ඒ හරියටම 2019 සැප්තැම්බර් 2. සඳුදා.
සුදු පාට කෝට් එකක් ඇඳගත්තූ ලස්සන පිරිමි දොස්තර කෙනෙක් තමයි මාව බලන්නෙ. අර ටූත් පේස්ට් ඇඩ් වලට ඉන්න වගේ කෙනෙක්. කතා කරන්නෙ සිංහලත් ඉංග්රීසිත් නෙවෙයිද මන්දා. ඩබ් කරලද කියලත් හිතෙනවා. හැබැයි ඒ කියන ඒවා මට හොඳට තේරෙනවා.
කොහොම හරි ඔන්න එයා ඉන්ජෙක්ෂන් කටු සහ තවත් අඩුම කුඩුම දාපු කිඩ්නි ට්රේ එකක් අරං මගෙ ලගට ඇවිත් කිව්වා “මට ඔයාට මේක නොකියා බෑ. මේක කියන්නම ඕනෙ. ඔයාට තියෙන්නෙ හරිම දරුණු ලෙඩක්. මේ ලෝකෙ කාටවත් මෙච්චර කල් හැදිලා නැති ලෙඩක්. මේ රිපෝට්ස් වලට අනුව ඔයා තව දුරටත් ජීවත් වෙන එක මේ මුලු ලෝකෙ ඉන්න හැමෝගෙම ජීවිත වලට රිස්ක් එකක්. ඒ නිසා අපි ඔයාට මේ බෙහෙත විදින්න තීරණය කලා. ඒකට ඔයාට එකග වෙන්නම වෙනවා. සමාවෙන්න. වෙන ඔප්ෂන් එකක් අපිට නෑ. මේක විද්දට පස්සේ පැය දෙකක් ඔයා ජීවත් වෙනවා. ඒ පැය දෙක ඇතුලත ඔයා කැමති දෙයක් කරන්න. අපිට සමාවෙන්න. මේක අපිට කරන්නම වෙනවා….” කියලා මගෙන් මොකුත් උත්තරයක් බලාපොරොත්තු නොවීම විදලා ගියා.
බෙහෙත් විදිනවට පරාණ බය මට ඒක විදිනවා දැනුනෙවත් නෑ. අපේ මහත්තයත් මගේ ඇඳ ලග හිටගෙන හිටියා. එයත් නිකමටවත් අර පොරට ඒක විදින්න එපා කිව්වෙත් නෑ. එයාගෙන් මොකුත් ප්රශ්නයක් වත් ඇහුවෙත් නෑ. එහෙම උනයි කියලා මට තරහ ගියෙත් නෑ. දෙන්නම ඔහෙ හිටියා.
දැන් මම ඇඳේ ඉඳගෙන කල්පනා කරනවා. එක පාරටම වෙඩි තිබ්බා වගේ මතක් උනා මට තියෙන්නේ තව පැය දෙකයි කියලා. එතකොටම ඉස්සර වෙලාම මට මතක් උනා මම මේ ජීවිතේ ධනුෂ්කට (මගේ නිත්යානුකූල ස්වාමි පුරුෂයා) රිදෙන්නම රිද්දපු තැන්. එයාට හොරෙන් කරපු මරි වැඩ. එයාට කියපු බොරු. ඊට පස්සේ අම්මව. අම්මත් එක්ක නිස්කාරණයේ වාද කරපුවා. අම්මව අන්දපු තැන්. ඊට පස්සේ අප්පච්චිව. අක්කව. ධනුෂ්ක ගෙ ගෙදර අයව. නෑදෑයො. යාලුවො. ගුරුවරු. ඔෆීස් වල මුණ ගැහුණ අය. අහම්බෙන් මුණ ගැහිලා වෙන්වෙලා ගිය අය. මාර ගොඩක් කට්ටියව මතක් උනා. අර රෝනියෝ කරද්දි කඩදාසි වැටෙන වේගෙ මතකද? අන්න ඒ වේගෙට මූණු මතක් වෙනවා.
