පරංගින්ට බැටදුන් සිංහල තුවක්කු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලාංකීය ජනතාව තුවක්කු භාවිතයට යොමු වුණේ පරංගීන්ගේ පැමිණීමත් සමඟ ද යන්න විවාදයට තුඩු දෙන කරුණක්. ලංකාවට පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතින් සමඟ ඇති වූ සටන්වලදී  දේශීය ජනතාව ආයුධ විදියට බොහෝ විට භාවිතා කලේ කඩු, දුනු, ඊතල හා තුවක්කුයි. ඈතම අතීතයේ දී නම් බොහෝ විට සටන්වලදී කඩු, දුනු, ඊතල භාවිතයට ගත්තත් 16 වන සියවස ආරම්භයත් සමඟ යටත් විජිතවාදයේ අනිසි විපාක විදියට යුරෝපීයන්ගේ බලයට නතුවීමට අපට සිදු වුණා. විදේශිකයන් වූ ඔවුන්ගේ නව ආයුධ හමුවේ දේශීය ජනතාවත් එවැනි තාක්ෂණයක් භාවිතයෙන් තුවක්කු නිර්මාණය කරන්නට ඇති. බොහෝ අයගේ මතය වන්නේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමඟ ලංකාවට තුවක්කු නිර්මාණ තාක්ෂණයත් පැමිණි බවයි.නමුත් ඊට පෙර ලාංකීය ජනතාව ඔවුන් විසින්ම නිපදවන ලද තුවක්කු විශේෂයක් භාවිතයට ගෙන ඇති බවට සාධක පවතී.

එකල පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් දේශියන්, යුරෝපියන්ගේ තුවක්කුවලට වඩා වෙනස් ආකාරයේ තුවක්කු විශේෂයක් භාවිතයට ගෙන තිබේ. ඒ බව රිබෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයා ද සඳහන් කර තිබේ. ඒ අනුව එකල දේශීය ජනතාව බොන්ඩි කුල නමින් හැඳින්වූ තුවක්කු විශේෂයක් භාවිතයට ගෙන තිබේ. එනමුත් එකල වැඩි වශයෙන් ඒවා භාවිතයට නොගත්තත් 1505 දී පෘතුගීසීන්ගේ ආගමනයෙන් පසුව දේශීයන් තුවක්කු භාවිතයට වඩාත් උනන්දු වූ බව සිතීම වඩාත් සාධාරණ වේ.

පෘතුගීසීන් ආදී යුරෝපීය ජාතින් මෙල්ල කිරීමට සුද්දාගේම ආයුධයක් වුණු තුවක්කු භාවිතය වඩා සුදුසු බව දේශීයන් සිතන්නට ඇති. ඒ අනුව කාලයක් ගත වන විට සිංහලයා යුරෝපීයන්ටත් වඩා දක්ෂ ලෙස තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් කලාත්මක ලෙස තුවක්කු නිෂ්පාදනයටත් ඒවා භාවිතා කිරීමටත් හැකියාව ලබා ගෙන තිබේ. දේශීයන් නව තාක්ෂණය ඉක්මනින් අල්ලා ගැනීමට තරම් දක්ෂවීම නිසා පෘතුගීසින්ගේ තුවක්කුවලටත් වඩා තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ මට්ටමක දේශීය තුවක්කු පැවති බව පෙනේ. ඒ බව තහවුරු වන්නේ පෘතුගීසීන්ගේ තුවක්කු ඉතා ඉක්මනින් පිපිරුණත් සිංහලයාගේ තුවක්කු එසේ නොවීය.වෙඩි බෙහෙත් පත්තුවීමෙන් තුවක්කු බඳේ ඇතිවන ප්‍රසාරණය පාලනයට අවශ්‍ය තාක්ෂණය සිංහල ශිල්පීන් මැනවින් දැන සිටියහ. එසේම පෘතුගීසීන්ගේ කාලතුවක්කුවලට යොදන උණ්ඩවලට වඩා බරින් වැඩි උණ්ඩ සිංහල කාලතුවක්කුවලට යෙදීමට ද හැකි වූ අතර තුවක්කු භාවිතය පිළිබඳවත් මනා දැනීමක් ද සිංහලයන් සතු වී තිබේ. සිංහලයෝ කෙටි තුවක්කු භාවිතයේ මනා නිපුණත්වයක් දැක් වූ බව පෘතුගීසීන් පිළිගත් බව නීල් රණවක මහතාගේ “ සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර “ කෘතියේ ද සඳහන් කර තිබේ.

