මගේ අම්මා උපතින් සුදු හමක් උරුම කෙනෙක්.ඇයගේ පරම්පරාවේ හැම කෙනෙක්ටම වගේ තිබුනේ සුදු පාට.
මට ලැබුනේ තාත්තාගේ පාට.
අම්ම එක්ක ගමනක් යන හැම මොහොතකට සෙනගක් ඉස්සරහ අම්මේ… කියල කතා කරද්දී,
ඒ ඇත්තටම ඔයාගෙම අම්මද කියල එතන අය මගෙන් අහන නිසා, තාත්තා එක්කම ගමං යන්න ආස උන කෙල්ලෙක් මං.
අම්මලගේ ඉස්කෝලෙට ගියාම
“මේ ළමයව අරං හදා ගත්තද මිස්? අර නිසංසලාගෙ අම්ම එහෙම කිව්වා” කියල හය හතර නොතේරුන මං ඉස්සරහම අම්ම කෙනෙක් මගේ අම්මගෙන් අහද්දී කට ඇරගෙන ඒ අම්මගෙ මූණ දිහායි අපෙ අම්මගේ මුණ දිහයි මාරුවෙන් මාරුවට බලන් හිටපු කෙල්ලෙක් මං.
අවුරුදු 20කට පස්සෙත් ඒ කතාව ඉබේම මතක තියෙන්න තරම් මතක ශක්තියක් තියෙන කෙල්ලෙක් මං.
ඒ ළමය කලුයි ඒ නිසා ඉස්සහට පේන්න තියන්න හොද නෑ පිටිපස්ස පේලියට දාන්න ඕන කියල මිස් කෙනෙක් වෙන මිස් කෙනෙක්ට කියද්දී,ඒ කතාව වැරදිලා ඇහිච්ච කෙල්ලෙක් මං.
(ඒ වගේ කතා ගොඩයි සේරම ලියන්න අමාරුයි)
ලස්සනට සිංදුත් කියනවා නාට්ටි කණ්ඩායමේ ප්‍රධාන චරිතයට ගැලපෙන්නේ මෙයාව කියල සර් මාව තෝරගත්තට පස්සේ දවස් ගානක් rehearsal ගිහින්
අවසාන rehearsal එක හැමෝම ඉස්සහ කරල පෙන්නන්න කිව්වම, මෙයා කලුයිනේ.. ඒ චරිතයට මෙයාව ගැලපෙන්නේ නෑ.කියල වෙන මිස් කෙනෙක් කිව්වම එතනින් අයින් වෙලා,අලුතින් ආපු ළමයටත් චරිතේ කරන විදිය උගන්නලා උත්සවේ වෙලාවේදි නාට්ටිය එයාල රගපාද්දී වැටේ එල්ලිලා ඒක දිහා බලන් හිටිය කෙල්ලෙක් මං.
3 වසර පන්තිභාර මිස්ට දරුවෙක් ලැබෙන්න හිටිය .ඒ මිස් මං පොත පෙන්නන්න ළගට එනවටත් අකමැති උනා.කොච්චර හොදට වැඩ කලත් පොඩි වයසට මට හරියට බැන්න.ඒ දේ තේරුම් අරන් අම්ම මාව ඒ කාලෙම වෙන පන්තියකට නොදැම්ම නම් “සිසිර සර් මට “අල්ලපු පන්තියෙන් හොරා ගත්ත සම්පත කියල” ආදරෙන් නොකියන්න තිබුන,ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයට නොඑන්නත් තිබුන කෙල්ලෙක් මං.
හා හා පුරා කියල හිත පළවෙනියට ආකර්ශනය උන පිරිමි ළමය,
ඒ කෙල්ලගෙ හදවතේ පාට මූනෙත් තිබුන නම් කියලා වෙන යාලුවෙක්ට කියද්දී ඒක ආරංචි වෙලා අඩල අඩල හිත රිදිලා අම්මගෙන් වද කරල නයිට් ක්‍රීම් අරන් මූනේ උලපු කෙල්ලෙක් මං.
(එයාට පාඩමක් උගන්නන හිතාගෙන කරපු වැඩ නිසා ගොඩක් ජයග්‍රහණත් ලැබුන හැබැයි) ඒකත් කියන්න එපැයි.
ඇයි මාව සුදු කලේ නැත්තේ? ඇයි ඔයාගෙ පාට මට නුදුන්නෙ කියල තාත්තත් ඉන්න තැන අම්මගෙන් අඩ අඩ අහල,මෙහෙම කියද්දී තාත්තාගේ හිත රිදෙනවා ඇති නේද කියල හිතන්න තරම් මොලයක් නොතිබිච්ච මෝඩම මෝඩ කෙල්ලෙක් මං.
පාට වැඩක් නෑ හදවතයි වටින්නේ.”උබ මට මැණිකක් මගේ දුවේ “කියල අම්ම කිව්වට පස්සෙ ලස්සන විදියට ජීවිතේ දකින්න පාට ඕන නෑ කියල හිතන්න පුරුදු උන වාසනාවන්තම කලු කෙල්ල මං.
තාත්තාගෙන් ලැබුන පාට නිසා සෙල්ලක්කාර බොරුකාර මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම වැඩිය නොවැටෙන්න තරම් වාසනාවන්ත වුන කලු කෙල්ල මං .
“තාත්තාගෙ නම්බුව තියන්න ඕනා ඔන්න” කියල තාත්තා කියද්දී ඉස්කෝලෙ කාලෙදි, යන යන තරගේ දිනන්න වාසනාව තිබුන වාසනාවන්තම කලු කෙල්ල මං.
හිත හොද ලස්සන හදවත් තියන ඇත්තම යාලුවෝ ගොඩක් මගෙ ළග රැදෙන්න තරම් වාසනාවන්ත වුන කලු කෙල්ල මං.
තාත්තාගෙන් ලැබුන කටහඩ නිසා ගොඩක් දෙනෙක්ගේ ආදරේ අසීමිතව විදින්න තරම් වාසනාවන්ත උන කලු කෙල්ල මං.
කලු කෙල්ලෙ කියල කවුරුහරි කියද්දී අහිංසකව ආඩම්බර වෙන වාසනාවන්තම කලු කෙල්ල මං.
අද වෙනකොට ලෝකේ තියන හැම පාටටම වැඩියෙන් කලු පාටට පැලෙන්න ආදරේ කරන වාසනාවන්තම කලු කෙල්ල මං.
•
•
හිතේ රැදුනු
කල්පනා.
– Kalpana Kavindi –
මූලාශ්‍රය: Our Economics