පරිනාමය නිසා ඥාණ දත් අහිමිවේවි ද..? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මිනිසා ද්විවාර දන්තී සත්ත්වයෙකි. කිරි දත් ලෙස හඳුන්වන පතනශීලී දත්, ස්ථිර දත් මඟින් ප්රතිස්ථාපනය කර මුළු දත් ප්රමාණය 32ක් ලෙසට පත්වීම තරුණ වියේ දීම සිදුවේ. නමුත් අමර මෙන්ම අද සමාජයේ බොහෝ දෙනෙකු මුහුණදෙන ගැටළුවක් වන්නේ සාමාන්ය දත් පැමිණ සම්පූර්ණ වන කාලය ඉක්මවනතුරුත් දත් 32ක් සම්පූර්ණ නොවීම, වේදනාසහගත ලෙස සෙමින් ඒම හා අක්රමවත් ලෙස හක්ක තුළ වැඩීම හැඳින්විය හැකිය. මෙම ක්රියාවලිය අප හක්කේ දත් ඒම, නැතිනම් ඥාණ දත් ඒම ලෙස හඳුන්වන්නෙමු. ‘ඥාණ දත් එන්නේ පහුවෙලා’යි යන්න සමාජයේ බහුලව පැතිර ඇති අදහස වන අතර, එසේ සිදුවීම පරිණාමික ක්රියාවලියේ කොටසක් ලෙස හඳුනාගෙන තිබේ.
කුස පුරවාගැනීමේ එකම ඉලක්කය
පරිණාමය යන්න කතාකරන විට නිතැතින්ම අපේ හිත් දිවයන්නේ අපගේ ආදිතමයා වූ ප්රාග් ඓතිහාසික මානවයා වෙතට ය. ඔහුගෙන් ඔහු ජීවත් වන දිනවකවානු ගැන ඇසීමෙන් පලක් නැත. මන්දයත් ඔහු ජීවත් වූයේ අපහසුවෙන් හෝ හිස ඉහළට ඔසවා බැලීමේ දී පෙනෙන විශාල දීප්තිමත් වස්තුව හාත්පස එළියකරන හා නොපෙනී යන කාලයන්ට, මහා අඳුරෙන් ලොව වසාගත්කල අහසේ නැගෙන සුදු පාට වස්තුවේ හැඩය වෙනස්වීම්වලට අමතරව, තමාගේ උදරය කෑම ඉල්ලන රටාවන් අනුව ය. කැලෑවේ අතු පතර එල්ලෙමින් තම රැහේ අනික්වුන් සමග කියාගත නොහී තරම් එළියවීම් අඳුරුවීම් ගතකර, තෙරක් නොපෙනෙන සැවානාවේ කොණකින් තමා සොයා සතුරන් පැමිණේදැ යි බැලීමට පසුපස ගාත්වලට බර දී ඔහු දෙපයින් සිටගත්තේ ය. චිම්පන්සීන් හා ගෝරිල්ලන්ගේ මුතුන්මිත්තන්ගෙන් වෙන්වී තමාගේම ගමනක් ආරම්භයට ඔහු දෙපයින් සිටගත්තේ ඔබ මේ ලිපිය කියවීමට වසර මිලියන 5.8කට පමණ පෙර ය. කුස පුරවාගෙන දිවි රැකගැනීම හැර ඔහුට වෙනත් ඉලක්ක නොතිබුණි. මේ කුස පුරවාගැනීමේ අනවරත සටනේ දී සිදුවූ ආහාර රටාවන් වෙනස්වීම සමග, ශරීරයේ බොහෝ අවයව අංගෝපාංග මෙන්ම ඔහුගේ දත් ද වෙනස්වීම්වලට භාජනය විය.
ඥාණ දත්…
දත් 32කින් යුක්තවන මිනිසාගේ එක් දත් ඇන්දක දත් 16කි. එක් දත් ඇන්දක ඉදිරිපස මැද සිට හක්කේ එක කෙළවරක් දක්වා දත් 8 බැගින් ද්විපාර්ශ්වික සමමිතිකව පිහිට යි. ඇන්දක එක පැත්තක කෘන්තක දත් 2ක්, රදනක දතක්, පුරශ්චාර්වක දත් 2ක් හා චාර්වක දත් 3ක් පිහිට යි. හක්ක කෙලවරට වන්නට පිහිටි අවසන් චාර්වක දත “ඥාණ දත” ලෙස හැඳින්වෙයි. මෙසේ ඉහළ – පහළ දත් ඇඳි දෙකේම ඥාණ දත් 4කි.
