මේක අතීතයේ බරනැස් නුවර මම කැම්පස් යනකාලේ වෙච්ච දෙයක්. මගේ නම මිනෝලි. මම යමක් කමක් තිබුන පවුලක බාලිකා පාසලක ඉගෙනගෙන, කැම්පස් ගිය කෙනෙක්. ඒ නිසාම මහ තේරුමක් නැති අමුතු ආඩම්බරේකුත් ලොකුකමකුත් තිබුනා. දැන් ඉතින් තේරුමක් නෑ කියල හිතුවට ඒ කාලේ හරි ආසයි ලොකු පාට් එක දාගෙන ඉන්න. මම සුදුයි. ලස්සණයි. අනික තාත්තිට සල්ලි හෙමත් තිබුන නිසා මට ඕනේ විදිහට ලස්සණට අදින්න පළදින්න එහෙමත් අඩුවක් තිබුනේ නෑ. මගේ කැම්පස් එකේ යාලුවෝ සෙට් එකත් මට හරියන්න හිටියා. මම වගේම මගේ යාලුවොත් ග…ල්ස් ස්කූල් ගියපු කොස් පොස් යාලුවෝ. අපි ඉතින් අපිටම හදාගත්තු රාජදානියක සුවසේ කල් ගත කලා. අපේ බැච් එකේ ගොඩක් ගෑණු ළමයි ඈත ගම්වලින් ආව ළමයි. අපි ඉතින් ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන එනකොට එයාලා අපිට ආසකලා. අපි වගේ වෙන්න හිතුවා. ඒකාලේ කොන්ඩ හදන්න පාටකරන්න එහෙම පටන්ගත්තු අලුත. ඔය ඔක්කොම සුකුරුත්තන් පටන්ගත්තේ අපේ කෙල්ලො සෙට් එක.
මේක කියවන සමහරක්ටනම් දැනටමත් මේ පම්පෝරි එපා වෙලා ඇති. ඒත් ඉතින් ඒකාලේ අපිට ඕව හරි ලොකුයි. කව්ද අනේ කෙල්ලෝ කාලේ අවදානේ දිනාගන්න ආස නැත්තේ. ඔව් අවදානේ කියන්නේ කොල්ලොත් හරි උනන්දුයි අපිට. මම ගැන තව ටිකක් කියනවානම්, මම එච්චර හොද කෙල්ලෙකුත් නෙවේ. මීන් ග..ර්ල් කෙනෙක්. බනින්න ඕනෙ අය බනින්න. ලොකේ හැමෝටම හොද ඉනිස්සු වෙන්නත් බෑනේ. මම ටිකක් නපුරුයි. මට රිද්දුවොත් මාත් රිද්දනවා. එකට එක කරනවා. දරුණුවට නැතත් පලිගන්න ලක්ශනත් මට හොදට තිබුනා.
ඉතින් අපි කෙල්ලෝ සෙට් එක මෙහෙම කොල්ලන්ගේත් අවදානය ලබමින් සතුටින් කල් ගත කලා. ඉතින් ඔහොම ඔහොම ඉන්නකොට අපිසෙට් එකට වෙන ලක්චර් එකකදි තව කෙල්ලෙක් සෙට් උනා. එයාගේ නම රිද්මාලි. මොන හේතුවකටද මන්දන්නෑ රිද්මාව මට සෙට් උනේම නෑ. ඒත් ඉතින් අකමැති වෙන්න තරම් දෙන්න හේතුවකුත් නැති නිසා මමත් ඔහේ කට පියන් ඒකිට අපේ ඇගේ එල්ලෙන්න ඉඩ දුන්නා.
ටික දවසක් ගියාම රිද්මා මහ වදයක් කියලා මට හිතෙන්න ගත්තා. දකින දකින හැම සින්නටම ආ…නී අක්කී කක්කී… ගගා හුරතල් වෙනවා. රිද්මා කතාකරන්නෙම නලවලා. මට ඔයවගේ නැලවිලි පේන්න බෑ. රිද්මා කට අරිනකොටම මගේ හිතෙන් එයා කියන්න යන වචන ඒ තාලෙටම කියෙවෙනවා. (හීහ් හිහ් හී… අනී…. අක්කී… උයා…. දැල්කි කල්……. ලා….ස්සණ වෙල්ලා…හ්) මගේ හිතෙන් මෙහෙම රිද්මාට හඩ කවනකොට රිද්මා ඇත්තටම කතා කරන්නෙත් මෙහෙමමයි. එතකොට මට තවත් මළ.
