මම ඉතාම දුර්වලයි කෙල්ලො යාලු කරගන්න. වැඩ බැරි ටාසන් කෙනෙක්. මම කෙල්ලෙක් ගැන හිතල හිතල හිතල හිතල කතා කරන්න ගියාම ඒ ගෑනි කසාද බැඳල ලමයි ඉස්කෝලෙ දාගන්න බොරු ලයිට් බිල් හොයන කාලෙ වෙලා. අනික මම උපතින්ම ගොඩක් කැතයි කියල තමා මගේ යාලුවෝ එහෙමත් කිව්වෙ. ඉතින් එහෙමට මා දිහා කෙල්ලො බැලුවෙත් නෑ ඇත්තම කිව්වොත්. නමුත් කෙල්ලෙක් යාලු කර ගන්න අනිත් කොල්ලොන්ට වගේම මටත් ආසාවක් තිබ්බා. වඳුරට කිතුල් පැනියි කිරියි කන්න හම්බුන් නැති වුනාට ඌ කිතුල් ගහ දිහා නොබල ඉන් නෑනේ ආයුබෝවන්.
අපි ඉස්කෝලෙ ගියේ දොඩම්වෙල-මහනුවර බස් එකේ. ස්කූල් බස් එකකුත් තියනවා. ඔය බස් එකේ ගියා ලස්සන කෙල්ලෙක් කහ පාට ඉරි තියන ටයි එකක් දාන. ඒකිට ටිකක් විසේ තිබ්බා. කොල්ලො රවුම් වෙන්න ඇස් කරකලා බලනවා. මාත් ඉතින් ට්රයි කරන්න ඕනෙ කියල හිතුවා. අපි බස් එකට නගින තැන එනකොට බස් එක කට කපල එන්නේ. අපි යන්න ඕනෙ ෆුට් බෝඩ් එකේ තමා. එතනින් උඩට යන්න වෙන්නේ නුවර පොලිසිය ලඟින් ගොඩ අය බැහැල ගියාම. ෆුට් බෝඩ් එකේ යන්න ඉස්සෙල්ලා අපි අපේ පොත් ෆයිල් එක බස් එක ඇතුලෙ ඉන්න කාට හරි දෙන්න ඕනෙ එතකොට අත් දෙකින්ම වවුල අඹ ගහේ එල්ලෙනව වගේ එල්ලෙන්න පුලුවන් හින්ඳා. ඉතින් ඔය පොත් ෆයිල් එක ගන්න ඇතුලෙ හිටපු ගෑනු ලමයි කැමැත්තක් දක්වනවා. උන්ටත් ඉතින් කහනවනේ. මාත් අර අහවල් සොඳුරියට පොත් ෆයිල් එක දෙන්න තමා ට්රයි එක. එයත් අකමැත්තක් නැතුව ගන්නවා. ඒත් බස් එකේ එලියෙ ඉඳන් කෙලීන්ම ඇතුලෙ ඉන්න කෙල්ලට පොත් ටික දෙන්න බෑනේ. ඒක යවන්නේ පෝඩ්ඩක් විතර දොරේ උඩට නැගපු අපේම ඉස්කෝලේ මට වඩා අවුරුද්දක් අඩු ක්ලාස් එකේ හිටපු සම්බෝලයා කියන ආදර නමකින් හැඳින්වූ මල්ලි කෙනෙක් හරහා.
සම්බෝලයා ඉතාම කැමැත්තෙන් මගේ පොත් ඇරන් අර සොඳුරියට දෙනවා. ඌට ඕන්නන් ඒක තියා ගන්න පුලුවන් නමුත් ඌ දන්නවනේ මට ඕකෙ දෙන්න ඕනෙ කාටද කියලා. ඉතින් මමත් පොත් ටික දීලා ෆුට් බෝඩ් එකේ එල්ලෙනවා. ඊට පස්සෙ ආයෙ සොඳුරියගෙ ඇස් බලන්න හම්බ වෙන් නෑ පාර බලාන යන්න ඕනෙ. ලයිට් කනු එහෙම ලන් වෙනකොට රගර් ක්රීඩකයෝ වගේ එකාට එකා ඇතුලට තල්ලු කරන් බේරෙන්න ඕනෙ. නැත්තන් සොඳුරිය බස් එකේ ඉද්දී අපේ කෑලි සවලෙන් එකතු කරන්න වෙන්නේ. පොලිසිය ලඟින් සොඳුරිය බැහැල යනකොට මම ඉතින් ‘තෑන්ක්ස්’ කියනවා කොමලෙට. එයත් ඇස් කොනකින් බලලා යනවා පද්දමින්. හම්මේ ඒක දිහා බලා ඉන්නකොට බස් එකත් මිස් වෙනවා අප්පා.
මම දැන් රෑ දාවල් නැතුව හීන බලනවා. ඒත් ඉතින් කිව්වනේ මම වැඩ බැරි ටාසන් කියලා. හෙන ස්ලෝ මගේ වැඩ! ඔහොම අවුරුද්දක් විතර ගියා ආයුබෝවන් පොත් ගෙනියන වැඩේ. ‘ගුඩ් මෝනින්, තෑන්ක්ස්’ කියන වචන තුන විතරයි දවස් තුන්සිය හැට පහටම කතා කරල තිබ්බේ. නිකන් ඇවරේජ් කරත් දවස් එකසිය විසි එකකට එක වචනයයි, ඇස් දිහා බැලිලි හතලිහක් විතර. ඒම ඉතින් කෙල්ලො දාගන්න බෑනේ මිත්රවරුනි. කෙල්ලො කියන්නේ ආයෙ පුකෙන් ගියත් ආඩම්බරේ තියන උන්නේ.
ඔහොම ගිහින් මට අමුත්තක් පේන්න ගත්තා. අපේ ඉස්කෝලෙට යන උන් පොලිසිය ලඟින් බහින් නෑ. තව යන්න ඕනෙ. ඒත් දැන් දැන් මට පේනවා සම්බෝලයා පොලිසිය ලඟින් බහිනවා.. රෙස්ට් ඉස් හිස්ටරි මිත්රවරුනි. අද ඌ ඒ කෙල්ලව බැඳලා ලමයි තුන් දෙනෙකුත් ඉන්නවා..
මම මේ මේකෙ චූටි මල්ලිලාට කියන්නේ. වෙන උන් අතේ පනිවිඩ, පොත් පත්තර යවන්න එපල්ලා. විෂේශයෙන් අපේ ඉස්කෝලෙ උන් අතේ..
අනේ ඉතින් ආයෙ රස්සාවකුත් කරන කාලේ නිර්මලා යාලු වෙනකන් වෙන එකක් කර ගන්නත් බැරි වුනා කියහන්කෝ.. පතෝල පොරක් නේ මම?
උපුටා ගැනීම: Susantha Pethiyagoda