මහා කලබලයකින් එහා මෙහා ඉගිලී යන කණාමැදිරියන් අඳුර බෙදා වෙන්කර ගැනීමට තැත් දරන සෙයකි.රහැයියන් තොරතෝංචියක් නැතිව කෑගසන්නේ කණමැදිරියන්ගේ බෙංදුම්වාදී අරගලයට අනුබල සැපයීමට වගේය.අඩකින් අඩක් ගෙවී ගිය සඳ,අහස් ගංගාවෙහි තව මොහොතක් හෝ නොගිලී සිටීමට වෙර දරනු පෙනේ.සැබැවින්ම එය මිට කැඩුණු,ගෙවී ගිය දෑකැත්තකට සමාන කළ හැක.
ගහ මුදුන් අත්තේ දිගාවූ මම ඉමක් කොනක් නැති ආකාශ ගංගාව දෙස බලා සිටිමි.සිකුරු තරුව දැන් කඩා වැටෙනු ඇතැයි මට සිතේ.මා එය අහුලා ගත යුතුය.සිත ලෝබයෙන් පිරී යනු දැනේ.එය මොහොතකින් ගොජ දමන්නට වෙයි.
සිකුරු තරුව දන් එල්ලා ඇති රැහැනින් ලෙහී යයි.තව මොහොතකින් එය කඩා වැටෙනු ඇත.එය වැටෙන ඉසව්ව හොඳින් බලාගනු වස්,ඊට ආවකාශ සලසාගනු වස් මම තව තවත් සැහැල්ලුවට දිගාවෙමි.
අත්ත මත කොතරම් සුවදායකද?මොහොතකට මට සිතෙයි.එය මල් කෙමියක් තරමට සුසිනිඳුය.පියාපතක් තරමට මටසිලිටුය.වෙඬරු පිඩක් තරමට උණුසුම් ය.මේ නිදහස ලබා දුන් ප්රාජාතන්ත්රවාදයට ජය වේවා…..!
තවත් නිදහස උපරිමයෙන් විදගනු රිසින් මම දෑතම ඉහලට ඔසවා දිගු හුස්මක් ගතිමි.
ඒ මටසිලිටු,සුසිනිඳු,උණුසුම දරාගෙන ඉන්නට ලැබුනේ තවත් මොහොතක් පමණි.මා අත්තෙන් පහලට රෝල් වූයේය.මේතාක් ලැබුනු සුවය සුසිනිඳු බව කෙතරම් ව්යාජයක්ද? නියම සුවය ලැබෙනුයේ දැන් ය.පහළට වැටෙන අතරද මම අහස දෙස බලා සිටිමි.කෙසේ හෝ ගැලවී වැටෙනා තරුව අල්ලාගත හැකි නම් වැඩි මුදලකට එය විකුණාදමා හෝ මගේ ප්රශ්න විසඳාගනීමට හැකිවනු ඇත.(අඩුම තරමින් අජීවී තරු ගහණව සටහන් වූ ඇමරිකන් කොඩියට ජීවමාන සංකේතයක් ලෙසින් එල්ලාගැනීමට ඇමරිකාව මෙය මිලදී ගනු ඇති බව මට විශ්වාසය.)
ඉතිරිව ඇති එකම රුපියල් පනහද සමඟ පොකැට්ටුව රූටා යනු ඇතැයි මහත් සැකයක් නැගෙයි.මා කලිසම් සාක්කුව දැඩිව අල්ලාගත්තේ එහෙයෙනි.
නිදහස උපරිමයෙන් විඳගනු රිසිවූ මම දෑස් පියාගත්තෙමි.මා එනතුරුදෑස් දල්වා බලා සිටින අම්මා ඒ අතරින් පෙනේ……
රාත්රී අඳුර ගෙය පුරවාලන්නට පොර බදයි.තෙල් හිඳී යමින් පැවතුනද සුපුරුදු ලෙසම කුප්පි ලාම්පුව ඊට ඉඩ නොදී සටනක නිතරව සිටී.අම්මා අසලින්ම බිම ඇනබා සිටින එහි කනාටු එළියෙන් ඇගේ මුහුණේ ඇති ශෝචනීය බව හොඳින් හැඩතලමවා පෙන්වයි.යන්තමින් ඈගේ දෙතොල කුමක්දෝ මුමුණනු පෙනෙයි.එය නෑසුනද චලනය තුල ඇත්තේ සුපුරුදු බවකි.