ඉතින් ඔහොම මාසයක් විතර යනකොට මම දැක්කා කලු කොල්ලෙක්. විස්වාස කරන්න මොන පොස් පොලොස් ආටෝප අටවගෙන හිටියත් එයාව දැක්කම්ම මගේ හිත ටිකක් නෙවේ හොදටම ගැස්සුනා. ඒ ඇයි කියලා මටම හිතාගන්න බෑ. හරිම ගමේ ගොඩේ කෙල්ලෙක් එයා. කලුයි. කොන්ඩෙ තෙල් ගාලා. දුප්පත්. දුප්පත් කියලා කියන්න ඕනෙ නෑ ඇදුමෙන් පැළදුමෙන්ම ඒක පේනවා. හරි නිහඩයි. වැඩි කතාවකුත් නෑ. ලස්සන හිනාවක් තියෙන්නේ. මගේ හිත එයාට සෑහෙන්න ඇදිලා ගියා. ඒ ඇයි කියලා අහන්න එපා. ඒ ඇයි කියලා මම දන්නේ නෑ. මගේ හිතේ තිබුන දේවල් වලින් එයාට තිබුනේ ආඩම්බර කමයි, උසයි, ලස්සන ඇගයි විතරයි. ඒ ඇගත් ජිම් ගිහින් හදාගෙන නෙවේ කැත්තේ උදැල්ලේ වැඩ කරලා කියලා මම පස්සේ දැනගත්තා.
මිනිහා අපිත් එක්ක කතාකරන්න ආවේ නෑ. එකක් ඒ කාලේ මගෙන් කැම්පස් එකේ ටිකක් ප්රසිද්ද වෙලා හිටපු කීපදෙනෙක්ම අහලා තිබුනා. මම කාටවත් වචනයක් නොදී ලොකුකම් පෙන්න පෙන්න හිටපු කාලයක් ඒක. හැබැයි මගේ ඇත්තටම හිතේ ක්රශ් එක තිබුනේ අරයට. ආ… එයාගේ නම තාරක. තාරු කියලා තමයි අපි මිනිහා නැති තැන කිව්වේ.
තාරුගේ තිබුන ලැජ්ජාවයි ආඩම්බරෙයි නිසාම මම තාරුව නිතර බයිට් එකට ගත්තා. හැබැයි මගේ ඇත්ත උවමනාව උනේ එයත් එක්ක කතා කරනඑක.
“මොකෝ තාරක ඔයා ගොලුද?”
“මේ අපි අද දේවාලෙ යනවා ඔයාට කතා කරන්න පුලුවන්වෙන්න කියලා බාරයක් වෙන්න”
වගේ දේවල් මම නිතරම එයාට කිව්වා. එයා ඒ හැම වෙලාවෙම හිනාවෙවී
“අනේ මිනෝලි මේ….හ්”
කිව්වා මිසක් නවත්තන්න හරි එපා හරි කියලා කිව්වේ නෑ. ඉතින් එක මූසල දවසක මම ලගට ආව තාරුක මගෙන් ඇහුවා එයා ගැන මොනවද හිතන්නේ කියලා. ඒ දවසට මූසල දවසක් කියල මම කිව්වේ ඇයි දන්නවද? මොන මළ යකා වැහිලද මන්දන්නෑ මට එදා තාරුකගේ තෙල් ගාපු කොන්ඩෙයි, අබලන් වෙච්ච සපත්තු දෙකයි හොදට පෙනුනා. වැනදාටත් වඩා හොදට. අහන හැම කොල්ල්ටම බොරු ගනන් උස්සපු මට තාරුකටත් ඒකම කරන්න හිතුනේ මගේ පුහු මාන්නෙන් මාව අන්ද වෙලා හිටපු නිසා වෙන්න ඇති. වචනයකට දෙකකට වැඩිය කතා නොකරන තාරුක මං වගේ කෙල්ලෙක් ලගට ඇවිත් මෙහෙම දෙයක් අහන්න සෑහෙන්න දහිරියක් ගන්න ඇති. හැබැයි මට ඒක ඒවෙලාවේ තේරුනේ නෑ. තාරුකගේ උඩ ඉදන් පාතට බලපු මම
“තාරුක ඔයා කණ්නාඩියෙන් ඔයාගේ හැටි බලලද මගෙන් ඕක ඇහුවේ!?”
