ලිංගික අපචාර හේතුවෙන් පාසල් සිසුවිය මරුට
( ප්රවෘත්ති )
මෙහෙම කතා ඇහෙනකොට මට හැමදාම මතක් වෙන කතාවක් තියෙනවා. ඒක මටයි තව කෙනෙකුටයි වෙච්ච අත් දැකීමක්. ලොකු දෙයක් නොවුනත් හිත ගොඩක් බය වුන දෙයක් නිසා වෙන්න ඇති ඒ.
මගෙ යාලුවගෙ නම සමන්තා. එයාගෙ ඇත්ත ම නම ඒක. අපෙ ගමේමයි. මම අනූපහේ අවුරුද්දේ දඔුල්ල ටෙක්නිකල් එකට ගියා. ඊළග අවුරුද්දේ සමන්තා ගියා. ඊට පස්සෙ අනූ හතේ මුල අපි දෙන්නටම ඒකෙන් දෙන ඔරිජිනල් සහතිකේ ඕන වුනා. ඉතිං අපිදෙන්න යන්න කතාවෙලා ගෙවල්වලටත් කියල ගියා දඹුල්ලේ ටෙක්නිකල් එකට. උදේ ම ගිය හින්දා දහය හමාර විතර වෙනකොට අපිට ගේට්ටුවවෙන් එලියට එන්න පුලුවන් වුනා.
” වෙලා ගිහිනුත් නැති එකේ අපි යමුද දඹුල්ලේ පන්සල ට. ගොඩ දවසකින් ගියේ නෑ. “
කිව්වෙ සමන්තා. ටෙක් එක ලග ඉදන් පයින් යන දුර පන්සල ට. එතනින් ම බස් එකෙත් නැග්ග හැකි. මාත් ඉතිං
” හා යමන් “
කියලා ඉස්සර වුනා. එතකොට ඔය රංගිරි අලුත් පන්සල තිබ්බෙ නෑ වගේ මතක. පන්සල ලඟට ගිහින් අර පඩිපෙල් දිගේ අපි දෙන්න නගින්න පටන්ගත්ත. කවදාවත් මිනිස්සුන්ගෙන් හිස් නොවෙන ඒ පඩිපේලිවල නගින බහින මිනිස්සු එදා පුදුම යකට වගේ හිටියෙ නෑ. අපට පිටිපස්සෙන් සරම් ඇදගත්ත මිනිස්සු දෙන්නෙ ක් එනවා දැක්කා . මුලින්ම මට එතරම් වගක් නැති වුනත් අර දෙපැත්තෙ ගස්වලින් පිරිල කැලැව වගේ තියෙන හරියට යනකොට මට හිතට අමුත්තක් දැනුන. පිටිපස්ස හිතල බැලුවේ නෑ. ඒත් බැලුණ. ඒ මිනිස්සු දෙන්න සරම් දෙක ඕනවටත් වඩා ඉහලට වෙන් කැහැපට ගහගෙන අපි දෙන්න දිහා බලාගෙන දුවගෙන වගේ එන්න පටන් ගත්ත .එකෙකුගෙ අතේ පොඩි පිහියක් වගේ තියෙනවත් මන් දැක්කා. මට මොනව වුනාද මන්ද.
