පතබෑවීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“දිනාර” 10 වසරෙදී මගේ හොඳම මිතුරාය. ගුරුවරු නම් කියන්නේ අපි දෙන්නා “ගහට පොත්ත වගේ” යැයි කියාය. පන්තියේ උන් කියන්නේ “අමුඩෙයි, පුපයි වගේ” කියාය. එවිට මම කල්පනා කරන්නේ මම “අමුඩෙ ද” නැත්නම් “පුප ද” කියාය. අමුඩෙට විකල්ප ඇති වුවද පුප ට විකල්ප නැත. උට අමුඩය වෙන්නට ඉඩ හැර මම අනෙක වුනෙමි.
දිනාරයා⁣ ගේ මුහුණ සුදුය. 10 වසරටවත් නොගැලපෙන ලාමක ටිං ටිං මුහුණක් ඔහුට හිමි වූයේ දෙයියන්ට වැරදීමකින් විය යුතුය. ඔහුගේ කල් ක්රියාවට හිමි “අලුගුත්තේරු මූණ” කොහේ හෝ සිටින අහිංසකයෙකු සමඟ මාරු වී ඇත.
8 වසරේ සිටි නදීෂාගෙන් “නංගී දිනාර ඔයාට කැමතියි කිව්වා” යැයි මම පවසන විට ඇය මගෙන් ඇසුවේ “ කවුද අයියා ඒ.. අර අඹ ගෙඩියක් වගේ මූණ තියෙන අයියා ද ?” කියාය. ඇය එසේ කී විට මම ද ඔහුට හොරෙන් ඒ මූණට එබී බැලුවෙමි. කතාව ඇත්තය. පැති පෙනුමට එවැනි හුරුවක්ද ඇති ඔහුගේ මුහුණ දවසේ වැඩි වෙලාවක් පවතින්නේ “විලාඩ් අඹ ගෙඩියක” පැහැයෙන්ය.
අප පන්තිය පිහිටියේ පාසලේ ප්රධාන ගොඩනැගිල්ලේ පළමු මහලේ එක් කෙලවරකය. පිරිමි වැසිකිළිය පිහිටියේ බිම් මහලේ අනෙක් කෙලවරේ දොරටුවෙන් පිටවී තරමක දුරක් පයින් ගිය පසුය. වැසිකිළි යාමට පාසැල් පරිපාලනය විසින් එක් පන්තියකට එක බැගින් වූ “පාස් එකක්” ලබා දුන්නේ එක් වරකට සිසුන් දෙදෙනෙකුට වැසිකිළි යාමට අවසර ලැබෙන පරිදිය. එදින සිට අනිවාර්යයෙන් පන්තියේ සිසුන් දෙදෙනෙකුට අනිවාර්යයෙන් එකවර “චූ බර” හැදෙන්නට විය.
බොහෝ විට එකවර චූ බර හැදෙන සිසුන් යුගල වශයෙන් සිටි අතර මා සමඟම චූ බර හැදෙන්නේ දිනාරට ය. චූ බර “ආවස්ථික පිරිවැය” කර අප එම කාලය තුල බොහෝ ඵලදායී ක්රියාවන් කර ගත්තෙමු. සරලව කිවහොත් එම කාලය තුල නොකලේ චූ කීරීම පමණය. අනිත් සේරම කලේය.
තවත් නැවුම් දිනකට හිරු උදා විය. කුරුල්ලන්ගේ “කිචි බිචි” නාදය, මල් පැණි සොයා පියඹන සමණලුන්, ගල්පර වල හැපී බිදෙමින් සීරුවට ගමන් කරන දොල පාර, වෙල අද්දර ගුරු පාර ළඟ කැන්ද ගසේ බැඳ සිටි ගවයාගේ “උම්බෑ” හඬ පරිසරයට අමුතුම මිහිරක් එක් කලේය.
“මොනවද යකෝ මේ ලියන්නේ..එච්චර ලබ්බක් උනේ නෑ..”
මටයි දිනාරයටයි එදත් එක වෙලාවට බර සෙට් උන දවසක්. එලියට බැහැලා අරූ ට්රයි කරන නදීෂා ඉන්න ක්ලාස් එක ඉස්සරහින් දෙපාරක් විතර සක්මන් කරලා, මේන් හෝල් එකේ ඉඳන් සාහිත්ය දිනේට නැටුමක් පුරුදු වෙන කෙල්ලොන්ගේ ගවුං උඩ යනව බලං ඉඳලා,
කැන්ටිමේ ආනන්ද අයිය ගාව වැඳ වැටිලා අඬලා වගේ අවේලාවේ ඉල්ල ගත්තු ප්ලේන් ටී දෙකකුක් ගහල, ටොයිලට් එක වටේ රවුමකුත් කැරකිලා ආව පන්තියට.