කාලයක් පුරාවට අම්මාව හැරපියා නොගොස් තනියට තනි රකිනා හතියට බෙහෙත් ගැනීම සඳහා ඇය යලිත් වතාවක් හැතැක්ම දහ අටක් ඈතින් වූ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට හෙට උදේ යා යුතු බව ගෙදරින් එනවිට පැවසුවා මතකය.ඈ අත තඹ දොයිතුවක් හෝ නොමැති බව කිසිලෙසකින්වත් බොරු නොකළ හැකි සත්යයකි.
අංශාභාගයට,භාගයට නොව සම්පූර්ණයෙන්ම යටවූ තාත්තා ඇඳට වැටී දැන් වසරක්ම ඉක්ම ගොස් ඇත.
මගේ නැණ නුවණ වෙනුවෙන් අඩක් නාස්ති කරන ලද අපේ සේසත ඔහුගේ රෝගය අරභයා සම්පූර්ණයෙන් ම නොව ඊට ද ඔබ්බෙන් ආයෝජනය කර ඇත.ඒ කෙතරම්දයත් අද අපිට හෙවණ දෙන අතු පැලද එහි බර දරාගත් බිම්කඩද සයිමන් මුදලාලිට සින්නවීමට ලකලැහැස්ති වී බලා සිටියි…..
වැතිර සිටින තාත්තා කැණිමඩල දෙස බලා සිටිනු පෙනේ.ඒ දෑසේ සටහන්ව ඇත්තේ වියන් බැඳ ඇති මකුළු දැල්වල නිර්මාණාත්මක සුන්දරත්වයට වශී වූ බවක් හෝ මතු වූ ඉරටු අතරින් පෙනෙන දීප්තිමත්,මන්දස්මිතික,මලානික, රටා නැතිව අහසේ විසිරුණු තරුවලට සිත බැඳුණු බවක් හෝ නොව දෑසින් වැගිර දෙපස ගලා යන කඳුලු වැල් නවතාගැනීමට නොහැකිව ලතවන බවකි.
දොරකොඩ බලාසිටින අම්මා මුමුණනු ලබන්නේ හතියට බෙහෙත් ගන්න යාම ගැන පමණක්ම විය හැකිද? ඇයට ඇති එකම අර්බූදය මෙය පමණක්ම නං ඉන් තරමක් හෝ හිත හදාගත හැකිය.ජීවිතය පුරාවටම අතොරක් නැති දුක්ඛදෝමනස්සයන්ගෙන් පීඩිතව සිටින ඈ එම සමුදායම සූත්ර ගතකරනවා විය නොහැකිද?
අංක එක
නව මසක් නොව දසමසක් ම කුස දරා වදනා ලද තම පළමු පිරිමි දරුවා සහේතුක වූ භීෂණයේ ගොදුරක්ව පරණ ටයරයක් මත ස්වර්ගස්ත වීම.
ස්වර්ගස්ත කර ටයරයක් මත දැමුවේද,ටයරය මත ස්වර්ගස්ත වූයේ දැයි නිශ්චිතව කීමට තරම් සාක්ෂි නැත.උත්තම වූ ප්රජාතන්ත්රවාදී රාමුවක පිහිටා කටයුතු කරන,දෙවියන් වහන්සේ විසින් පරිත්යාග කරන ලද රෝම ලන්දේසි නීතියටත් එය කරවනා පරම අයිතිය හිමි දේව දරුවන් වන කළු කබා උත්තමයන්ටත් එසේ සාක්ෂි සෙවීමට තරම් වුවමනාවක්ද තිබූ බවක් මට නොපෙනින.නීතියට එසේ වුවද පළාතේ විරුද්ධ පක්ෂේ මන්ත්රීතුමාට ඒ පිළිබඳ දැඩි ඕනෑකමක් තිබූ බව මට මතකය.එහෙත් අපේම අවාසනාවකට මෙන් ඉක්මනින් පැමිණි මැතිවරණය විසින් ඔහුත් සමඟ ඔහුගේ පක්ෂය බලයට පත් කරනු ලැබිනි….