මං හිතාමතාම මුරණ්ඩු වෙච්ච තැන්. හිතාමතාම එයාලව රිද්දපු තැන්. හිතාමතාම එයාලට කරපු වෙනස්කම්. හිතාමතාම එයාලට එකග නොවෙච්ච තැන්. සල්ලි නොදී බස් වල ගියපුවා. සමහර බිල් නොගෙවා තියපු පොලු. ඉස්කෝලේ ඉස්සරහ කඩෙන් කෑම හොරෙන් ගත්ත ඒවා. පාඩම් කරනවා වගේ පාඩම් නොකර හිටපු හැටි. ආදරේ කරා වගේ ඉඳලා රිටර්න් එක දුන්න හැටි. සමාව දීලා යටින් රිද්දපු හැටි. වෙන අයගේ ඇස් වලින් බලලා මිනිස්සුන්ව ජජ් කරපු හැටි. කිසිම හිරිකිතයක් නැතුව දන්නෙ නැති දේවල් ගැන එක එක්කෙනා එක්ක රෙදි හෝදපු හැටි. මිනී මරණ එක පාපයක් බව දැන දැනත් චරිත ඝාතනයට සම්මාදම් වෙච්ච හැටි. මතක් වෙන ස්පීඩ් එකට මෙතන ලියන්න බැරි තරමි. මේ දේවල් රිවර්ස් කරන්න වත්, ඒ හැමෝටම නැතත් ටික දෙනෙක්ට හරි කතා කරලා සමාව ඉල්ලන්න වත් මේ පැය දෙක මදි. කොතනින් කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. ඔලුව ඔම්ලට් එකක් හදන්න ගහපු බිත්තරයක් වගේ උනා. මූවි එකක් X16 ස්පීඩ් එකට රිවයින්ඩ් කරනවා වගේ. මාරම මාර අමාරුයි.
මට මගේ අධ්යාපන සුදුසුකම් එකක් වත් මතක් උනේ නෑ. මගේ extra curricular activities, මම කරපු courses, මගේ දක්ෂතා මොනවද කියලා මට මතක් උනේ නෑ. මම ගත්ත certificates, medals මතක් උනේ නෑ. මම අනික් අයව සතුටු කරපු අවස්ථා එකක් වත් මට මතක් උනේ නෑ. මම කරපු චැරිටි මතක් උනේ නෑ. මම හදන්න උදව් කරපු බිල්ඩිං ගාන මතක් උනේ නෑ. මම රස්සා හොයලා දුන්න මිනිස්සු කාවවත්ම මතක් උනේ නෑ. මම ඉටුකරපු යුතුකම් මොනවත්ම මතක් උනේ නෑ. මම උදව් කරපු මිනිස්සු එක්කෙනෙක්ව වත් නිකමටවත් මතක් උනේ නෑ. මට අතපසු උන තැන්, මම වැරදි කරපු තැන් විතරමයි මට මතක් උනේ. මට මරණ බය කියන එක ඩිංගක් වත් ඇති උනේ නෑ. ඒත් මම වරද්දපුවා හරිගස්සන්න මට ආය චාන්ස් එකක් නෑ කියලා තේරෙද්දි මගෙ අත පය හයියෙන් වෙව්ලන්න ගත්තා. ඒ වෙව්ලිල්ලට මට ඇහැරුනා. බලද්දි වෙලාව පාන්දර තුනයි.
මට ඇත්තටම හිතුනා මිනිස්සු මැරෙන්න යද්දි එහෙම තමයි වෙනවා ඇත්තෙ කියලා. ඇඳේ හාන්සිවෙලාම මම කල්පනා කලා හදිස්සියෙ වත් එහෙම යන්න උනොත් ආපහු හැරිලා බලලා පසුතැවෙන්න දේවල් අදින් පස්සේ රැස් කරන්නෙ පුළුවන් තරම් අඩුවෙන් කියලා. ඒ නිසා මගෙන් අනික් අයට වෙන්න ඕනෙ දේවල් ඒ වෙලාවටම කරන්න ඕනෙ කියලා. බලමු !!!
උපුටා ගැනීම: Nisansala Rathnayake