ඊයේ මගේ මුළු දවසම ගෙවිලා ගියේ බිනුක් හත් අවුරුද්දක් තිස්සෙ ඉල්ලන බඩුවක් හොයන්න . මේ දවස්වල මාමලා නැන්දලා තාත්තලා හැමෝම ගෙදර ඉදලා වැඩ කිරීම නිසා තමයි මේ ප්රශ්ණේ ඇතිවුනේ .
කව්රුහරි කොළුට සීබීබීස් එකේ යන ඩයිනටෝපියා පෙන්නලා . ඉතින් අර කලින් දවසක උනා වාගේ ඩයිනසොර් කෙනෙක් කොළුට ඕනි උනා . කලින් දවසේ කස්ටිය කිව්වනේ ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න එපාය . දරුවෝ නහැදෙනවාය කියලා . දවසක් දෙකක් ඉවසුවා . කොළුගේ ඩයිනසොර් කතා ඉවර නෑ . දවසක් තාත්තා අතින් කියනවා මම අහගන ” තාත්තා අපි බත් කාලා යමු ඩයිනෝ බලන්න ” කියලා . මම ඉතින් ඒ මොහොතේ හිතාගත්තා කොහෙන් නමුත් අගහරු ලෝකෙන් හරි ඩයිනෝ කෙනෙක් කොළුට ගේනවා කියලා .
ඉතින් ඊයේ උදේ රැයින් මම පිටත් උනා ඩයිනෝව හොයාගන්න . මුළු නුවරම පිරලත් මට හරි හමන් ඩයිනෝ කෙනෙක් හොයාගන්න බැරිවුනා . සමහර ඩයිනොලා හිටියත් උන් එලොවටත් නැති මෙලොවටත් නැති ඩයිනෝලා . හොයලා හොයලා . අවසානයට ලට්ට ලොට්ට තියෙන ජපන් කඩේ බලමු කියලා ගිහින් බලද්දී රාක්කය ඇතුලේ කොලම කොළ පාට නපුරු පාට ඩයිනෝ කෙනෙක් දිලිසි දිලිසි ඉන්නවා . ඇත්තටම එයා තමයි ඩයිනෝ මම හොයපු එක්කනා වගේ .
ඩයිනෝව හොයාගත්තහම තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ . ඒ ඩයිනෝ ලගම රෝසම රෝස පාට අහිංසක හුරතල්ම හුරතල් ඌරු පැටව් ගොඩක් හිටියා . එයාලා හරිම ලස්සන ඌරු පැටව් . ලස්සන මදිවට කොළ පාට ජැකට් එකකුත් දාලා තවත් කියුට් වෙලා .
එයලා දැක්ක ගමන්ම මගේ පුංචි හිතේ පුංචිම පුංචි අහිංසක ආසාවක බීජයක් පැලඋනා . මම ඉතින් මගේ පර්ස් එක ඇරලා බැලුවට මගේ දුප්පත් පර්ස් එකේ රුපියල් තුන්දහස් නමසිය අනු නමයක් වගේ ප්රමාණයක් තිබුනේ නෑ . දන්නවනේ ඉතින් ගුරුවරුන්ගේ මාසේ පඩිය ගැන. ඩයිනෝ සහ පිගී දෙන්නම ගන්නවා කියන්නේ හයදාස් ගණනක් . අහෝ දුකකි , ඉරකි තිතකි කියලා ඩයිනෝව ගන්නවද ? ඌරව ගන්නවද කියලා එතෙන්න වෙලා බලාගන හිටියා . හරියට අර ටීවි එකේ ඉන්න මීයෙක් චීස් ද බිස්කට්ද කියලා හිතනවා වගේ මමත් කල්පනා කරා . එතකොට තමයි මතක් උනේ මියෙක්ට වගේ චීස් බිස්කට් කියලා දෙයක් තියෙනවා කියලා . ඒ වගේම හස්බන්ඩ්ගේ බැංකු කාර්ඩ් දෙකක් මගේ පර්ස් එක ඇතුලේ එලියට එන්න බලාගන ඉන්නවා කියලා .
එතැන ඉදලා පොඩ්ඩක් සෙනග නැති තැනකට ගිහින් ගත්තා මනුස්පයාට කෝල් එකක් .
” මේ ….. බින්ටුගේ අර ඩයිනෝ නෑ . මුළු නුවරම හෙව්වා . “
” දැන් ඕක අද ගෙනාවේ නැත්නම් පව් කොල්ලා ” කියලා එයා ඒ පැත්තෙන් කිව්වා .
” චුටී ලස්සන පීගී කෙනෙක් ඉන්නවා එයාව ගේන්නද , ඔක්කොම සත්තුනේ බාබා . පිගීට බිනුක් ආසා වෙයි “
ඒ පැත්තෙන් හ්ම්ම් … කියලා කිව්වා . ඒක ඉතින් සාමාන්ය දෙයක්නේ . පිරිමින්ට රාජකාරි වැඩ කිව්වොත් දේවකාරී වගේනේ . අබු දරුවන් අමතකයි . දැන් ඉතින් පිරිමි කියන්ඩ එපා අපි එහෙම රාජකාරි කරේ නැත්නම් ගැණු , ළමයි කොහොමද සතුටෙන් තියන්නේ කියලා .
” එහෙනම් මම පිගී ගෙනවා කියලා ” මම පිගිව අර බැංකු කාර්ඩ් එකක් දීලා හොර අත්සනකුත් ගහලා ගත්තා . විනාඩි දෙකක් විතර ගිහින් ආයෙත් මම හස්බන්ඩ්ට කෝල් කරා .
” බාබා අපරාදේ ……. මම දැන් පීගීව අරගන එලියට ආවට පස්සේ දැක්කේ කොළ පාට ඩයිනෝලා ඉන්නවා අර අස්සක “
” එහෙනම් එයාව ගන්න .”
ඔව් එයා එහෙම කිව්වා දෙයියනේ .
” එතකොට පීගී .මාරුකරන්නේ නෑ කියයි . ලැජ්ජාවේ බෑ “
” හරි එනම් දෙකම අරගන ගෙදර එන්න “
කියලා එයා කිව්වා . එතැනදී නම් මට හිතුනා අපේ හස්බන්ඩා මට ආදරෙයි කියලා .
ඊට පස්සේ . පීගී බෝලෙත් අරගන මම සතු…..ටින් ගෙදර ආවා .
ගෙදර ආපු ගමන් කොළුට හත් අවුරුද්දක් තිස්සේ ඔනිවුණු ඩයිනෝ එපා උනා . මගේ රෝස පාට පිගීව ඔනිවෙලා , අම්මා මම පිගීට ආදෙයි කියලා උම්මා එකකුත් දුන්නා .
දැන් අර නපුරු කැත ඩයිනෝ මගේ. පිගී කොළුගේ .
දැන්නම් හිතෙනවා මගේ ප්ලැන් එක අපරාදේ කියලා
උපුටා ගැනීම: Hasika Wijethunga