අංක දෙක
ඉතිරි කරගත් සබ්බ සකළ මනාවෙන් අඩකටත් වැඩි කොටසක් වියදම් කොට මහමෙරක් තරන් බලාපොරොත්තු කප්පරක් හිතේ රඳවාගෙන විශ්වවිද්යාල අධ්යාපනය ලබා දී කලා උපාධියකට හිමිකම් කියන තම දෙවනි දරුවා හෙවත් මම උපාධියකට සුදුසු තරම් යැයි සමාජ සම්මතයේ නැති රැකියාවක නිරතව සිටීම.
අංක තුන
හය මසක් පුරා අංශභාගයෙන් ඔත්පලව සිටින තම පුරුෂයා අරභයා ඇති ශෝකය.
අංක හතර
සයිමන් මුදලාලිගේ පරවේණියට සවිවීමට ලකලැහැස්ති වෙමින් පවතින ඉඩම.
අංක පහ
තම බාලම දියණියගේ කල් පසුවෙමින් ඇති විවාහය.
අංක හය
මේ කියන ලද හා නොකියන ලද තවත් විවිධ වූ ප්රශ්න හමුවේ තමන් අසරණ යැයි ඇති වූ ආත්ම අනුකම්පාව.
අම්මාගේ ප්රශ්නාවාලියේ ලැබෙන ස්ථානය කෙසේ වුවද අන්සියළු කාරණාවලට වඩා බාලගිරි දෝෂයට හසුවී ඇති නංගිගේ විවාහය මසිත ඇති කරන්නේ මහත් වූ තැති ගැන්මකි.
සෝමසිරි හා ඇය අතර ප්රේම සම්බන්ධයක් ඇති වී මේ වනවිට වසර හයකට ආසන්න වී ඇත.සෝමසිරි හා ඔහුගේ පවුලේ පාර්ශවයට තවත් කල් නොදමා මේ විවාහයේ කටයුතු අවසන් කිරීමට අවශ්ය වූයේ මීට වසරකටද පෙරදීය.එහෙත් දහසකුත් හේතු මත එය දිනෙන් දින කල්යයි.නිසැකවම එය බාලගිරි දෝෂයට හසුවී ඇත.මේ හේතුව නිසාම නංගි සිටින්නේ මුහුණ උලුක් කරගත් ගමන්මය.දස අතේ දමා ගසනා ඇගේ නෝක්කාඩු පහරවල් වැදී අපි හැමෝම දැන් බරපතල ලෙස තුවාල ලබා සිටිමු.එහෙත් දැඩි ලෙස මෝරා ඇති නොකෙරෙනා දීගයේ ගිණිකන්ද කොයි මොහොතේ හෝ පුපුරා යනු ඇත.සෝමසිරි හා නංගි කොයි මොහොතේ හෝ සඳ එළියේ සුන්දරත්වය අත් විඳිනු ඇතැයි මට සිතෙයි.එය වැඩි ඈතක නොවිය හැකිය.එහි චිත්ත රූප මසිත නැගෙන හැම මොහොතකම දැඩි වූ විදුළි කෙටීමකින් හදවත ප්රකම්පිත වී යයි.එසේ කාරණා සිදු වුවහොත් විශ්වවිද්යාල අධ්යාපනයක් ලබා හෙට දවස තුල මහා පිළිගැනීම සඳහා ඇඟිලිගනිමින් සිටිනා මා කෙසේ සමාජයේ අභිමුවේ මුහුණ පෙන්නම්ද?
