අර මොළේ කොහෙද කතාවේ නෙස්ටර්මෝල්ට් කෝප්පේ බිම තියපු යාලුවා සම්බන්ධ කතාවක් මේක.
ඕලෙවල් පන්තියෙදී මෙයා අපිට අවුරුද්දක් බාල පන්තියක නංගි කෙනෙක්ට ට්රයි කලා. ඒත් ඒක ඒ ළමයට කියාගන්න තරම් යාලුවට ආත්ම ශක්තියක් තිබ්බේ නැහැ.
ඉතින් මට ඕක කිව්වම මම කිව්වා අපි ලියුමක් දෙමු කියලා සුපිරියටම ලියලා.
එතකොට ඒ යාලුවා ඒකට එකග වෙලා කිව්වා,
“අනේ සෙබා උඹ ලියලා දීපන්කෝ… උඹ නියමෙට ලියනවනේ.. උබට විතරයි ඕක නියමෙට ලියන්න පුලුවන් මචන්” කියලා.
මාත් ඉතින් උඩ ගිහිල්ලා වීරයා වගේ සෑහෙන්න මහන්සි වෙලා ලිව්වා ලියුමක්.
පස්සේ යාලුවා ඒක බලලා මටයි මගේ මියපරළොව ගිය සියලුම ඥාති මිත්රාදීන්ටයි පින් දීලා ඒකත් අරන් යන්න ගියා…
දින කීපයකට පස්සේ මම පන්තියට එනකොට අරූ ඩෙස්ක් එකට ඔලුව තියන් ඉන්නවා කදුලු පෙරාගෙන.
අනිත් සෙට් එකත් ළගට වෙලා ඉන්නවා උගේ.
මම ඇහුවා මොකද කියලා.
එක යාලුවෙක් කිව්වා “සෙබා දන්නේ නැද්ද සීන් එක.
මම කිව්වා නැහැ කියලා.
අරූ කැමැත්ත අහලනේ අරකිගෙන්.
මම නොදන්නවා වගේ ඇහුවා ඉතින් මොකද වෙලා තියෙන්නේ.
“මොනා වෙන්නද බං. කැමති වෙලා නැහැ.
අනික කැමති වෙයිද බං ඔය වගේ ගොං ලියුමක් දුන්නම. ඌට මොළේ නැද්ද දන්නේ නැහැ ඒ වගේ ගොං කතා ලියුම් වල ලියන්න “
කියලා යාලුවා කිව්වා.
මම ඇහුවා උඹ දන්නේ කොහොමද ඒ ලියුමේ තිබ්බ දේවල්.
“මටනේ බං ඌ දුන්නේ ඒක ගිහින් දෙන්න කියලා. ඒකී බස් එකට එනකන් මම ඒක කියෙව්වා” කියලා යාලුවා කිව්වා.
සමහරවිට ඔය ලියුම නොදී නිකන් ගිහින් කැමැත්ත ඇහුවා නම් ඕකී කැමති වෙන්නත් තිබ්බා…
කියද්දි මම අඩන යාලුවා දිහා බැලුවා..
ඌ මගේ දිහා බලන් හිටිපු විදිය මම ආයේ කියන්න ඕනෑ නැහැනෙ…
ජයවේවා
උපුටා ගැනීම : Manoj Aravinda Sebastian