කියලා කිව්වා නෙවේ කියවුනා. මට බනින අය බනින්න. මම වත් හිතුවේ නෑ මගේ කටින් එහෙම එච්චර සැරට වචන පිටවෙයි කියලා. ඒ වචන ටික කියලා ඉවර කරපු ගමන් මගේ කන ලගින් අකුනක් පුපුරලා වගේ ගියා කියලා මටම තේරුනා. හැබැයි එතකොට පරක්කු වැඩී. මගේ ලොකුකම් හැම කොල්ලටම හරියන්නේ නෑ. හැබැයි මම ඒ පාඩම ඉගෙනගත්තේ හරිම කැත විදිහට.
අනික් පැත්ත හැරුන තාරුක පසු නොබලා යන්න ගියා. මම බොරු හිනාවක් අරන්
“කොහෙද මැට්ටෝ යන්නේ මෙහෙ එනවා”
කියලා කෑගැහුවත් තාරුක ආපහු හැරුනේ නෑ. කමක් නෑ ආයෙ හම්බෙයිනේ. මම හිත හදාගත්තා. ඔහොම සතියක් දෙකක් විතර අතුරු දහන්වෙලා හිටපු තාරුක, රිද්මා එක්ක යාලුයි කියලා කැන්ටිමේ කෑම කකා ඉන්න ගමන් මට මනුකි කිව්වා.
“මොකක්…???”
කකා හිටපු කෑම කටත් ඉස්පෙල්ලේ යද්දි යාලුවෝ මගේ පිටට තඩි බෑවා.
“බොරුද බන්?”
“නෑ බන් සිරා.”
“කොහොමද බන් හරියටම දන්නේ… බොරු වෙන්න ඇති”
“නෑ බන් මට රිද්මා මයි කිව්වේ”
“එහෙමද… පුදුමයි තාරුක රිද්මගෙන් ඇහුවා කිව්වහම”
“ඌ අහලා නෑ බන්…”
“එහෙනම්?”
“ඌ කව්ද වෙන කෙල්ලෙක්ගෙන් අහලා. ඒකි බෑ කිව්වට අවුලෙන් ඉන්නකොට රිද්මා ඌගෙන් දුක අහන්න ගිහින් සෙට්වෙලා තියෙන්නේ”
“මොකා?”
“ඔව්… මට රිද්මාම තමයි ඊයේ විස්තරේ කිව්වේ. ඊයෙනෙ දෙන්න සෙට්වෙලා තියෙන්නේ”
“ආ………………………………… මේ….. රිද්මා කිව්වද තාරුක කාගෙන්ද අර ඇහුවේ කියලා?” උගුරේ අමුතු හිරවීමක් එක්ක මම මනුකිගෙන් අහුවා.
“නෑ ඒකි ඒක කිව්වේ නෑ. ඒක කිව්වොත් නෝන්ඩිනේ. හැබැයි රිද්මා අනිවා දන්නවා ඇති තාරු කාගෙන්ද ඇහුවේ කියලා. ගාඩ් දාගෙන ඉදියි”
“අනේ ගාඩ් දාල රකින්නම වටින කොල්ලා”
මම තරහෙන් එහෙම කිව්වත් මගේ හිතේ අමුතුම මූසල කමක් ඉහිරිලා ගියා. හරියට නිකන් මළගෙයක් ඉවරවුනාම දැනෙන මහ පාලු මූසල ගතිය වගේ දෙයක්. මමත් සතියක් විතර අවුලෙන් හිටියත් නිකමටවත් ඒක යාලුවන්ට පෙන්නුවේ නෑ. ඔය ගොඩයට වඩා හොද කොල්ලෝ ඕනෙ තරම් මට ඉන්නේ. මම නිතරම එහෙම හිතුවා. මට ලේසියෙන්ම හිත හදාගන්න පුලුවන් තවත් දෙයක් නම් මගේ හිතේ දුක (ඒ හැගීම දුකමද දන්නෑ. වෙන වචනයක් නැති නිසා දුක කියලා කියමුකෝ.) වෙනුවට එතනට තරහ රීප්ලේස් වෙච්ච එක.