රළු ආහාර ගත් මුතුන්මිත්තෝ…
මුල් මිනිසාගේ හකු කැපී පෙනෙන තරම් විශාල වූයේ, ශක්තිමත් හනුවක් සහ දත් ඔහුගේ පැවැත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බැවිනි. දත් යනු ප්රාග්ඓතිහාසික මානවයාගේ ගොදුර අල්ලාගැනීම, වෙන් කිරීම, හා පරිභෝජනය කිරීමේ මාධ්යයන් ය. අපේ මුතුන්මිත්තෝ කොළ, මුල්, සහ අමු මස් වැනි දැඩි හා බොහෝ සේ සැපිය යුතු ආහාර වේලක් මත ජීවිතය රඳවාගත්හ. ගුහා මිනිසාගේ දවස්වල, ආහාර කපාගැනීමට පිහි නොතිබූ අතර, මස් පිසීමට පවා නොහැකි විය. මුල් මිනිසුන්ට රළු ආහාර හපන්නට අවශ්ය වූ නිසා ඔවුන්ට පුළුල් හකු අවශ්ය විය. මෙහිදී වැඩි හැපීමේ ශක්තියක් ලබාදීමට හක්කේ දත් සියල්ල හොඳින් වර්ධනය විය. පළල් හකු නිසා දත්වලට කිසිදු දුෂ්කරතාවයකින් තොරව, ඉඩකඩ ඇතුව වැඩීමට ද හැකි වියහන
ගින්දර සොයාගැනීම හා විවිධ ආයුධ මෙවලම් භාවිතයට හුරුවීමත් සමග මිනිසාට ලේසියෙන් දඩයම් කිරීමට හැකිවිය. එනිසා ඔහුට හොඳ ප්රෝටීන බහුල ආහාර සුලබව ලබාගැනීමට හැකිවිය. මොළයේ වර්ධනයට එය ඉවහල් වූ අතර, මස්තිෂ්ක පරිමාව ද කෙමෙන් කෙමෙන් වර්ධනය විය. මස් ආදිය පුළුස්සා ආහාරයට ගැනීමට හුරුවීම නිසා ආහාර මෘදුවූ අතර, ගිලීමට පෙර දත් මඟින් කළ යුතු වූ අඹරා හැපීම මෙනිසා අඩු විය. මේ හේතු නිසා පුළුල්ව පැවති හකු පාඩා පටුවන්නට පටන්ගත් අතර මොළය කොටස පෙරට සාපේක්ෂව විශාල වන්නට විය. මෙසේ එඬේර යුගය පසුකර කෘෂිකාර්මික යුගයට පැමිණෙන විට තව තවත් ආහාර රටාව වෙනස් වූ අතර, වඩ වඩාත් මෘදු බවින් යුතු ආහාර කෑමට එක්විය. විශේෂයෙන්ම අහාර පිසීම ඔස්සේ ඒවා කුඩා කැබලිවලට පත්කිරීම දත්වලට පහසු විය.
දත්වලින් ඇඹරීමට වෙහෙස නොවිය යුතු වර්තමානයේ ආහාර
වර්තමානය වන විට රළු ආහාර භාවිතය තවත් අඩුවී, ආහාර සංස්කෘතිය වඩාත් වෙනස් වී ඇත. දීර්ඝකාලීනව ආහාර රටාවේ ඇතිවූ වෙනස්කම් නිසා අද වන විට එය පරිණාමීය වෙනසක් බවට පත්ව ඇත. හක්කේ පවතින චාර්වක දත්වල අවශ්යතාව අඩුවෙමින් පවතින නිසා එවා පිටතට පැමිණීම ප්රමාදවීමත්, බොහෝවිට සෙමෙන් වර්ධනයත් අද කාලේ දැකගත හැකියා. දත් ඒමේ ඉහළ වයස් සීමාවට පැමිණිය ද දත් 32ම සම්පූර්ණ නොවීම ද මෙහිදී විශේෂයකි. තදින් හැපීමේ අවශ්යතාව අඩු බැවින් හකුපාඩා පටු වී, පෙර පරිදි දත්වලට ප්රමාණවත් ඉඩක් නොලැබීම නිසා දත් ප්රමාණය අඩුවීම හා සම්පූර්ණයෙන් පිටතට නොපැමිණීම සිදුව තිබේ. මෙය හක්කේ අවසානයට ඇති චාර්වක දත්වලට තදින්ම බලපාන්නට විය. මේවා විකෘති ලෙස වර්ධනය හා දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පැවතීම නිසා වේදනා දීමත් සුලබ ය. මෙනිසා බොහෝ දෙනා ඥාණ දත් ඉවත්කිරීමට පෙලඹෙයි.
මුල් කාලයේ ආහාර ඉරාගැනීමට දායක වූ රදනක දත් වර්තමාන ආහාර රටාවේ දී අඩු භාවිතය නිසා තියුණුබව අඩුවී ඇතිවාක් මෙන්, දැඩි ආහාර ඇඹරීමට දායක වූ ඥාණ දත්, ආහාර රටාව හා ආහාර සංස්කෘතික බලපෑමෙන් ද පරිණාමික ක්රියාවලියේම කොටසක් ලෙස ද මිනිසාට නොවැදගත් දෙයක් බවට පත්වෙමින් පවතී. ඒ නිසා මතු අනාගතයේ දී එය සම්පූර්ණයෙන්ම නැතිව යාමට ද ඉඩ ප්රස්ථා ඇති බවට විද්වත්හු මත පලකරති. කෙසේ වෙතත් අවුරුද්දකට වරක්වත් දත් පරීක්ෂා කරගැනීම හා දත් සම්බන්ධ ගැටළුවලට දන්ත වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!