බිය හා ලැජ්ජාව ගත පුරා දාහයාවුස්සා ඇත.කලිසම් සාක්කුව තුල රුවා සිටින ලේන්සුව ගෙන එය පිහිදා ගැනීමට මම උත්සුක වුනෙමි.අතට හසුවී පිටතට ආවේ ලේන්සුව නොව හතරට පහට නැවුනු අතට දිය වී ගිය කඩදාසියකි.එය මීට මාස කිහිපයකට පෙර උත්තරා විසින් මවෙත ලියන ලද ලිපියකි.
එහි අග කොටස නොදියවී ඉතිරි වී යන්තන් මට කියවා ගත හැකි ලෙස මුතුකැට අහුරක් සටහන්ව ඇත.
” වැදගැම්මකට නැති උපාධි සහතිකේ කොට්ටෙ යට තියාගෙන නිදාගන්නද කියලයි තාත්තාඅහන්නේ.තුනේ පන්තියෙදි කැලේ පැන්න තාත්තා අද ව්යාපාරිකයෙක්.එහෙම වුනේ එයාට මොන උපාධි තිබිලද? එයා අහන්නේ එහෙමයි.හරිහමං රස්සාවක් ආදායමක් ඇති කෙනෙකුට තමන්ගෙ දුව දෙන්න එයා කැමති නෑ.
ආදරණීය කසුන් ඒ අයට කොහොම වෙතත් මට ඔයාව ඕන.ඒ නිසා මොනව වෙන්න හරි මම ඔයත් එක්ක එනවා.ඉක්මන් කරලා ස්ථිර රස්සාවක් හොයාගන්න.”
නොබැලුවත්,අකුරු මැකිලා තිබුනත් මේ ලියුම මට කටපාඩම්.
එය නවා තිබූ ලෙස රුවාගත් මම අනික් සාක්කුවෙ ලේන්සුව සෙව්වෙමි.ඉන් අතට හසුවූයේ උත්තරා වෙතින් අද ලැබුනු ලිපියයි.වඩා දික් නොවූ එහි සටහන්ව ඇත්තේ මෙපමණකි.
” හිතවත් කසුන් මම කියපු එකක්වත් ඔයා ගණන් ගත්තේ නෑ.හැම දෙයක්ම අත ඇරලා ඔයත් එක්ක එනවයි කියලා හිතුවේ ඔයාට තිබුනු ආදරය හින්දයි.ඒත් මං ගැන පොඩ්ඩක්වත් නොහිතන කෙනෙක් වෙනුවෙන් එහෙම තීරණයක් ගන්නේ ඇයි කියලා මම හිතුවා.
කොච්චර නම් කිව්වද ඔය සිකියුරිටි රස්සාව පැත්තක දාලා හොඳ රස්සාවක් හොයාගන්න කියලා .ඔයා ඒවා තඹේකට මායිම් කරේ නෑ.කමක් නෑ ඒ ඔයාට මාව අගේ නැති නිසානේ.මම තාත්තා ගෙනාපු යෝජනාවට එකඟ වෙන්න කොහොම හරි හිත හදාගත්තා.ලබන මාසේ අපි කසාද බඳිනවා. ඔයාට මගෙන් වැරැද්දක් වුනානං සමාවෙන්න.”
මම හිස ඔසවා අහස දෙස බැලිමි එහි තරු කැට තැනින් තැන,පොකුරු ගැසී,තනි තනිව නිවි නිවී දැල්වෙමින් දීප්තිමත්ව රැඳී ඇත.
සිකුරු තරුව තවමත් එතනමය…..
ආශාවෙන් බලා සිටියද එය කඩා වැටෙන සෙයක් නැත.මොහොතින් මොහොත එය බොඳ වී යන බවකි.අවසානයේ කිසිවක් පැහැදිලි නැති තරමට දෑස් තිමිරයෙන් වැසී යයි.මේ මොහොත වන විටද මම සුව දායක ලෙස පහලට වැටෙමින් සිටිමි.එහෙත් බිමට පතිත වීම පිළිබඳව ස්ථිරවම නොසිතන බවට මම සපත වෙමි.
අවසානයි.
සුරංග කුරුප්පු ආරච්චි
2015.08.28 රිවිර පුවත්පතේ පළ වූවකි