රිද්මා දැනගෙන හිටියා තාරුක යාලුවෙන්න ඇහුවේ මගෙන් කියලා. මම වගේම රිද්මාත් ලොකු කම නිසා ඒක කාටවත් කියන්න ගියේ නෑ. මට මුල ඉදලාම රිද්මාව පේන්න බැරි උන නිසාත්, මම බෑ කියපුගමන් තාරු රිද්මාට සෙට්වෙච්ච නිසාත්, මගේ උද්දච්ච හිත රිද්මාට කොන්ත්තන්න ආසාවෙන් හිටියේ. රිද්මාත් වැඩකලේ ඒකට උඩගෙඩි දෙන්නමයි.
රිද්මා දවසින් දවස තාරුව මොඩ් කරලා ගත්තා. රෙදි කලිසම් ඇදන් ආව තාරුක ඩෙනිම් අදින්න ගත්තා. පොල් තෙල් වෙනුවට ජෙල් රිප්ලේස් උනා. ලස්සන ලෙදර් බෑග් එකක් අරන් තිබුනා. (අරකි තෑගි දීලා වෙන්න ඇති). මේ හැමදේකින්ම උනේ මගේ තරහ ඇවිස්සුන එක විතරයි. මම තරහ ගත්තේ ඇයි? මම තාම දන්නෑ. ඒ නිසා මගෙන් අහන්නත් එපා. මම තාරුකත් එක්ක එදා යාලු උනත් කවදාවත් මගේ උද්දච්ච කමත් එක්ක අපිට සතුටින් ඉන්න බැරිවෙන්නත් තිබුනා. ඒ කෙසේ වෙතත් රිද්මා තාරුකව මොඩ් කරගෙන එයත් එක්ක සතුටින් ඉන්න එකත් මගේ හිතට ඉවසන්න පුලුවන් උනේ නෑ. හැබැයි මම හිතාගත්තා මට කමක් නෑ මම මගේ පාඩුවේ ඉන්නවා කියලා. ඇත්තටම මට මෙතන දුක්වෙන්න ඉරිසියා කරන්න දෙයක් මට නෑනේ. මම ඇත්තටම හිත හදාගත්තා.
ඉතින් කට්ටිය හිතුවේ මම හිත හදාගෙන හොද ළමයෙක් උනා කියලද නෑනේ… මට එහෙම ඉන්න දුන්නේ නෑ. මාව දකින ඕනෙම වෙලාවක රිද්මා තාරුකව වර්ණනා කරන්න ගත්තා. ඒ හැම වෙලාවකම රිද්මා මගේ ඇස් දිහා තත්පර කීපයක් එක එල්ලේ බලන්නත් අමතක කලේ නෑ. මුලදී මේක ගනන් නොගෙන හිටියත් මටම තේරුනා මෙයා හිතා මතාම මට රිදෙන්න මේක කරන්නේ කියලා. මම කොච්චර ගනන් නොගෙන ඉන්න හැදුවත් රිද්මා නලවාගෙන තාරු ගැන විස්තර කියන්න ගන්න කොට මට දෙපතුලේ සිට හිස දක්වා කේන්තිය දුම් දදා නගින්න ගත්තා. කොච්චර ඒක ගනන් නොගෙන ඉන්න හැදුවත් මගේ උද්දච්ච පළිගන්න හිත කිව්වෙම රිද්මාගෙ නොම්බට ඇනපන් කියලා. කොල්ලො දෙන්නෙක්නම් එහෙම ගහගන්න තිබුනා. ‘කෙල්ලෙක් නිසා මොලෙන් ගහන්න ඕනි. මොකක් හරි කරන්නත් ඕනෙ. මාව ලැජ්ජනොවෙන්නත් ඕනෙ. නැත්තන් මම මහලොකු තාරුව ලබාගන්න බැරුව ඉරිසියාවේ මැරෙන්න ගියා කියලා කතාවක් පතුරයි’. ඔන්න ඔයවගේ දේවල් තමයි මගේ මොලේ වැඩකලේ. මට ඔක්කෝටෝමත් වැඩිය පෙන්නන්න බැරි උනේ රිද්මාගේ කතාවිලාසේ.
“අනේ අපේ පැටීට මාව නැතුව බෑ අනීඉ…. එයා අරී…. හොදයි…”
(පැටී කියන්නේ පැටියා කියන එක කෙටි කරගෙන රිද්මා තාරුට කතාකරන්න පාවිච්චි කරපු සුරතල් නාමය… ඇහෙද්දිත් අප්පිරියයි)
“පරක්කු වෙනවා අනී..හ් පැටී බලන් ඇතීඉ….”