සිංහල ශිල්පීන් නිම කරන ලද තුවක්කු කඳ ,කොකා, කන,අච්චු කූර, අච්චු කඳ ,කන් පඩිය යන කොටස්වලින් සමන්විත වුණු අතර ශ්‍රී  ලංකාවේ පැරණි ම “ කොඩිතුවක්කුව “” රුවන්වැල්ලේ පුරාණ මැදගොඩ පත්තිනි දේවාලයේ දැනට ආරක්ෂිතව පවතී. මෙම සමන් දේවාල භූමිය පෘතුගීසීන්ගේ බලකොටුවක් බවට පත්ව කලක් තිබූ නමුත් දෙවනි රාජසිංහ රජතුමා ඔවුන් සමඟ සටන් කොට සබරගමුවෙන් එලවා දැමීමට කටයුතු කර තිබේ.එසේ මුදාගෙන බලය අල්ලා ගත් බලකොටුවේ තිබූ වානේවලින් සාදන ලද මේ කාලතුවක්කුව පසුකාලීනව හමුවී තිබේ.එකල භාවිත නවීන ආයුධ අතර මේ කොඩිතුවක්කුව ඉතා විශේෂ ආයුධයක් වන්නට ඇති අතර මෙම තුවක්කුව වසර 400 කට ආසන්න කාලයක් පැරණි බව හඳුනා ගෙන තිබේ.මේ තුවක්කුවට වෙඩි බෙහෙත් දමා උණ්ඩය පිට කරන යකඩ බටයේ ඉදිරිපස ලී කනු දෙකක් උඩ සවි කර තිබේ.කාලතුවක්කු සේනාංකයේ රාජකාරි කළ හේවායින් කොඩිතුවක්කු යන වාසගම භාවිතා කර තිබේ. බොහෝ විද්වතුන්ගේ අදහස් විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ මෙම කොඩිතුවක්කුවේ ඉතිහාසය සීතාවක රාජසිංහ රජු දවස දක්වා දිවෙන බවයි.

මෙම තුවක්කුවේ මුල් ස්වරූපය කිසිදු වෙනසකට බඳුන් නොකර තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. තුවක්කු බටෙහි  කඳේ ඇතුළත ඇති වෙඩි බෙහෙත් ඍජුවම ගිනි පන්දමක් මගින් ගිනි දැල්විය හැකි අයුරින් නිර්මාණය කර තිබේ. ජනප්‍රවාදවලට අනුව විශේෂිත කොළ වර්ගයක් යොදා මෙම තුවක්කුවෙන් වෙඩි තැබිය හැකි බව කියවේ. එක් දහස් අටසිය ගණන්වලදී සිංහලයන් විසින් නිෂ්පාදන කරන බවට සැලකෙන මෙය සතුරාට ඉතා ආසන්නයේ සිට පහරදීමට භාවිතා කර තිබේ. පෘතුගීසීන්ට වඩා ඉතා හොඳ ක්‍රියාකාරිත්වයක් මෙන්ම ඉලක්කයක් මේ තුවක්කුව සතු වූ බව ද පැවසේ.

මේ පත්තිනි දේවාලයේ කොඩිතුවක්කුව සම්බන්ධව තවදුරටත් තොරතුරු විමසීමේ දී මූලාශ්‍රයක් වශයෙන් මැදගොඩ සන්නස ඉතා වැදගත් වේ. එහි සඳහන් ආකාරයට මේ තුවක්කුව රාජසිංහ රජු මැදගොඩ පත්තිනි දේවාලයට ඉඩම් පරිත්‍යාග කරන විට එකල දේවාලයට ලබාදුන් එකක් බව විශ්වාස කළ හැකි ය. එම තුවක්කුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ කටයුතු නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කර ඇති අතර ඒ රාජකාරි වෙනුවෙන් ඉඩම් ද ප්‍රදානය කර තිබේ. ඒ අනුව 1582 දී රජු සතුව පැවති කොඩිතුවක්කුවලින් එකක් මේ සන්නසකින් මේ දේවාලයට පූජා කර ඇති බව පැහැදිලිය. එකල සීතාවක මාළිගාව හා පත්තිනි දේවාලය කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා තිබුණ බැවින් එකල පෙරහැර පවත්වන කාලයේ දී රජතුමාට ඒ බව දැනුම් දෙන්නේ රජු දේවාලයට පූජා කරන ලද කොඩිතුවක්කුවෙන් වෙඩි නිකුත් කිරීමෙනි.අදටත් පෙරහැර ආරම්භයට පෙරත්, අවසානයේදීත්, දිය කැපීමේදීත් ඒ ආකාරයට වෙඩි නිකුත් කරයි.අද වනවිට ආරක්ෂිතව පවතින්නේ ඒ කොඩිතුවක්කුවයි. එය දේවාලයේ ශබ්ද පූජා සඳහා රජු විසින් පූජා කළ එකක් වීම නිසා ප්‍රමණයෙන් කුඩාම එකක් විය හැකි වුවත් මෙයට වඩා බලවත් මෙන්ම විශාල කාලතුවක්කු සිංහලයා එකල භාවිතා කරන්නට ඇති බව අනුමාන කළ හැකියි.

ඒ අනුව එකල සතුරන් සමූහ වශයෙන් මරා දැමීමටත් ,කඳවුරු, තවලම් විනාශ කිරීමටත් සිංහලයන් කාලතුවක්කු හා කොඩිතුවක්කු භාවිතා කර තිබේ. කොඩිතුවක්කුව සැහැල්ලු ප්‍රහාරක කාලතුවක්කුවකි. තුවක්කු නිර්මාණයට සිංහලයා සතු හැකියාව මේ කොඩිතුවක්කුවෙන් මැනවින් අවබෝධ කරගත හැකිය. විවිධ ප්‍රමාණයෙන් දැව කඳන් භාවිතා කරමින් නිර්මාණය කරන ලද මේ කොඩිතුවක්කුව පාද තුනක් සහිතව නැවත එකලස් කළ හැකි පරිදි නිර්මාණය කොට තිබෙන්නකි. එය හෙළ ශිල්පීන් සතු තාක්ෂණික හැකියාව මැනවින් හෙළි කරනු ලබයි. එය එකල සතුරන්ට එරෙහිව යුධ කටයුතු කිරීමේ දී කැළෑ, බෑවුම්, දුර්ග ඔස්සේ යාමට සිදුවන විට රැගෙන යාමේ පහසුව සඳහා එසේ නිර්මාණය කරන්නට ඇත. නැතහොත් කෙනෙකුගේ කර මත තබා ගෙන යාම වුව ද පහසු වේ.

එකල ලංකාවේ පාලනය ගෙන ගිය ටිකිරි බන්ඩාර කුමරු හෙවත් රාජසිංහ රජු නවීන අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් නිර්මාණයට කටයුතු කර තිබේ. රාජසිංහ රජු දක්ෂ වෙඩික්කරුවෙක් වූ අතර එතුමාගේ පාබල සේනාවටත් සටන්කරුවන්ට අමතරව වෙඩික්කාරයෝ ද ඇතුළත් විය. එකල පෘතුගීසීන් කොළඹ කොටුවේ සිට සීතාවක රාජධානියට පහර දීමට වෙඩි බෙහෙත් පටවා ගත් පහුරු දෙකකින් කැළණි ගඟ දිගේ ඉහළට එන විට රාජසිංහ රජු රක්ගහවත්ත ප්‍රදේශයේ දී කාලතුවක්කු දෙකක් ගඟ දෙපැත්තේ ස්ථානගත කර ඒ පහුරු දෙකට පහර දුන් අතර එයින් එකක් පත්තු කර ඇත්තේ රාජසිංහ රජු විසිනි. දියේ ගිලුණු ඒ පහුරු නැවත මතුව ඇත්තේ කඩුවෙල ප්‍රදේශයෙනි.