” වරෙන් “
කියල අරකිගෙ අතෙන් ඇදගෙන කන්ද දිගේ උඩහටම දිව්වා. කකුල් වලට කොහොම පණ ආවද මන්දා .දඹුල්ලේ ගිය කෙනෙක් දන්න වා උඩ පන්සල ට කොච්චර දුරක් යන්න ඕනද කියල.දැන් වගේ නෙවෙයි ඉස්සර කැලෙත් ටිකක් වැඩියි. අරුන් දෙන්න ත් අපෙ පස්සෙ න් දුවන් එනවා. ගුහා තියෙන මලුවට යනකන් ම කවුරුත් වදින්න ආපු කෙනෙක් වත් මුණ ගැහුනේ නෑ. වාසනාවට එතන හිටියා දහ දොලොස් දෙනෙක්ගෙ නඩයක්..ටිකක් වයස අම්මලා තාත්තලා. අපි දෙන්න ඒ නඩේ මැද්දට ගියා . අරුන් දෙන්න එතෙන්න ටත් ඇවිත් ඈතින් ඉදන් බලන් ඉන්න වා. අපි ජීවිතේටම එදා දැක්ක ඒ වන්දනා නඩේ අයත් එක්ක කතා කර කර එයාල වදින පුදන තැන්වලට ගිහින් සෑහෙන වෙලාවකට පස්සෙ එයාලත් එක්ක ම පහලට බැස්සා . අරුන් ටික දුරක් ඇවිත් උඩ ඉදන් බලා හිටියා. වන්දනා නඩේ එක්ක අපි ආව කියල හිතන්න ඇති. පාරට ඇවිත් අර මිනිස්සු න්ට යන්න ම් කියල පාර පැනල බස් හෝල්ට් එකට ආව විතරයි අරකිට කලන්තෙ හැදුන.
හෝල්ට් එකේවත් කෙනෙක් නෑ. බොන්ඩ අරන් ගිය වතුර බෝතලෙන් මූනෙ වතුර ටිකක් ගාලා පාර දිහා බලනකොට බස් එකක් එනවා. බෝඩ් බල බලා හිටියෙ නෑ අපෙ පැත්ත ට යන්නෙ කියලා අත දැම්මා . නවත්පු බස් එකට උස්සලා වගේ ඇදගෙන දාගත්ත සමන්තට හරි සිහිය ආවේ බස් එකේදී. දාඩිය දාගෙන මූණ තෙමාගෙන ඉන්න සමන්තා දැකල කොන්දොස්තර මහත්තයා ත් අහපි,
අසනීපෙන්වත්ද කියල. ඔව් කියල මමත් නිකන් හිටිය.
ගෙදරට කියල ආවෙ ටෙක් යනවා කියල විතරයි . පන්සල යනවා කියලා දන්නෙ නෑ. ඒක හදිසියේ හිතුන දෙයක් අපිට මොනව හරි වුනානම්. එදා මම හරියට බය වුනා.මම අම්මට කිව්ව ඇවිත් . අම්මා මොනව කිව්ව ද කියල මට මතක නෑ. හිත ඒ තරමට එදා හෙල්ලිලා තිබුනේ. මට නම් අමතක නොවන පාඩමක් වුනා ඒක. ඊට පස්සෙ මම නම් කවමදාවත් ඒ වගේ ගෙදරට නොකියා ගමන් ගිහින් නෑ. අනික යන තැනක පස් හය දෙනෙක් වත් එක්ක යනවා මිසක් දෙන්න තුන්දෙනා ගියෙත් නෑ. ඒ දවස් වල යාලුවෝ එකතුවුනාම ඔය කතාව මතක් කරනවා. කලන්තෙ හැදුන බව මතක් කරනකොට සමන්ත ගෙ මූණ රතුම රතු වෙනවා. ඒත් එදා ඒකි හොදටම බය වුනා කියන්න කොතනකදිවත් ලැජ්ජා වුනේ නෑ. මේක දැක්කොත් ඔව් ඒක ඇත්ත කියලා පහලින් ලියාවි.
ගෑණු ළමයි හිතූ හිතූ දේ කරන්න හොද නැහැ කියල ඉගෙන ගත්තේ එදා තමයි. මිනිස්සු ගැන අවිස්වාසය සැකය බය ටිකක් හරි තියෙන්න ඕන. .
මට අන්තිමේට මතක් වුනේ අපෙ පුතා පහේ පංතියේ ඉන්නකොට එයාලට තිබ්බ දේශනයක අවසානයේ දෙමව්පියන් ට ඒ දේශකයා කිව්ව දෙයක්,
‘” ඔබ නිතරම වටපිටාව හා ඔබ අවට සිටින අය දෙස මදක් හෝ සැකයෙන් බලන තාක්කල් ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂිතයි .”
ඒක ඇත්ත කියලා මමත් හිතනවා.
උපුටා ගැනීම: Priyanka Nanayakkara