“අපේ පැටී මාව තනියෙන් යවන්නෑ අනී…හ් මාව බෝඩිමටම ඉක්කන් යනෝවා…”
කියකියා කටත් උල් කරගෙන කියවනවා. මම ඉතින් හිමීට “පැටී පුටී ගගා අප්පිරියාවේ බෑ මෙතන” කියල හිත යටින් කියකියා අහන් හිටියා. වර්නනාවෙත් සීමාවක් තියෙන්න එපැයි. ටික දවසකින් මට තේරුනා මම විතරක් නෙවේ අපේ සෙට් එකේ ඉන්න කෙල්ලෝ කීප දෙනෙක්ටම රිද්මාගේ මේ පැටී පුටී කතා විලාසේ අල්ලන්නෑ කියලා. මගේ හිතේ තියෙන නොරිස්සුමත් එක්ක රිද්මාට මොකක් හරි දෙයක් කරලා වාඩුව ගන්න ඕනි කියල හිතේ තිබ්බා. මම ඔය වෙලාවට කලබල වෙන්නෑ. නිවී හැනේ ඉන්නවා. එතකොට මමත් නොදැන මගේ යටිහිතෙන් වැඩේ බාර අරන් මට සතියකින් විතර රිසාල්ට් එක අයිඩියා එකක් විදිහට පහල වෙනවා. ඒ නිසා මම හිමීට කලබල නොවී හිටියා.
හැබැයි රිද්මා එහෙම නෑ. එයානම් පුලුවන් හැම වෙලේම පැටීගෙ විස්තර මගේ මූන දිහා බලන් කිව්වා. මම සද්ද නැතිව ඉන්න නිසා රිද්මා හිතුවේ මම පැටීව මගේ කරගන්න තිබුන චාන්ස් එක මිස් කරන් දුක් වෙනවා ඇති කියලයි. එයාගේ මනෝ ලෝකේ තිබුන මේ සිතුවිල්ල නිසා උදම්වෙලා හිටපු රිද්මා දිගට හරහට පැටී ගේ විස්තර මගේ මූනේ ඇතිල්ලුවා.
එදා ජන සන්නිවේදන ලෙක්චර් එකට යන්න ලෑස්තිවෙනකොට තමයි රිද්මා මගේ ඉවසීමේ උපරිම සීමාව පැන්නුවේ. මෙගේ මූන දිහා බලන් ඉදන් කිව්වා
“හැමෝටම අපේ පැටී වගේ අය ලබන්න වාසනාව නෑ අනේ. සමහරුන්ටනම් මැණික්ගල් කකුලේ හැප්පුනත් පේන්නේ නෑනේ”
කියලා. ලෙක්චර් එකට යන්න හැමෝම ලක ලෑස්ති වෙන හන්දා කාටවත් ඒක එච්චර නෝන්ඩි උනේ නෑ. හැබැයි මම රිද්මාගේ මූන දිහා තත්පර කීපයක් කෙලින් බලන් ඉදලා ඇස්වලින් ආ එහෙමද කියලා ඉගි කරලා පොත් ටිකත් අරන් ලෙක්චර් හෝල් එකට ගියා. ලෙක්චර් එකේ හිටියේ සරත් ස..ර්. ස..ර් උගන්නනකොට කවදාවත් මනෝ ගහනැතුව අහන් ඉන්න මම එදා කල්පනා කර කර හිටියේ රිද්මා මට දාපු නෝන්ඩිය ගැන. ඔය අතරේ සරත් ස…ර් උගන්නනවා.
“වචනවල තියෙන පවර් එක කොච්චරද… ඒක අපිට ජන සන්නිවේදනයේ දී ඉතාමත් වැදගත් වෙනවා….”