සබ්ජෙට් එක උගන්නන සර් එදා නිවාඩු. පන්තියේ උන්ට අවුරුදු. අරුයි, මායි දෙන්නම ඉන්නේ එක ළඟ පුටු දෙකේ. ඌ ඒ දවස් වල “ලව් සීන්” එකේ ඉඳපු නිසා හෙන පිළිවෙලයි. පුටුවේ වාඩි වීමට පෙර එහි ලේන්සුව එළයි. පසුව වාඩි වෙයි.
එදත් පැමිණ මේ අසරණයා ලේන්සුව එලු⁣වේය.
කුප්ප අදහස් එන්නේ ක්ෂනිකවය. එය ක්රියාත්මක කිරීමට තත්පරයෙන් හතරෙන් පංගුවක් වත් යන්නේ නැත. ලේන්සුව එලා වාඩි වෙන තත්පරයට මා එම පුටුව අඩි දෙකක් වමට “විතැන්” කලෙමි. ගුරුත්වාකර්ෂණය පරයා යාමට නොහැකි වූ දිනාරයාගේ “පශ්චාත් භාගය” මහත් වූ “පශ්චාත් තාපයෙන්” යුතුව මහ පොළොව සිප ගත්තේය.
එපමණකින් නොනැවතී ඔහුගේ හිස පසු පස තිබූ ඩෙස්ක් එකේ කම්බ් කකුලක වැදී මුලින් “ඩැයිංං” යනුවෙන් හඬ දී පසුව “ඩ්ර්ර්ර්ර්” ශබ්ධයෙන් දෙදරීම් හඬක් දී ක්රමයෙන් ශුන්ය වී ගියේය.
එපමනකුදු නොව ඔහුගේ පශ්චාත්භාගය එම අවස්තාවේ “සීසෝවක ආධාරකයක්” ආකාරයෙන් ක්රියාත්මක වීම හේතුවෙන් හිස පසු පසට යන විට කකුල් දෙක උඩ ගොස් තමාගේම ඩෙස්ක් එකේ වැදී එයද පැත්තට පෙරලී ගියේය. කොල්ලන් මර හඬ දෙමින් තප්පුලනු ලැබූ අතර, කෙල්ලන් අත්පුඩ් ගසමින් සතුට සැමරූහ.
ඉදුණු විලාඩ් අඹ ගෙඩිය එකවර නැගී සිටියේය. එය කුණු වීමට ආසන්න වී ඇත. මට සිනාසීමට අමතකව ගියේය. ක්ෂනිකව එසැවුනු ඔහුගේ දකුණු අත මාගේ “වම් කම්මුල” පැ.කී 110 ක පමණ වේගයෙන් සිප ගත්තේය. වරක් නොව දෙවරක් සිප ගත්තේය. එතනින් නතර විය.
කම්මුලට ගැහුවොත් නම් යකෙකුට උනත් ගහන තරමට පනින මල එදා මට පැන්නේ නැත. ගහපු තරම උට ඇති වුවද ගුටි කෑ මට නම් එය මදිය. ඔහුට උන ලැජ්ජාව මකා ගන්නට නම් තවත් එවැනිම එක් කමුමුල් පහරක්, පපු ප්රදේශයට පා පහර දෙකක්, සිංහල චිත්රපට වල පහර දෙන විට “බුහා” “බුහා” යනුවෙන් හඬ නිකුත් කරන රහස් ප්රදේශයට දනහිස් පහර දෙකක් වත් එල්ල විය යුතුය.
එහෙත් ඔහු පාරවල් දෙකෙන් සැනසුනේය. මමද සැනසුම් සුසුම් හෙලුවෙමි. පන්තියේ තිබූ සිනා හඬද නතර විය. මට දිනාරයාගේ මුහුණ දෙස බැලින. විලාඩ් අඹ ගෙඩිය මැද්දෙන් හිනාවක් මෝදු විය. මටද බකස් ගා හිනා ගියේය.
ඕ ලෙවල් අසමත් වී දිනාරගේ පාසල් ගමන නතර වන තුරුම අප දෙදෙනාම චූ කරන්නට ගියේ එකටය.
 උපුටා ගැනීම:   -හෝම්ස්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!