පොඩි කාලෙ ඉඳන් මට තේරුනා මං විශේෂ කෙනෙක් කියලා. ඒත් අම්මා ඒකට එච්චර කැමති උනේ නෑ. ඒ නිසා අම්මා හැදුවේ ඒ විශේෂෙ නැති කරන්න. පස්සේ අම්මටම තේරුම් ගියා මං ඒ විදියටම ඉන්න එක හොඳයි කියලා. ස්කෝලෙ පන්තියේ ගත්තොත් ඒත් මං වගේ අය ටික දෙනයි හිටියේ. ඒලෙවල් වලට ටියුෂන් යන කාලේ හෝල් ක්ලාස් වල ඉද්දි මේ විශේෂ බව වෙලාවකට වදයක් වෙන්න ගත්තා.
කොහොම හරි ඒලෙවල් එහෙම පාස් වෙලා නර්සිංග් සිලෙක්ට් වෙලා ලෙක්චර්ස් වලටයි ප්රැක්ටිල් වලටයි ගියාම තමයි තේරුනේ ඇයි අම්මා මගෙ විශේෂ බව නැති කරන්න හැදුවේ කියලා. මගෙ නර්සිංග් බැච් එකේ මං වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් වගේ හිටියා. ඒ වෙද්දී අපිට විශේෂ කට්ටිය කියනවට වඩා පීඩිත කොට්ඨාශය කියන නම තමයි ගැලපුනේ.
ලෙක්චර්ස් වලට ඉන්නකොට පත්වෙන පීඩාවට විසඳුමක් විදියට අපි හොයාගත්තා තම තමන්ට ගැලපෙන ලෑල්ලක්. අපි අපේ ලෑලි වල ටිපෙස්ට් වලින් ලොකුවට නම ලියලා ඒවායේ අයිතිය තහවුරු කරගත්තා. සමහර දවස්වලට උදේට ලෙක්චර් හෝල් එකට එනකොට මගෙ ලෑල්ල නැතිවෙලා. එදාට NTS එකේ අනිත් ලෙක්චර් හෝල් වලට ගිහින් හරි ලෑල්ල හොයාගන තමයි එන්නේ. පස්සේ පස්සේ මං මගෙ ලෑල්ල නැතිවෙයි කියන බයටම උදේ හවස බෝඩිමට අරන් ආවා ගියා.
මේ ලෑලි ක්රමේ කොච්චර ජනප්රිය උනාද කියනවනම් අපි වගේ විශේෂ නැති අයත් ලෑලි ක්රමේට ඇබ්බැහි උනා.
ලෙක්චර්ස් වලදී ලෑල්ල උදව් උනාට ප්රැක්ටිකල් වලදි තමයි උදව්වට කවුරුත් නැති උනේ. NTS කාලෙ , ලෙඩෙක්ගෙ තුවාලයකට බෙහෙතක් දාද්දී , මැහුමක් කපද්දි, ලේ ගද්දි , ඉන්ජෙක්ෂන් ගහද්දි සමහරු බයේ බලන් ඉන්නේ අපි ඒවා නුහුරට කරනවා කියලා. එයාලට ඒක නුහුරු උනාට අපිට ඉතින් හුරු අත ඒකනේ.
මං එක සැරයක් මගේ විශේෂ බව තව කෙනෙක්ටත් බෝ කලා. ඒ අපෙ පුංචිගේ පුතා. මල්ලි මට වඩා අවුරුදු දහයක් බාලයි. නිවාඩු කාලෙට එහෙ ගියාම මං ඒකාට වම් අතින් ලියන්න පුරුදු කරනවා. පුංචි කොච්චර දකුණු අතින් ලියන්න එයාට හුරු කරන්න හැදුවත් මං නිසාම එයත් දැන් අපේ පන්තියේ.
ඒත් ඉතින් අපේ එකම කොලූනම් හබියගේ අඩිපාරෙ යමින් දකුණෙක් වෙලා ඉන්නේ. බලමු ඉතින් ඉස්සරහට හබියගෙ විරෝධය නොතකා එයත් වමෙක් වෙයිද කියලා.
කොහොම පීඩාවට ලක්වුනත් වමත් අය විශේෂයි ඔන්න .
උපුටා ගැනීම:
බුද්ධි ජයවීර