ආයේ මම මනෝ ගහනවා. හිටපන්කෝ ඕකිට මම. මහලොකු පැටී… “වෙළද දැන්වීමක් ගමු… ඒකට රයිමින් දැම්මම වැඩිපුර ඒකෙන් දෙන්න හදන පනිවිඩේ මිනිස්සුන්ගේ ඔලුවලට යනවා.” මහලොකු පැටී. මම එපා කියල අයින් කරපු පැටී ලොකු කරගෙන මෙතන… “එහෙම වචන යොදාගත්තම මිනිස්සුන්ගේ ඔලුවල ඒක කැචී රයිමින් එකක් වෙනවා” මම මගේ පාඩුවේ පැත්තකට වෙලා හිටපු ගෑනි, නිකා….න් මොකටද මගේ ඇගේ එල්ලෙන්නේ…? “හරියට මේ වගේ… ක්රිස්පි ක්රන්චි…, කර කර ගා රසට හැපෙන, බබාගේ…. විනෝදේ…. තේරෙනවා නේද? මේවගේ කැචී වචන ටිකක් අහුවුනාම මොලෙන් ඒක යන්නෑ. කාවැදිලා තියෙනවා”. මල හොල්මන. මහ අම්මන්ඩි කෙනෙක්ද කොහෙද… “ඊලගට ඒ වෙළද භාන්ඩය දකින හැම වෙලේම අපේ ඔලුවට අර කැචී වචන ටික නිකන්ම එනවා.” යාලු කරගත්තනම් පාඩුවේ හිටපන්කෝ… අපේ මූන අතුල්ලන්න එන්නේ…
ඉතින් ඔහොම දේශනය ඉවර උනා. දැන් කෙල්ලෝ සෙට් එක පාරදිගේ එනවා. රිද්මා ඒ සබ්ජෙක්ට් එක කරන්නේ නැති නිසා එයා එවෙලේ අපිත් එක්ක හිටියේ නෑ. ඉතින් ඔහොම එනකොට ඈතින් එනවා… කව්ද. ඔව් තාරුක. රිද්මා එක්ක තරහෙන් හිටපු මට තාරුකව මූනට හම්බෙනකොට මාරම තරහක් ආවා. හරියටම කියනවානම් අර සිද්දියෙන් පස්සේ තාරුව මූනට මුන ගැහුන පලවෙනි වතාව. මිනිහටත් ටිකක් මොකද්ද වගේ මාව පහු කරලා යන්න කියලා මට දුරදිම තේරුනා. අපි සෙට් එකත් හිමීට මිනිහට ලං උනා.
“ආ….. අපි මේ හිමින් හිමින් ගාටන්නේ කව්ද කියලා බැලුවා. මේ අපේ රිද්මාගේ පැටීනේ…”
මම මහ හයියෙන් තාරුකගේ මූනටම රිද්මා කතාකරන ලතාවෙන්ම එහෙම කිව්වහම සෙට් එකේ රිද්මාගේ පූචානම් කතා එපා වෙලා හිටපු කීපදෙනෙක්ටම හයියෙන් හිනා ගියා. තාරක තක්කු මුක්කු වෙලා වටපිට බැලුවා. හැබැයි මම අතෑරියද? නෑ! මගේ හැකරකට.
“ලස්සන නම අනේ එයා ඔයාට දාල තියෙන්නේ..
පැටී පැටී තා….ර පැටී”
මම ආයෙත් එහෙම කිව්වහම කෙල්ලන්ගේ කෙකර හිනා හඩ ආයෙත් අලුත් උනා.
“පැටී පැටී බලු පැටී”
තව කව්ද කෙල්ලෙක් කිව්වා…
“පැටී පැටී කොලු පැටී….”
ඒපාරනම් හැමෝම සෙල්ලමට හවුල් උනා. මේ අතරේ මට තාරුකගේ මූනේ අපහසු තාවය දැක්කත් රිද්මාගේ පහුගිය හැසිරීම් උඩ ඒ අප්සට් එක නිකන්ම පුස්සක් වෙලා ගියා.
“ඇයි පැටී පැටී කලු පැටී…. කියන්නත් පුලුවන්”
“ඔව් එහෙමත් ලස්සනයි….”
“පැටී පැටී තාරු පැටී කිව්වනම් හරි. නමටත් ගැලපෙනවා”
වටපිට බලපු තාරුක වේගෙන් ගිහින් වංගුවෙන් අතුරුදහන් උනා. හැබැයි එහායින් පස්සේ… උනේ කොහොමද දන්නෑ. හැබැයි අහින්සක තාරුව දකින දකින හැමතැනම කොල්ලෝ තාලෙට “පැටී පැටී තාර පැටී” කියල කියන්න පුරුදු උනා. කටකතා වලට තටු තියෙනවා කියන්නෙ නිකන්ද. වඩාත් නිර්මානශීලී කොල්ලෝ රිද්මාව දකිනකොට ” ආ මේ ඉන්නේ අපේ කොලු පැටීගේ කෙලි පැටී” කියලත් කියන්න පටන්ගත්තා.
