න කතා කරන්න පුළුවන් කමක් තිබුණා.මමයි එහෙම කළේ. නැත්තෙ.මගෙයි වැරැද්ද.”
නයනිගෙ වචනවලට ජීවකගෙ හිත හදන්න බැරි බව දැන දැනත් නයනි එහෙම කිව්වෙ ජීවක දුක් වෙනවා බලාගෙන ඉන්න එක කවදත් නයනිට අමාරු වැඩක් හින්දා.
“ඒ කාලෙ ඉඳලම මම ඔයාට දුන්නෙ බොරු බලාපොරොත්තු .මම ඔයාව කොච්චර තැන්වලට එක්කන් යනවා කියලා පොරොන්දු වුනාද?කොච්චර බොරු බලාපොරොත්තු ඔයාගෙ හීනවලට එකතු කළා ද?
එක අතකට ඔයා ගත්ත තීරණේ හරි ඇති නයනි.ඔයාට හදලා දෙන්න පොරොන්දු වෙච්ච ලෝකෙ වෙනුවට මම රටේ මිනිස්සුන්ගෙ ලෝකෙ ලස්සන කරන්න යද්දි ඔයාගෙ ලෝකෙ මට අමතකම වෙලා ගියා.ඔයා මේ කරපු දේ හරි.”
ජීවක ඔහේ හිස් අහස දිහා බලාගෙන කියවගෙන ගියා.
“ජීවක, මං ඔයා එක්ක අවුරුදු ගාණක් හිටියෙ, ඔයාගෙ කසාද ගෑනි වෙලා ආවෙ ඔය පොරොන්දු බලාගෙන නෙවෙයි.ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ?
ඔයා හිටියෙ කොතනද මගෙ ලෝකෙ තිබුනෙ එතන.ප්ලීස් ඔය විකාර හිතෙන් අයින් කරගන්න”
“මම දන්නෙ නෑ නයනි.මට තාමත් හිතාගන්න බෑ ඇයි ඔයා මෙහෙම තීරණයක් ගත්තෙ කියලා.ඇයි ඔයා එක සැරයක්, එකම එක සැරයක් මගෙත් එක්ක මේ ගැන කතා කරන්න හිතුවෙ නැත්තෙ.ඔයාට මගෙන් දුරස් වෙලා ඉන්න පුළුවන්ද මම දන්නෙ නෑ.ඒත් මම?
මම කොහොමද නයනි ඔයාගෙන් ඈත් වෙලා ගිහින් ආයෙත් ජීවත් වෙන්නෙ?”
ජීවකගෙ බර හුස්ම තැවරිච්ච ප්රශ්න පත්තරේ හැමදාම වගේ නයනිගෙ උරපත්ත උඩින් හිට ගත්තා.
“එක සැරයක් දෙසැරෙකට වඩා මට ඔයත් එක්ක කතා කරන්න හිතුනා ජීවක.ජීවිතේ බරම තීරණයක් ගත්තෙ ගෙදර ඔක්කොම අතඇරලා ඔයාව කසාද බඳිද්ඳි.ඒ තීරණේ ගනිද්දි ඔයා මගේ ළඟ හිටියා.මම ඒ තීරණේ ගත්තෙ අපි දෙන්නම වෙනුවෙන්.
මේ තීරණේ ගත්තේ මම තනියෙන්.ඒත් මාව විශ්වාස කරන්න ජීවක මම මේ තීරණේ ගත්තෙ ඔයා වෙනුවෙන්.මොකද ඔයාටවත් වෙන කාටවත් මේ වෙලාවෙ මීට වඩා වෙනස් උත්තරයක් මේ වෙලාවෙ මට දෙන්න බෑ.මාසයක් තිස්සේම මම මේ තීරණේ එක්ක තනි රැක්කේ ඔයා ඒ මාසෙත් වෙනදා වගේම සතුටින් තියන්න.ඔයා මට ආදරේනම් මගේ තීරණේ පිළිගන්න ජීවක.මං මේ කියන්නෙ ඔයාට තියෙන ආදරේට.”
නයනි උත්තර බැන්දේ ජීවකටද නැතිනම් තමන්ගෙම හර්ද සාක්ෂියටද කියලා නයනිට හිතා ගන්න බැරි වුණා.
සමහරවිට ජීවකට කලින් මේ දේවල් කියලා තිබුණ නම් කියලා නයනිට පහු ගිය මාසෙ තිස්සෙම නොහිතුනා නෙවෙයි .ඒත් මේ වෙද්දි නයනිව සනීප කරන්න බෙහෙතක් ලෝකෙ හොයාගෙන නැති විත්තිය දොස්තර කියපු දවසේ සෑහෙන කල්පනා කරලයි ජීවකගෙ ඔලුවට මේ බර දෙන්නෙ නෑ කියලා නයනි හිතා ගත්තෙ.ඒ තීරණේ හරිද වැරදිද කියලා කියන්න තාම කල් මදි කියලයි නයනිට හිතෙන්නෙ.
“ඇඳිරි වැටීගෙන එන්නෙ මහත්තයා.මං මේකෙ ගේට්ටුවට ඉබ්බා දාන්ට ඕනෙ.නැතිනම් රෑට එකේකා මේක අස්සෙ රිංගනවා.දැන් මදෑ ඔය.ගෙදර යන්න මහත්තයා.”
කැරකොප්පුවෙ මුරකාරයා වදෙන් පොරෙන් ජීවකව එළියට එක්කගෙන යද්දි නයනි බිම්කරුවලට හා වෙලා නොපෙනී යන්න ගියා.
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera