මෙය මගේ ළඟම මිතුරියකගේ ලොකු අයියාගෙ කතාවකි.ඔහුට ඒ වනවිට වයස අවුරුදු 32ක් වුවද පෙම්වතියක නැත.ඊට සාධාරණ හේතු ද ඇත.ඔහු කන්නේ තම අම්මාගෙ අතින් පිළියෙල වූ ආහාර පමණය.කඩෙන් කනවානම් අනිවාරෙන්ම පැකට් කල කෑම පමණි.සහල් පවා පැකට් කල ඒවා විය යුතුය.පැකට් කර නැති සෑම කෑමක්ම අපිරිසිදු යැයි ඔහු සිතයි.ඔහු පිට ගෙදරකින් තේ උගුරක්වත් නොබොයි.දැන් ඔබ සිතන සේම ඔහුට ලෙඩක් ඇත.ලෙඩට නමක් නැත.
කෙසේ නමුත් ඔහු ඉතා කුඩා ශරීරයක් හිමි අහිංසක කොල්ලෙකි.ගෙවුණු වසර 32 තුළ කෙල්ලෙකුගේ අවශ්යතාවයක් මොහුට නොවූයෙන් දිනෙක දෙමාපියන් විසින් ගෙන ආ මංගල යෝජනවකට අනුව එකී මනමාලී බැලීමට යාමට පිටත්විය .ඔහුටත් පවුලේ සැමටත් මෙවැනි ගමන් කිහිපයකටම සහභාගී වී ඇත්දැකීම් බහුල වූ හෙයින් අද යන ගමනෙහිද අමුතු වෙනසක් නොවීය.
ඔවුන් වෙසෙන ගම නුවරට යාබද ගමකි .මනමාලි සිටින්නේ ඊට ගම් තුන හතරකට එහාය.යන අතර තුරදී මනමාලිගේ ගෙදරට ගෙනයාමට මදි පාඩුවට කෙසෙල් ඇවරියකුත් ඒ පැත්තේ සුප්රසිද්ධ කේක් කඩයකින් කේක් කිලෝ එකකුත් මිලදී ගෙන ඇත.ඒ කඩේ කේස් රස නිසාත් නැවත් මේ පැත්තට නොයෙන නිසාත් ඒ ගමන්ම ගෙදරටත් කේක් ග්රෑම් පන්සියයක් මිලදී ගෙන ඇත්තේ මගේ මිතුරියගේ පොඩි අයියාගේ බලවත් ඉල්ලීම මතය.පොඩි අයියා අමතක වී ඒ කේක් බෑගයද අතේ තබාගෙනම මනමාලිගේ ගෙට ඇතුල්වී ඇති මුත් ඔහු එය තම පුටුව පිටුපස සඟවාගෙන ඇත්තේ එයද මනමාලිට තෑගි දෙන්නට සිදුවේ යැයි බියෙනි.
නිවසට ඇතුලුවත්ම මනමාලිගේ අත්තම්මා “ඉලන්දාරියා නම් හැඩකාරයා ” යැයි තාත්තා දෙස බලාගෙන පවසා ඇත.එවිටම මනමාලිගේ අම්මා පවසා ඇත්තේ අත්තම්මාගේ ඇස් නොපෙනෙන බවය.මගේ මිතුරියත් පොඩි අයියාත් හිනාව පාලනය කර ගෙන ඇත්තේ මේ මගුලද හරි නොගියහොත් ඔවුන් දෙදෙනාට යන කලදසාව ගැන සිතාය.
දැන් සැවොම සාලේ වාඩි වී සිටි. මනමාල පාර්ශවය එක් පසෙකය.අනෙක් පස මනමාලිගෙ අම්මත් තාත්තත්, ඇස් නොපෙනෙන අත්තම්මාත් හිඳියි.අඩු මනමාලි පමණය.
අවසානයේ මනමාලි සාලයට ආවාය.ඈ කාමරේ දොරෙන් එලියට පැමින ඇත්තේ සාමාන්ය මනුස්සයෙකු කාමරේකින් එලියට එන අතට නොව අනිත් අතටය.කොටින් කියතොත් ඇය දොරේ පලලට වඩා මහතය.ලස්සන මුහුණකට හිමිකම් කියතත් ඇගේ ශරීරයේත් ලොකු අයියාගේ ශරීරයේත් මිමි වල වෙනස කිලෝමීටරයට වැඩි මිස අඩු නොවීය .
හාල් මැස්සෙක් හා ඇතින්නියක අතර විවාහය හීනයක් ම බැවින් මේ මගුලද මෙයින් අහවර වන බව දැනගත් පොඩි අයියා මනමාලිත් ඇගේ මවත් පියාත් ගේ ඇතුලට ගිය මොහොතකදී වහා ක්රියාත්මක වී කේක් කිලෝව හා කෙසෙල් ඇවරිය තිබූ බෑගයෙන් කිලෝ එක එලියට ගෙන පුටුව පිටිපස වූ ග්රෑම් පන්සියය ඒ බෑගයට දමා සුහද මාරුවක් සිදුකර ඇත්තේ මනමාලිගේ අත්තම්මා බලා සිටියදීමය.මගේ මිතුරිය පවසන පරිදි අත්තම්මා ගේ ඇස් නොපෙනෙන බව පිටින් බලන අයෙකුට කිසිසේත් නොතේරේ.
මනමාලිගේ ගෙදරින් පිටත්වී ගෙයින් මිදුලට බට මොහොතේදී අත්තම්මා මෙසේ පවසා ඇත.
“කේක් නම් කන්න අපිත් ආසයි ඒත් අපිට සීනී නොවැ.ඒ හින්දා පොඩි එකක් ඇති.ලොකු එක උඹලා අරන් පලයල්ලා “
මගුල අහවර විය.
ප.ලි- ලොකු අයියා මීට මාස තුනකට පෙර විවාහ වූ අතර පොඩි අයියා කේක් කෑම සදහටම අත්හැර ඇත .
උපුටා ගැනීම: Malshi Subhashi