පසුකාලීනව යුරෝපීයන්ගේ තාක්ෂණය ද භාවිතා කරමින් තුවක්කු නිර්මාණයට සිංහලයා කටයුතු කර තිබේ. අත් තුවක්කුව එවැනි යුරෝපීය පිස්තෝලයේ දේශීය නිමවුමකි.  ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යැයි සැලකෙන කැටයම් සහිත අලංකාර පිස්තෝලයක් මහනුවර කෞතුකාගාරයේ දැක ගත හැකියි.ඒ අනුව දාච්චි ගොඩැල්ල, යබරළුව, කම්මල් ගොඩැල්ල ප්‍රදේශවල අනෙකුත් ආයුධ සමඟ තුවක්කුත් නිෂ්පාදනය කර තිබෙන අතර එකල උඩරැටියන් භාවිත කළ තුවක්කු අතර කොඩිතුවක්කුව, බොන්ඩිකුලම,ගිනි තුවක්කුව,අත් තුවක්කුව, කාලතුවක්කුව ප්‍රමුඛ වී තිබේ.යකඩ, ලෝහ මෙන්ම පිත්තල ආදී මූලද්‍රව්‍ය භාවිතයෙන් තුවක්කු නිෂ්පාදනයට පෙළඹුණු ලාංකිකයන් ඒවා දුර්ග කපොලු ආදී ස්ථානවල සවි කර තිබුණි. සිංහල කාලතුවක්කුවල උණ්ඩ ලෙස ගෝලාකාර ගල් ,යකඩ උණ්ඩත් , තුවක්කු හා අත් තුවක්කු සඳහා අඟලක් පමණ දිග යකඩ කූරුත් යොදා ගැණිනි. ඒ හැරුණු විට  විදේශ රටවලින් ද වෙඩි බෙහෙත් ගෙන් වූ අතර ලංකාවේ වෙඩි ලුණු ද භාවිතයට ගෙන තිබේ.මීමුරේ වෙඩි ලුණු ගුහාව එසේ වෙඩි ලුණු ලබාගත් ස්ථානයකි.පෘතුගීසීන් පමණක් 1600ක් ඝාතනයත්, 1803 දී හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බෙලීගේ හමුදාවට උඩරට කාලතුවක්කු හමුදා එල්ල කළ දරුණු ප්‍රහාරයත්, දේශීය කාලතුවක්කුවේ වික්‍රමය මැනවින් හෙළි කරයි. එසේම සීතාවක රාජසිංහ රජු කොළඹ පෘතුගීසි කොටුවට පහරදීමට සිංහල හමුදාවට කාලතුවක්කු 150ක් පමණ ලබා දී තිබූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

එකල සිංහලයන් භාවිතා කරන ලද තුවක්කු කොළඹ, මහනුවර කෞතුකාගාරවල පමණක් නොව විදේශීය රටවල් වූ එංගලන්තයේ හා ඇමරිකාවේ කටුගෙවල්වලත් දැක ගත හැකියි. රාජකීයන්ගේ තුවක්කු පැරණි උඩරට සැරසිලි රටාවලින් අලංකාර කොට තිබීමත් විශේෂත්වයක්. ඒ අනුව  යුරෝපීය ජාතීන් පැමිණීමටත් පෙර සිටම දේශීය ශිල්පීන් තුවක්කු භාවිතයට හුරුව සිට ඇති බවත්, යුරෝපීය ජාතීන්ගේ  ආගමනයත් සමඟ තාක්ෂණික වශයෙන් දියුණු මට්ටමේ තුවක්කු නිෂ්පාදනය කොට යුරෝපීයන්ගේ තාක්ෂණය පවා අතික්‍රමණය කළ බව කිව හැකියි.

 උපුටා ගැනීම:     D. නිරාෂා නේරංජනා
B. A. in History

                      The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!