ආයෙත් රිද්මානම් අපි එක්ක කන්න තියා කතා කරන්නවත් ආවේ නෑ. ඔහොම කල් ගත් උනා. අපි කැම්පස් එකෙන් අවුට් උනා. රිද්මා තාරුකව බැන්දා කියලාත් ආරන්චි උනා. වෙඩින් එකනම් ඉතින් අපේ සෙට් එකේ කාටවත් කිව්වේ නෑ. කියයිද ඉතින් නේ? මාත් බැන්දා. ඔව් සල්ලි බාගේ තියෙන අර හොයපු විදිහේ පොස් කොල්ලෙක්ව තමයි බැදගත්තේ.
ඉතින් මගේ මහත්තයා ඉනුක නිදාගන්න ඇදට ඇවිත් වෙනදා වගේම ඔෆිස් එකේ පල්හෑලි කියන වෙලාව. ලයිටුත් ඕෆ් කරන් අපි දැන් ඕපදූප කියවන වෙලාව. දැන් අපි බැදලත් අවුරුදු පහක්. කැම්පඩ් එකෙන් අවුට් වෙලා අවුරුදුම අටක්!
“අද අපේ ඔෆිස් එකට අලුතින් කොල්ලෙක් ආවා. ඇසිස්ටන් මැනේජර් කෙනෙක්. මං ගාවට තමයි දැම්මේ”.
ඉනුක කියවනවා.
“පොරට අද පොඩි වෙල්කම් එකකුත් දුන්නා. කේක් එකක් එහෙම ගෙනත්”
“ආ එහෙමද. කොහොමද වැඩ හොදද?”
“අවුලක් නෑ. ස…ර් කියාගෙන පාඩුවේ ඉන්නපොරක්. විස්තර ඇහුවම ඔයාලගේ බැච් එකේලු”.
“ආ හැබෑටම? ඒ කව්ද නම මොකද්ද?”
“නම නං නෙවේ පොරට දැනටම කාඩ් එකකින් කතා කරන්නේ”.
“කොහොමද අනේ ආව ගමන් කාඩ් දාන්නේ?”
“කලින් බ්රාන්ච් එකෙන් පොරගැන විස්තර අහනකොට නමෙන් කව්රුත් මිනිහව දන්නෑ කාඩ් එකෙන් තමයි හැමෝම දන්නේ. ඉතින් කාඩ් එක මෙහෙටත් නිකම්ම වැටුනා. ඉන්නකො මං පෙන්නන්න ෆොටෝ එක.”
“ෆොටෝත් ගැහුවද?”
“ඔව් ඇයි කේක් කපද්දි… ආ මේං… බලන්න අදුනනවද කියලා…”
“දෙයියනේ තාරුක???”
“ඔව් ඔව් තාරුක තමයි. තාරු කියල කෙටියෙන් කියන්නේ”
මම හුස්ස්ම අල්ලගෙන ඉනුක දිහා බැලුවා
“මොකද්ද අර කාඩ් එක කිව්වේ?”
“ආ කැම්පස් කාලේ කව්රු හරි නසරානියෙක් දාපු කාඩ් එකක්. ඒක තාලෙට කියන්න පුලුවන් නිසා නිකම්ම මතක හිටිනවා”
“මොඛඪ්ඃද…!!!???”
“පැටී කියලා කියන්නේ ඌට. අද මං ලන්ච් රූම් යනකොට බැංකුවේ කොල්ලෝ විහිලු කරනවා තාරු පැටී කියලා”
මං ටක්ගාලා හිනාව තද කරගෙන ඇදේ අනික්පැත්ත හැරිලා කොට්ටේට මූන ඔබාගත්තා.
ප.ලි – හිත රිදුන කෙනෙක් ඉන්නවානම් සමාවෙන්න. මේක කතාවක් විතරයි. මේ කතාවේ කතා නායිකාව දුශ්ට කෙනෙක්. ඒක හගවන්න ලිව්වා මිසක් මේක ඇත්ත කතාවක් නෙවේ
උපුටා ගැනීම: නෙළුම් ගරුසිංහ